ලංගම ආසන වෙන් කිරීම අන්තර්ජාලයෙන් . . .

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමය හරහා වෙන් කිරීමේ සමාරම්භක වැඩසටහන  මහාමාර්ග රාජ්‍ය  අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ ප්‍රධානත්වයෙන්  මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.

ඊට අදාළ sltb.eseat.lk වෙබ් අඩවිය විවෘත කිරීම 1315 mobile app එක හදුන්වා දීම හා ප්‍රවේශ පත්‍ර  කවුළුව විවෘත කිරීම   රාජ්‍ය ඇමැතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණි. දිවයින පුරා පිහිටි ස්ථාන හතළිහක් හරහා ශ්‍රී ලංගම දුර ගමන් සේවා බස් රථ වල ආසන වෙන්කරවා ගැනීමට  පහසුකම් සලසා ඇති අතර ඒ සඳහා 1315  ක්ෂණික දුරකථන අංකය  365 දවසේ පැය 24 පුරා භාෂා ත්‍රිත්වයෙන්ම   සක්‍රීයව පවතී. ඊට අමතරව sltb.eseat.lk වෙබ් අඩවියෙන් හා 1315 ජංගම දුරකථන app එක හරහාද මෙම පහසුකම සලසා ඇත.

ඒ අනුව කලින් ආසන වෙන් කරවා ගැනීම , තමන්ට කැමති ස්ථානයක ආසනයක් හෝ ආසන කිහිපයක්  වෙන් කරවා ගැනීම , තමන්ට ළඟින්ම පිහිටි බස් නැවතුම්පළෙන් බසයට ගොඩ වීමේ පහසුකම , ආසනයක් වෙන්කර ගත් පසු එය වෙනත් දිනයකට මාරු කර ගැනීම , බස් රථය පිටත් වූ විගස කෙටි පණිවිඩයක් හරහා මගියා  දැනුවත් කිරීම , 365 දවසේ පැය 24 පුරා ක්ෂණික දුරකථන සේවා මධ්‍යස්ථානය අමතා තොරතුරු ලබා ගැනීම , ආසන වෙන්කර ගත් බස් රථය පිටත් වීමට පෙර කොන්දොස්තර මහතාට දුරකථනයෙන් අමතා තොරතුරු  ලබාගැනීම ඇතුළු  පහසුකම් රැසක් මගියාට මේ තුළින් හිමිවේ.

මෙම පහසුකම් කල්මුණේ සමන්තුඩේ කාත්තන්කුඩි කින්නියා මන්නාරම  මුලතිව් කඩුවෙල බණ්ඩාරවෙල තංගල්ල මාකුඹුර මීගමුව පොතුවිල් කලවංචිකුඩි එරාවූර් යාපනය කිලිනොච්චිය මහනුවර වැල්ලවාය බිබිලේ කතරගම පොලොන්නරුව මහියංගනය අක්කරේපත්තුව අම්පාර වාලච්චේන හැටන් කරේ නගර්  මහරගම දෙහිඅත්තකණ්ඩිය  ගාල්ල අම්බලන්ගොඩ අනුරාධපුර මඩකලපුව  ත්‍රි – මලේ වව්නියාව පේදුරුතුඩුව මොනරාගල බදුල්ල මාතර නුවරඑළිය සහ කඩවත  යන ප්‍රධාන  බස් නැවතුම් පොළවල් හරහා ආසන වෙන් කිරීමෙන් ලබාගත හැකිය.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය HANDS GLOBAL HOLDINGS පුද්ගලික සමාගම හා එක්ව මෙම  වැඩසටහන ක්‍රියාත්මකය .

මෙම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් , ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  සභාපති එම්.ඩී.එල්.කේ.ඩී.අල්විස් , HANDS GLOBAL HOLDINGS පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ලියනගේ , බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන)  පී.රත්නායක ,  මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නාලක දිසානායක ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ .

  • ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සහන මිලට අභ්‍යාස පොත් මිල දී ගත හැකි තැන් . . .

Thu Mar 16 , 2023
එළඹෙන පාසල් වාරය වෙනුවෙන් උසස් තත්ත්වයේ එස්.පී.සී. අභ්‍යාස පොත් මිල දී ගත හැකි ස්ථාන පිළිබඳව ලංකා සතොස නිවේදනයක් නිකුත් කර තිබේ. එහි අලෙවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් සදහන් කළේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ එම අභ්‍යාස පොත් රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසල් 48ක් මගින් අලෙවි කරන බවයි. එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x