සෙනගාලයේ නව විප්ලවීය නායකයාට එරෙහිව විෂ ගෑස් ප්‍රහාරයක් . . .

අප්‍රිකාවේ වඩාත් සාමකාමී රටක් ලෙස පැවති සෙනගාලය මේ වනවිට සමස්ථ අප්‍රිකාවටම අරගල මාවත පෙන්වා දෙන විප්ලවීය රාජ්‍යයක් බවට පත් වෙමින් පවතී. ඒ අතරම සමස්ථ අප්‍රිකානු මහද්විපයම ලෝක බලවතුන්ගේ ආර්ථික හා මිලිටරි උපක්‍රමයන්හි සටන් බිමක් බවටද දිනපතා පත් වෙමින් තිබේ. පැරණි බ්‍රිතාන්‍ය, ප්‍රංශ බලවතුන්ගේ අධිපතිවාදයට එරෙහිව ඇතැම් රටවල හමුදා කුමන්ත්‍රණ ඇවිලෙද්දී සෙනගලයේ එය ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස දිනාගැනීමේ සාමකාමී අරගලයක් බවට පත් වී තිබේ. සෙනගාලයේ දූෂණ විරෝධී තරුණ නායකයෙකු ලෙස නැගී එන ඔස්මන් සොන්කෝ මේ සටනේ ඉදිරියෙන් සිටින අතර 2024දී පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ඔහු ඉවත් කිරීමට සිදුවන කුමන්ත්‍රණ පරාජය කිරීමට සෙනගාල ජනතාව දිනපතා එරට වීදි වලට බැස පාලක Macky Sallගේ දුෂිත රජයට තම විරෝධය පළකරමින් සිටි.

සමස්ථ අප්‍රිකාව පුරා තරුණ සිත් තුල 1987 දී මරා දැමු කැප්ටන් තෝමස් සංකාරා හා පැට්‍රික් ලුමුම්බාගේ විප්ලවීය භාවිතාව පසුගිය වසර 30-40 පුරාවටම හොල්මන් කරමින් පවතී. විශේෂයෙන් මාලි දේශය තුල, ඝානාව, සුඩානය හා බුර්කිනා පාසෝ රටවල පැරණි ප්‍රංශ හාම්පුතා ප්‍රතික්ෂේප කරමින් සංකාරා පන්නයේ හමුදා කුමන්ත්‍රණ මගින් බලය අල්ලා ගනිමින් රුසියාව හා චීනය වෙත ඇදී යමින් පවතී. විශේෂයෙන් රුසියාව විසින් රතු මුහුදේ දොරටුව ලෙස හැඳින්වෙන සුඩානයේ ප්‍රධාන වරායේ තම හමුදා උපදේශකයින් රැඳවීම ඇමරිකාව හා බටහිර වඩාත් කලබලයට පත්කර ඇත.

මෙම තත්වය හමුවේ මාර්තු 30 වනදා ඇමරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් අප්‍රිකාවේ සංචාරයක් ආරම්හ කල අතර චීන හා රුසියානු බලපෑම අවම කිරීම සඳහා ඩොලර් බිලියන 55ක් අප්‍රිකාවට ලබා දීමට බයිඩන් රජය තීරණය කර ඇති බව මාධ්‍ය අමතා ප්‍රකාශ කර සිටියාය. 2002 දී ඩොලර් බිලියන 10කව පැවති සමස්ථ අප්‍රිකාව තුල චීනය විසින් සිදු කරන ලද ආයෝජනයන් 2022 වන විට බිලියන 232ක් දක්වා වර්ධනය කිරීමට සමත් වී ඇත. එම කාලය තුලදීම ඇමරිකාවේ සමස්ථ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 142 සිට බිලියන 64 දක්වා පහත වැටී ඇත. ඒ අතර රුසියාව අප්‍රිකාව තුල ඩොලර් බිලියන 15ක ආයෝජන සිදුකරමින් බටහිර විරෝධී සියළු හමුදා කුමන්ත්‍රණ වලට ඍජුවම සහය දෙමින් සිටිනුයේ පසුගිය එක්සත් ජාතීන්ගේ සැසි වාරයේදී යුක්රේන ආක්‍රමණය සාධාරණිය කරලීම සඳහා අප්‍රිකානු රටවල් 25කද ඍජු හා වක්‍ර සහය ලබා ගනිමිනි.

