බහුජාතික සමාගම් පරදවා බ්‍රසීලයේ ආදී වාසී ජනතාව ජය ගනී . . .

එය “ඩේවිඩ්”ට එරෙහිව “ගෝලියත්” ලැබූ ජයග්‍රහණයක් ලෙස ලෝක මාධ්‍ය හඳුන්වා දෙයි. බ්‍රසීලයේ ආදිවාසී ජනතාවට අයත් ඇමසෝනියාවේ සම්ප්‍රදායික ආදීවාසි බිම්වල අයිතිය තහවුරු කරමින් හා එම බිම් වාණිජ අරමුණු සඳහා විනාශ කිරීමට එරෙහිව පසුගිය බ්‍රහස්පතින්දා වැදගත් අධිකරණ ජයග්‍රහණයක් ඔවුන් ලබා ගත්තේ සුප්‍රකට කෘෂි හා දුම්කොළ නිෂ්පාදනය කරනු ලබන බහු ජාතික සමාගම් රාශියක් පරාජය කරමිනි. 2021 අගෝස්තු මාසයේ ආරම්භ වූ මෙම දීර්ඝ කාලීන නඩු විභාගයේදී ආදී වාසි ජනතාවගේ බිම් විකිණීමට එරෙහිව ඡන්ද නවයක්, පක්ෂව දෙකක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේදී චන්ද ප්‍රකාශයට පත් වී තිබිණි. මෙම ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ආදී වාසී ජනතාව පරිසර සංවිධාන හා එක්ව එරට අගනුවර දී උත්සව පවත්වා ඇත.

පසුගිය අගෝස්තු 28 වැනිදා බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් දකුණු ඇමරිකානු රටවල් 7ක සහභාගිත්වයෙන් දින දෙකක් පුරා පැවැත්වූ කලාපීය සමුළුවේදී පෘථිවිය රත් වීමට එරෙහිව ඇමසෝන් වනය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය දීර්ඝ ලෙස සාකච්චාවට ලක් කරනු ලැබීය. ඇමසෝන් වනය බ්‍රසීලයේ පමණක් 60%ක බිම් ප්‍රමාණයක් නියෝජනය කරනු ලබයි. ජනාධිපති ලූලා ද සිල්වාගේ නව වාමාංශික රජය බලයට පත් වීමට පෙර සිටම ඇමසෝන් වනය ආරක්ෂා කිරීමටත්, එහි වෙසෙන ආදී වාසි ජනතාවගේ බිම් අයිතිය තහවුරු කිරීමටත් ඔහු විසින් ප්‍රතිඥා දී තිබිණි. ඊට පෙර බලයේ සිටි ජාතිවාදී බොල්සොනාරෝ රජය බහු ජාතික සමාගම්වල බලපෑමට ලක්ව ඇමසොන් වනය විනාශ කරමින් සිටියේය. එසේම මීට පෙර පැවති පාලන කාලයන් තුළ අධිකරණ තීන්දු ලබාදීමේදී විනිසුරුවන්ට බහු ජාතික සමාගම්වල බලපෑමට ලක් වීමට සිදු වී තිබිණි.

ව්‍යාපාරික ප්‍රජාවේ නිදහස් වෙළඳ අයිතිය හා ඔවුන්ගේ “නීත්‍යානුකූල ආරක්ෂාව” නමින් අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ බලවත් කෘෂි ව්‍යාපාරික ලොබිය විසින් අධිකරණයේදී ඉල්ලා සිටියේ 1988 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කරන කාලය තුළ ආදිවාසීන් විසින් නිත්‍යානුකූලව අල්ලාගෙන සිටි හෝ හිමිකම් කියන ඉඩම්වල අයිතිය පමණක් ඔවුන්ට තහවුරු කර දෙන ලෙසය. නමුත් ආදීවාසි ස්වදේශිකයින් ප්‍රකාශ කරනුයේ විශේෂයෙන් බ්‍රසීලයේ හමුදා ආඥාදායකත්වය පැවැති (1964-1985) කාලය තුළදී ඔවුන් තම බිම්වලින් නෙරපා හරින ලද නිසා, එකල ඇතැම් ප්‍රදේශ සඳහා ඔවුන් විසින් අත්පත් කර ගෙන සිටි බිම් සඳහා තම නිත්‍යානුකුල බව ඔප්පු කිරීමට සාක්ෂි නොමැති බවයි.

