සුරාබදු දෙපාර්තමේන්තුවට පොලු තියලා . . .

මත්පැන් නිෂ්පාදන ආයතන ගණනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි පන්සිය පනස් එකක බදු  මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මත්පැන් නිෂ්පාදන ආයතනවලින්  රුපියල් කෝටි 549 ක්ද රා නිෂ්පාදන ආයතනවලින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් සහ ස්කාගාරවලින් එක්කෝටි හැට පන් ලක්ෂයකට වැඩි මුදලක්ද ගෙවීම ( පසුගිය වසරේ අග භාගය වනවිට)පැහැර හැර ඇති බව  එම වාර්තාවේ දැක්වේ.

මේ අතර ආයතන හතරකට අදාලව රුපියල් කෝටි 38 ක බදු මුදලක් වසර පහකට වැඩි කාලයක් තිස්සේ ගෙවීම පැහැර හැර ඇතැයි  විගණන  නිලධාරීහු පවසති.

මින් ආයතන තුනකට අදාළව නඩු පැවරීමට අවශ්‍ය මූලික කරුණු කෙටුම්පත් කරන අවස්ථාවේදී හිඟ මුදල් ගෙවීමට එකඟතාවයක් ඇතිකර ගෙන තිබුණද එකඟතාවය කඩකර හිඟ බදු සහ ප්‍රමාද ගාස්තු ගෙවීම පැහැර හැර තිබූ බව විගණන කාර්යාලය සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව  බීඩි, සිගරට්, සුරුට්ටු සම්බන්ධයෙන් ලියාපදිංචි සහතික 774 නිකුත් කර තිබුණද පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට ලියාපදිංචි අලුත් කරගෙන තිබූ ආයතන සංඛ්‍යාව 509 ක් පමණක් බව විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත. මේ අනුව  බලපත්‍රලාභීන් 265 දෙනකු ලියාපදිංචි අලුත් කර නොගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේද යන්න පසුගිය වසරේ අවසානය දක්වාම පසුවිපරමක් කර නොතිබූ බව විගණන  අංශ සඳහන් කළේය.

තවද  ආයතන තුනක් ලියාපදිංචි සහතික ලබා නොගෙන දුම්කොළ ආනයනය කර තිබූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව පැහැදිලි  වන්නේ යැයි විගණන වාර්තාවේ සඳහන් වේ. එම ආයතන තුනෙන් රුපියල් කෝටියකට ආසන්න හිඟ බදු මුදලක් පැවතුණු  බවද විගණන  නිලධාරීහු  පෙන්වා දෙති.

මේ අතර දෙපාර්තමේන්තුවේ මෙහෙවරට සෘජුවම බලපාන ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 38ක සහ තෘතීය මට්ටමේ තනතුරු 77ක පුරප්පාඩු පැවතුණු  බව පවසන විගණන කාර්යාලය මෙය එම දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනයට  අහිතකර ලෙස බලපෑ හැකි බවද  සඳහන් කළේය.

  • සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

 



Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු . . .

Thu Jun 15 , 2023
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 1,663ක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට එම දෙපාර්තමේන්තුවට සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 7,872 කි. එහෙත් දැනට සේවය කරනු ලබන්නේ සේවකයින් 6,209 ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එම කරුණු අනාවරණ වුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රජයේ ගිණුම්කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීය. එහිදී එම කාරකසභාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x