සෙනගාලය මෙහිදී ලොව පුරා වඩාත් කතා බහට ලක්වන රටක් බවට පත් වනුයේ 2012 සිට Macky sall විසින් පවත්වා ගෙනු යනු ලබන පවුල්-ගජමිත්‍ර පාලනය විසින් මේ දක්වා එරට පැවැති ප්‍රජාතන්ත්‍ර පරිසරය අවසන් කරමින් අතිශය දුෂිත පාලන ක්‍රමයක් වෙත රට ගමන් කරවමින් තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට උත්සහ කිරීමත් සමගිනි. මෙම උත්සාහයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ පවත් වනුයේ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙකු වන ඔස්මාන් සොන්කෝ විසිනි. ඔස්මාන් සොන්කෝ යනු ජනාධිපති Macky sallගේ රජයේ බදු හා රේගු දෙපාර්තමේන්තුවේ හිටපු විධායක නිලධාරියෙකු වේ. 2014-2015 අතර කාලයේදී සෙනගාලයේ තෙල් හා ගෑස් හමුවීමත් සමග Macky sall රජය හා බහු ජාතික සමාගම් අතර සිදුවූ අතයට ගණුදෙනු හෙලිකිරීම නිසා ඔස්මන් සොන්කෝට ගෙදර යාමට සිදු විනි.

තම සේවා කාලය තුලදී වෘත්තීය සමිති නායකයෙකු වූ ඔස්මාන් සොන්කෝ ඉන්පසුව 2014 දී තම දේශපාලන පක්ෂය වන PASTEF නමින් රටේ ආර්ථික නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය යන මුල් කර ගනිමින් පිහිටුවා ගනු ලැබීය. 2019 දී ප්‍රථම වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සොන්කෝ තුන්වන ස්ථානය හිමිකරගනිමින් 15.7%ක චන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට සමත් විනි. සෙනගාලයේ ජනගහනයෙන් 50%ක් වන තරුණ ප්‍රජාව 20-30ක් නියෝජනය කරන අතර ඔවුන්ගෙන් බහුතරයක් මෙම වයස 48ක් වන මෙම තරුණ නායකයා වටා දිනෙන් දින ඒකරාශී වීමත් සමග තුන්වෙනි වරටත් 2024 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කුරුමානම් අල්ලන Macky sall විසින් ඔහුට එරෙහිව විවිධ කුමන්ත්‍රණ අටවමින් සිටි.

ඒ අනුව ඔස්මාන් සොන්කෝට එරෙහිව ස්ත්‍රී දුෂණ චෝදනා, රජයේ ඇමතිවරුන්ට එරෙහිව අසත්‍ය දුෂණ චෝදනා ඉදිරිපත් කරමින් ආණ්ඩු විරෝධී කැරලි ඇතිකිරීමට නායකත්වය දීම වැනි චෝදනා යටතේ මෙන්ම ඔහු අයත්වන දියෝලා ජනවර්ගය මත පදනම්ව ජාතිවාදී චෝදනා ද ඉදිරිපත් කරමින් නඩු පිට නඩු පවරමින් සිටි.

සෙනගාලයේ දකුණු ප්‍රදේශයේ පිහිටා තිබෙන කසමන්ස් කලාපයේ දියෝලා ගෝත්‍රයේ ජනතාව සටන්කාමි ජනතාවක් ලෙස ලොව පුරා ප්‍රකටව පවතී. පළමුවන හා දෙවන ලෝක යුධ සමයේ ප්‍රංශ හමුදා වල ඉදිරියෙන්ම ගමන් කලේ මෙම ජනතාවගෙන් සැදුම් ලත් හමුදා රෙජිමේන්තු වේ. ඔවුන්ට ප්‍රංශ හමුදාව වෙනුවෙන් සටන් කිරීම මත ඔවුන්ට අයත් විය යුතු වේතන, වන්දි නොගෙවූ බවට අදත් ඔවුන්ගේ දරුවන් හා පසු පරම්පරාව ප්‍රංශයට චෝදනා කරති. ඔස්මන් සොන්කෝ අයත් වනුයේ මෙම අභීත ගෝත්‍රික ප්‍රජාවට හේතුවෙන් සෙනගාලයේ තරුණ ප්‍රජාව ඔහු පිළිබඳව දැඩි විශ්වාසයක් තබා ඇත. මේ අතර දීර්ඝ කාලීනව කසමන්ස් සඳහා වෙනම රාජ්‍යයක් ඉල්ලු ජනතාව තම බෙදුම්වාදී ඉල්ලුම පසෙක තබා ඔස්මන්ගේ ජාතික නායකත්වය වටා ඒකරාශි වී ඇත්තේ Macky sallගේ ජාතිවාදී ප්‍රචාරක ජාලය පිළිකුලෙන් හෙලා දකිමිනි.