එසේම බ්‍රසීලයේ හිටපු අන්ත දක්ෂිනාංශික ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ (2019-2022) පාලනය කාලය තුළදී මෙම තත්වය තවත් උග්‍ර වූ බවත් ඔවුන් අධිකරණය ඉදිරියේ සඳහන් කර සිටියහ. දුම්කොළ, කෙසෙල් හා අනෙකුත් කෘෂි බෝග වගා කරන හා මස් සඳහා සතුන් ඇතිකරන බහු ජාතික සමාගම් විසින් ජෛව විවිධත්වය හා ලෝකයේ පරිසර සමතුලිතාවය ආරක්ෂා කරන ඇමසෝනියා වනය දැඩි විනාශයකට ලක් කර ඇති බවත් ඊට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පවා පැමිණිලි කර ඇති බවත් ආදී වාසීන් තවදුරටත් අධිකරණය ඉදිරියේ පවසා සිටියහ.

සියලු කරුණු සලකා බැලු බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය කෘෂි හා දුම්කොළ සමාගම් ඉදිරිපත් කළ නිදහස් වෙළඳ අයිතිය හා තාවකාලික හා නිදහස් බිම් රඳවා ගැනීමේ අයිතිය ප්‍රතික්‍ෂේප කරනු ලැබිණි. ලෝකයේ 5%ක් වන ආදිවාසීන් විසින් රක්‍ෂිත වනාන්තර විනාශයට එරෙහිව හා ලෝකයේ 80%ක් වන ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා බැම්මක් ලෙස ක්‍රියා කරන බවත් ඔවුන් ගෝලීය උණුසුමට එරෙහි සටනේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බැවින් මෙම තීන්දුව වඩාත් තීරණාත්මක නඩු තීන්දුවක් වූ බවත් මේ අතර ලෝක පරිසර සංවිධාන පෙන්වා දෙයි.

ඇමසෝන් වනය යනු අතිවිශිෂ්ට ජෛව විවිධත්වයේ නිවහනක් ලෙස සැලකේ. ශාක විශේෂ 40,000ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 3,000ක් සහ උරගයින් 370කට වැඩි ප්‍රමාණයක් හා පෘථිවියේ දැනට හඳුනාගෙන ඇති සත්ව විශේෂ 1/10ක් මෙහි ජිවත් වේ. මෙම ජෛව විවිධත්වයට ඝන වනාන්තර හෙක්ටයාර මිලියන 550ක්, පෘථිවියේ දැනට ඉතිරිව ඇති නිවර්තන වැසි වනාන්තරවලින් තුනෙන් එකක් සහ වංගු සහිත ගංගා කිලෝමීටර් 6,600ක්ද අයත් වේ. තවද, මෙම ප්‍රදේශය සත්ව විශේෂ සිය දහස් ගණනක නිවහනක් වීමද විශේෂත්වයකි, ඉන් බහුතරය තවමත් නොදන්නා සහ/හෝ යයි කියා ලැයිස්තුගත කර නොමැත. ඒ අතර විවිධ පක්ෂින්, කෘමීන්, ක්ෂීරපායින්, උභයජීවීන්ද අඩංගු වේ. ලෝකයේ පෙනහළු පද්ධතිය ලෙස සැලකෙන ඇමසෝන් වනාන්තරය 20%ක ඔක්ෂිජන් ප්‍රතිශතයක් සමස්ත මානව ප්‍රජාව සඳහා දිනපතා නිෂ්පාදනය කරනු ලබයි.

