ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්තවේ . . .

ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලාවට සුවිසල් මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මියයන විට 86 වැනි වියෙහි පසුවිය.

ඔහුගේ පළමු කෘතිය වූ “ආදර ගඟ ගලන දෑස” නවකතාව 1968 වසරේදී පළ වූ අතර ඔහු සිය ලේඛන දිවියේ 70 වසරක් තුළ ලියූ නවකතා ගණන 68 කි. ‘සිත්තරෙකුට පෙම් බැඳ’, ‘දෙමස්සිනෝ’, ‘මිහිඳුම් සළු’, ‘රන තිසරු’, ‘නොමැරෙන මිනිස්සු’, ‘සොල්දර ගෙදර’, ‘අග මෙහෙසිය’, ‘කුමාරිහාමි’, ‘වක්කලම’, ‘පටලැවිල්ල’, ‘වජිරපාණි’, ‘රූමතිය’, ‘බකිනි මල’, ‘රන් තරුව’, ‘පංචකල්‍යාණි’, ‘සුන්දර සහ දේවින්ද’, ‘පිනි පලස’, ‘ස්වරණ වර්ණ’, ‘උරචක්‍රමාලය’, යන කෘතීන් ඔහු විසින් රචනා කළ කෘතීන් අතර වේ.

මේ අතරින් “මිහිඳුම් සළු” නවකතාව සුනිල් ආරියරත්නයන් විසින් සිනමා පටයකට තෝරා ගත් අතර එහි තිර පිටපත රචනා කළේද ජයකොඩි සෙනෙවිරත්නයන් විසින්මය. “කුමාරි හාමි” නව කතාව සඳහා 1984 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයද හිමිවූ අතර “කුමාරි හාමි” ටෙලි නාට්‍යයට පාදක වූයේද මෙම නවකතාවය. නොමැරෙන මිනිස්සු,කස්තිරස, නිකිණි වැස්ස, දහස්ගව්දුර (සහෝදරයෙක්) ටෙලි නාට්‍යයට නැගූ එතුමාගේ නවකතාවන්ය.

දෙදරු පියෙකු වූ ජයකොඩි සෙනෙවිරත්නයන් කලුතර ⁣රෙමුණගොඩ ගම්මානයේ පවුලේ පස්වන දරුවා ලෙස 1936 වසරෙ මාර්තු මාසෙ 20 වැනිදා ඔහු උපත ලැබීය.කලුතර රජයේ පාසැලේ මූලික අධ්‍යාපනය ලැබූ සෙනෙවිරත්නයන් ඉන්පසු බොම්බුවල බෞද්ධ මිශ්‍ර පාසලෙන් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව කලුතර තිස්ස මධ්‍යමහා විද්‍යාලයට ඇතුළත් විය. සෙනෙවිරත්න වයස අවුරුදු 16 පමණ සිට කෙටි කතා ලියා පුවත්පත්වලට යොමු කළ අත⁣ර ඒවා දිනමිණ පුවත් පතේ පළ විය.

ජ්‍යේෂ්ඨ විභාගයෙන් සමත්වුවද සරසවි වරම් අහිමි වූ ඔහු ඉන්පසු රජයේ තරඟ විභාගවලින් සමත්ව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළ අතර 1990 වසරේ දී විශ්‍රාම ලැබීය. ජයකොඩි සෙනෙවිරත්නයන්ගේ දේහය එතුමන් බොහෝ කලක් පදිංචිව සිටි ගම්පහ කිරිදිවැල නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු කිරිදිවැල පොදු සුසාන භූමියේදී සෙනසුරාදා (24) සවස සිදුකිරීමට නියමිතය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්කරුවන්ට දැනුම්දීමක් . . .

Thu Sep 22 , 2022
2022 විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x