ඉදිකිරීම්වලදී කෝටි ගණනක යටින් ගැහිලි . . .

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරක ඉදිකිරීම් කටයුතු සිදුකරද්දී රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුවී ඇතැයි තොරතුරු අනාවරණය වේ.

මෙම ඉදිකිරීම් සම්බන්ධව දිස්ත්‍රික්කයේ හිටපු දිස්ත්‍රික් ලේකම්වරයකු ඇතුළු ඉහළ නිලධාරීන් හත්දෙනකුට චෝදනා පත්‍ර නිකුත් කිරීමට නියමිත වුවද, මෙම කණ්ඩායමේ අයකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරන බැවින් අදාළ නිලධාරීන්ට ඉදිරිපත්ව තිබෙන චෝදනා පත්‍ර අනුව කටයුතු කෙරේද යන්න සම්බන්ධවද අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇත.

ආණමඩුව, නවගත්තේගම, මුන්දලම සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉදිකිරීම් කටයුතුවලදී මෙලෙස වංචා සිදුවී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් කරන ලද විමර්ශන කටයුතුවලදී තහවුරු වී තිබේ.

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉහළ මහලේ ශ්‍රවණාගාරය ඉදිකර ඇතත්, එහි වහලයේ උස බිම් මට්ටමේ සිට අඩි හතක් පමණි. මෙම ඉහළ මහල තුළ අඩි එකහමාරක් උස වේදිකාවක් ඉදිකිරීමටද සැලසුම් කර ඇතත්, උස පිළිබඳව පැන නැගී තිබෙන අර්බුදය හේතුවෙන් අඟල් හයක උස වේදිකාවක් ඉදිකර තිබේ.

මෙම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 125කට මුලින් ඇස්තමේන්තු සකස් කරනු ලැබුවද, පසුව රුපියල් මිලියන 99ක් දක්වා ඇස්තමේන්තුව සංශෝධනය කර ඇත. රුපියල් මිලියන 100කට වඩා වැඩි ඇස්තමේන්තු සහිත කොන්ත්‍රාත් කටයුතු අමාත්‍යාංශය හරහා සිදුවන බැවින්, එය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින්ම සිදුකිරීම සඳහා ඇස්තමේන්තුව රුපියල් මිලියන 99ක් දක්වා අඩුකර තිබේ.

මෙය ඉදිකිරීමේදී වංචා සිදුවී තිබෙන බවට ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත අවස්ථා කිහිපයකදීම අනාවරණය කර තිබේ. ඒ අනුව විමර්ශන කටයුතු සිදුකෙරුණි.

ආණමඩුව, නවගත්තේගම සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉදිකිරීම්වල සිදුවී තිබෙන වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පරීක්ෂණ කණ්ඩායම් තුනක් පත්කර ඇත. මීට අමතරව ඒවායෙහි ඉදිකිරීම්වලට අදාළ ගෙවීම් කටයුතු අමාත්‍යාංශ ඉංජිනේරු අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ පමණක් ගෙවීමට තීරණය කර ඇත.

නිසි හැඩයකින් තොර පඩිපේළි, මේසයක්වත් ඇතුළු කිරීමට නොහැකි දොරවල් ආදිය මෙම ගොඩනැගිලිවල තිබෙන බවද කියැවේ.

කෙසේ නමුත්, අදාළ විමර්ශනවලින් පසුව මාණ්ඩලික නිලධාරීන් සම්බන්ධ චෝදනා පත්‍ර සහ ඊට අදාළ නිර්දේශ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිකුත් කෙරේ. එහෙත් අදාළ චෝදනා එල්ල වන අයකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරන්නේය.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

යුපුන්ට විශිෂ්ට ජයක් . . .

Sun Apr 14 , 2024
ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබෙයි. ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්වට එක්වූ යුපුන් මීටර් 150 ඉසව්ව තත්පර 15.19ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය මෙලෙස හිමිකර ගත්තේය. එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x