නඩු විභාගය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට විශාල කූඩාරම් ඉදිකරමින් තම සිරුරු පින්තාරු කර, හිස පිහාටු වලින් සැරසී සිටි දහස් ගනනක් වූ ස්වදේශීය ජනතාව යෝධ තිරයක් මගින් සිදුවන අධිකරණයේ වාද විවාද දෙස බලා සිටියේ කඳුළු සලමින් බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. විනිසුරුවන් බහුතරයක් විසින් ඔවුන්ගේ ඉල්ලීම පිළිගත් පසු ඔවුන් නැටුම් පවත්වමින් ප්‍රීති ඝෝෂා කළ අතර තවත් සමහරු තම අසල්වැසියන් වැළඳ ගත්හ.

කෘෂි හා දුම්කොළ සමාගම් ආරක්ෂා කරමින් ඔවුන්ගේ නිදහස් වෙළදාමේ අයිතිය තහවුරු කරනය සඳහා චන්දය ලබා දුන් මහේස්ත්‍රාත්වරුන් දෙදෙනා පත් කරන ලද්දේ හිටපු අන්ත දක්ෂිණාංශික ජනාධිපති බොල්සොනාරෝ බව ස්වදේශීය ජනතා නියෝජිතයින් මාධ්‍ය වෙත පවසා සිටියහ. කෙසේවෙතත් අනාගතයේ දී රක්ෂිත බවට පරිවර්තනය වීමට නියමිත ඉඩම්වල සමාගම් හිමිකරුවන්ට ලබා දිය යුතු රාජ්‍ය වන්දි ගෙවීම් සම්බන්ධයෙන් පවතින ගැටළු සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තවමත් එකඟතාවයකට පැමිණ නැත. වන්දි අනුමත කර ගැනීම වාමාංශික ලූලා ද සිල්වා රජයෙන් මන්දගාමී වනු ඇතැයි ඔවුන් බියෙන් පසු වන අතර බ්‍රසීලයේ දේශපාලන බලය වෙනස් කිරීම සම්බන්ධයෙන් දැවැන්ත මැදිහත් කිරීම් සිදු කරන මෙම කෘෂි හා දුම්කොළ මාෆියාව අතපය හකුලා ගනිමින් නොසිටිනු ඇතැයි දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දෙයි. 2023 සැප්තැම්බර් 28 වැනිදා බ්‍රසීල සෙනට් සභාවේ බහුතරයක සාමාජිකයින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා නීතියක් සම්මත කරගැනීම තුළින් කෘෂි හා දුම්කොළ සමාගම් කෙතරම් බ්‍රසීලය තුළ බලවත් දැයි තවදුරටත් තහවුරු වේ.

නවතම සංගණන සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රසීලයේ මිලියන 1.7කට ආසන්න ආදිවාසී ජනතාවක් ජිවත් වන අතර, රක්ෂිත හා ඉන් පිටත ජීවත් වන එම ප්‍රජාවත් සමග ඔවුන් ජනගහනයෙන් 0.83%ක් නියෝජනය කරනු ලබයි. එසේම නොවැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත COP 28 සමුළුවේදී ඇමසෝන් වනය ආරක්ෂා කිරීම හා පරිසර ප්‍රශ්ණය පිළිබඳව ලූලා ද සිල්වා ප්‍රමුඛ ඇමසෝන් කලාපයේ දකුණු ඇමරිකානු වාමාංශික නායකයින් ඇමසෝන් වනයේ විනාශයෙන් සිදු විය හැකි අනතරු භාවය පිළිබඳව දීර්ඝ වශයෙන් ලෝක ප්‍රජාවට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහින්ද නායකත්වය අතහරී . . .

Sun Oct 8 , 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තරුණ නායකත්වයක් පත් කිරීම සඳහා යෝජනා වී තිබේ. එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට මෙම යෝජනාව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කර තිබේ. ඊට අමතරව පක්ෂයට ජ්‍යේෂ්ඨ නායකත්වයක් ද ඇති කළ යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් පක්ෂයේ පරමාදර්ශී නායකත්වක් ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x