සිංහල භාෂාව ගැන අප අනිවාර්යෙන්ම දැන ගත යුතු දේ . . .

සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු.

1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි ආදී ලෙස) සිංහල භාෂාවට හිමිවන්නේ එහි ඉහළම ස්ථානයක් වන 68 වන ස්ථානයයි.

2. සිංහල භාෂාව මව්භාෂාව ලෙස කතා කරන මිලියන 17ක් පමණ ලෝකයේ ජීවත් වෙති. අනෙකුත් භාෂා කතා කරන ජනගහනය සමග සසඳන කල එය කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයකි.

3. ගූගල් සමාගම පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7000ක් අතරින් ප්‍රමුඛ භාෂා 109කට පමණි. සිංහල භාෂාවද ඒ 109ට ඇතුළත් වේ.

4. සිංහල යනු චීන, හීබෲ, දෙමළ, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී වූ ලෝකයේ පැරණිම භාෂාවන් අතරට අයත් වන භාෂාවකි.

5. පැරණි බව පමණක් නොවේ. එය අඛණ්ඩව පරිණාමය වන සජීවී භාෂාවකි. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවකි. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණද සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරුව නැත.

6. අවුරුදු 2300කට පෙර අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලිවීමට සමත් වූහ. මේ අගය මීට වඩා ඉහළ බවටද බොහෝ වාද විවාද තිබේ.

7. අවුරුදු 1500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝය. භාෂාවේ සියුම්තම ස්ප්‍රීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ ඉතාම දියුණු භාෂාවකින් පමණි.

8. දැනට හමුවන පැරණිම සිංහල කවි වන සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලුවද ඒවා වසර 1300කට වඩා පැරණිය.

9. අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර, ඒ හා සමකාලීනව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිකළ භාෂාවක් ලෙස දකුණු ආසියාවේම ඇත්තේ සංස්කෘත භාෂාව පමණි.

10. මනා සංවිධානයක් සහිත තමන්ටම අනන්‍ය වූ දියුණු අක්ෂර මාලාවක් පැවතීමද සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. නමුත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රමුඛ භාෂාවන් රාශියකට තමන්ගේම වූ අක්ෂර මාලාවන් නැත.

11. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ ඔස්ටි්‍රයා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර මාලා ලෙස භාවිත කරනුයේ ලතින් අක්ෂරය. නමුත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම්ය.

12. සංස්කෘත, හින්දි, ඇතුළු භාෂා 16ක් පමණ තම අක්ෂර මාලාව ලෙස දේවනාගරී අක්ෂර භාවිත කරයි. නමුත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස යනු භාෂාවක් නොවේ.

13. ඇ, සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ඇ කාරය ලෝකයට හඳුන්වා දෙන ලද්දේද සිංහලයන් විසිනි. බොහෝ භාෂාවල ඇ, ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නොමැති අතර, ඇතැම් භාෂාවල ඇ, ඈ යන ශබ්ද පවා ඇතුළත් නොවේ.

14. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින්ම ඉහළය. සියවස් ගණනාවකට පෙර රචනා වූ සද්ධර්මරතනාවලිය, ජාතක පොත, ගුත්තිල කාව්‍යය වැනි කෘති දෙස බැලුවද ඒ බව පැහැදිලිව පෙනේ.

15. අක්ෂර සංකේත හරහා විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතුය. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැත. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවකි.

16. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් වුවද මේ බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් වසර සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදුවේ.

17. යටත්විජිතවාදයේ බලපෑම් සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබේ. තුර්කි බස, පිලිපීනයේ ටගලොග්, වියට්නාමයේ චූනෝම්, ඉන්දියාවේ මුන්දා ආදී භාෂා රාශියක් මේ වන විට තම අක්ෂර මාලා වෙනුවට ලතින් අක්ෂර භාවිත කරති.

එහෙත් බොහෝ බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වී තිබේ. සිංහල යනු ලෝකයේ කුඩා දූපතක අසරණ අනාථ භාෂාවක් යැයි සිතා සිටින ළිංමැඬියන් තමන්ගේ භාෂා උරුමය ගැනත් ලෝකයේ වෙනත් භාෂා ගැනත් මේ කරුණු අවධානයට ගැනීම වැදගත්ය.

  • උපුටාගැනීම අතීත මතක ❤️ හා Twitter
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආර්ථිකය කාබාසිනියා කරන ශ්‍රී ලංකන් ගුවන් සේවය . . .

Tue Jun 13 , 2023
ශ්‍රී ලංකන් ගුවන් සේවය රටේ ආර්ථිකය කාබාසිනියා කරන සුදු අලියකු බවට චෝදනා නැගෙනුයේ හේතු විරහිතව නොව සහේතුකවය. ශ්‍රී ලංකන් ගුවන් සේවය එක් කලෙක පක්ෂ කාර්යාලයකින් වෙනස් නොවීය. පාලකයන්ගේ නෑදෑ හිතවතුන්ගේ මනදොළ සපුරන නින්දගමක් බවට එය පත්ව තිබිණි. සියවස් ගණනාවකින් හෝ මෙම ආයතනය ගොඩ නැගිය නොහැකි බවට සමාජ මතයක් නිර්මාණය වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x