පරිහානියට පත් බේරේ වැවේ ජලය . . .

බස්නාහිර පළාතේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,482 ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

බස්නාහිර පළාතේ ගංවතුර තත්වය පාලනය කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසිනි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ එම ප්‍රතිපාදන යොදා ගනිමින් බස්නාහිර පළාතේ ගංවතුර තත්වය පාලනය කිරීමට ප්‍රධාන ව්‍යාපෘති 6 ක වැඩ කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

ඒ අනුව මහ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සදහා මේ වසර තුළ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 292 කි. කොළඹ ගංවතුර පාලනය කිරීම හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පදනම් කර ගනිමින් 2012 වසරේදී ලෝක බැංකු ආධාර සහ දේශීය අරමුදල් මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ. මෙම වර්ෂය සදහා වෙන්කර ඇති මුදලින් නොරිස් ඇළ උප ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කොටස සහ ඒකාබද්ධ වැසි ජල කළමණාකරණ පද්ධතියෙහි ඉතිරි වැඩ අවසන් කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ අඹතලේ පොම්පාගාරය, මාදිවෙල නැගෙනහිර හැරවුම, ටොරිංටන් උමඟ සංවර්ධනය කිරීම ඇතුළු උප ව්‍යාපෘති 54 ක් පසුගිය වසරේදී සංවර්ධනය කර මහජන පරිහරණය සදහා භාර දී ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි.

යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 600 ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර තිබේ. කොළඹ අවට පවතින ඇළ මාර්ග, වැව් සහ ඇවිදින මංතීරු නඩත්තු කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම, තෙත්බිම් හා පහත් බිම් සංවර්ධනය කිරීම මේ යටතේ සිදුකෙරේ. කළු ඔය වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේද මේ යටතේයි.

වේරස් ගග වැසි අපවාහන හා පරිසර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 800 කි. නුගේගොඩ රත්තනපිටිය ඇළ, දෙල්කද ඇළ, බොරලැස්ගමුව උතුර, බොරලැස්ගමුව දකුණ සහ වේරස් ගග යන කලාප 5 මෙම ව්‍යාපෘතිය යටතේ ආවරණය වේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘතිය මගින් කිලෝමීටර 55.5ක දුර ප්‍රමාණයක් ආවරණය වන බවයි. මෙමගින් වැසි ජල රැදවුම් ප්‍රදේශ සංරක්ෂණය කිරීම හරහා පාරිසරික සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කළ හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

මීට අමතරව කොලොන්නාව වැසි ජල අපවහන හා පරිසර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 300 ක් සහ ඔලියමුල්ල වැසි ජල අපවහන හා පරිසර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 450 ක් මෙවර අයවැය මගින් වෙන් කර තිබේ.

කොලොන්නාව ව්‍යාපෘතිය මගින් කැළණි ගග හා සම්බන්ධ වන කිත්තම්පහුව ඇළ, සැළලිහිණි මාවත ඇළ, දඩුතොට ඇළ ආශ්‍රිත ප්‍රදේශය ආවරණය වේ. ඔලියමුල්ල ව්‍යාපෘතිය මගින් කැළණිය සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන බවත්, එම ප්‍රදේශවල ගංවතුර අවම කිරීම හරහා ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම බේරේ වැව ව්‍යාපෘතිය සදහා මෙවර අයවැය මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලයන 40 කි. කොළඹ නගරයේ පිහිටා ඇති බේරේ වැව නාගරික හා කාර්මික අපද්‍රව්‍ය සහ අපජලය එක්වීම නිසා පරිහානියට පත්ව තිබේ.

එම නිසා තවදුරටත් සිදු විය හැකි පරිසර හානිය අවම කිරීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. බේරේ වැවේ ජලයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම පරිසර අලංකරණය සහ ජනතාවගේ සෞඛ්‍ය තත්වය වර්ධනය කිරීම මින් සිදු කෙරෙන බව ප්‍රසන්න රණතුංග සදහන් කරයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අනාගතයේදී කපුවෝ නැති දේවාල . . .

Wed Jan 17 , 2024
කතරගම දෙවියන් පාමුල මහා යුද්ධයකි. කපු මහත්වරුන් දෙදෙනාම සිටින්නේ ඇප පිටය. ඒ ලෝක ප්‍රසිද්ධියට පත්වූ රන්තැටියේ කතන්දරය නිසාය. අංගොඩ ලොක්කා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ දරුවාගේ අපලයක් හේතුවෙන් කතරගම දෙවියන්ට පූජාකළ පවුම් 38ක රන්තැටිය අතුරුදන් වූ බවට අංගොඩ ලොක්කා නමැත්තාගේ බිරියගේ පැමිණිල්ලෙන් පඬුපුල් ආසනයද උණුවූයේය. දේව අඩවියේ සිදුවන වංචා දූෂණ හෙළිකරලීමට කතරගම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x