එම නිසාම ඔස්මන් සොන්කෝට එරෙහිව දිනපතා නඩු වලට කැඳවමින් ඔහු ඉදිරියේ පැවැත්වෙන ජනාධිපති තරඟයෙන් ඉවත් කිරීමට ගත හැකි සියළුම දේශපාලන, මිලිටරි හා අධිකරණ කුමන්ත්‍රණ සිදුකරමින් සිටි. මාර්තු 15 වැනිදා එසේ පැවැත් වූ නඩු විභාගයක් සඳහා පැමිණි ඔස්මන් සොන්කොගේ නිල රථය වැටලූ පොලීසිය විසින් ගසන ලද ගෑස් ප්‍රහාරයක් නිසා බලවත් හිසේ රුදාව, ඇස් පෙනීම දුර්වලවීම, ස්වසන ආබාධ ඇතුළු සංකුලතා ඇතිවීම නිසා ඔහු මේ වන විට සිටිනුයේ රෝහල් ගත කර වේ. කෙසේවෙතත් සොන්කෝ නොමැතිව නඩු ඇසූ සෙනගාල අධිකරණය මාර්තු 30 වනදා ඔහුට එරෙහිව මාස තුනක අත්හිටවූ සිර දඬුවමක් නියම කර ඇත.

මෙම අසාධාරණ නඩු තීන්දුවට එරෙහිව හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා අප්‍රියෙල් 3 දා රට පුරා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කැඳවීමට ඔස්මන් සොන්කෝගේ දේශපාලන පක්ෂය වන PASTEF තීරණය කර ඇත. පවතින කැරලිකාර තත්වය හමුවේ හා ඔස්මන් සොන්කෝ විසින් අප්‍රිකාවේ ණය අහෝසි කරන ලෙස ඉල්ලා සටන් කල කපිතාන් තෝමස් සංකාරාගේ ජායාරූපය යොදා ගැනීමත් සමග කලබල වූ අන්තර් ජාතික මුල්‍ය අරමුදල (IMF) ඩොලර් මිලියන 776ක් දූෂිත Macky sallගේ රජය වෙත ලබාදෙනුයේ ජනතා විරෝධය හමුවේය. තෙල්, ගෑස්, රත්‍රං, මිනිරන් හා පොස්පේට් වලින් ගහන බිමක් වන සෙනගාලයේ මිලියන 16ක් ජනගහනයෙන් 40%ක ජනතාවක් රැකියා විරහිත බාවයකින්ද, 45%ක් අන්ත දරිද්‍රතාවයකින්ද පෙලෙන අතර මෙවැනි තවකාලික ඩොලර් පොම්ප කිරීම් වලින් සෙනෙගාල ජනතා අරගලය පසුබෑමකට ලක් වෙයිද, එසේ නැතහොත් වරදාන, වරප්‍රසාද ඉදිරියේ දණින් නොවැටී ජයග්‍රහණය තෙක් ගමන් කරාවිද යන්න අනාගතයේදී තීරණය වනු ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ටෙලිකොම් කොටස් විකිණීමට විරෝධය . . .

Mon Apr 3 , 2023
ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් රට පුරා ටෙලිකොම් සේවකයෝ විශාල පිරිසක් කොළඹ කොටුව ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ අද (3) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. ‘ටොලිකොම් 2022 පළමු මාස 9 ලාභය කෝටි 900 යි’ සහ ‘ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් ජාතික සම්පත් විකිණීම වහා නවතනු’ ආදි පාඨ ඇතුළත් පුවරු රැගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x