කොල්ලකරුවන්ට හොරෙන් මම බෝට්ටුව සීෂේල්ස් පැත්තට හැරෙව්වා . . .

කලකට පෙර දුප්පත්කමින් පීඩා විඳින රටක් ලෙස වාර්තා වූ සෝමාලියාවේ අනාගතය වෙනස් වූයේ 1991 වසරේදී එරට අන්තවාදී කණ්ඩායම් විසින් ඒකාධිපති පාලක මොහොමඩ් සෙයිඩ් බාරිගේ පාලනය පෙරළා දැමීමෙන් පසු අරාජික තත්ත්වයට පත්වීමෙනි. ඉන්පසුව සෝමාලියාව ප්‍රකට වන්නට පටන් ගත්තේ මුහුදු කොල්ලකරුවන් නිසාය.

මේ වන විට නාවිකයන් සහ ධීවරයන් බියෙන් තැතිගන්වන සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් බිහි වීමේ පසුබිම නිර්මාණය වූයේ එරට නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශයේ ක්‍රියාකාරීත්වය බිඳ වැටීම, දිගින් දිගටම යුරෝපයේ සහ ආසියාවේ නැව් මඟින් සෝමාලියා මුහුදට අපද්‍රව්‍ය බැහැර කිරීම, වෙනත් රටවලින් පැමිණි ධීවරයන් මහා පරිමාණයෙන් සෝමාලියා මුහුදු සීමාවේ නීති විරෝධීව මාළු ඇල්ලීම ආදී හේතු කිහිපයක් නිසා බව ඒ පිළිබඳ තතු දන්නෝ දනිති. එකී ප්‍රශ්නවලින් දැඩිව බැට කෑ සෝමාලියානු ධීවරයෝ පසුව ආයුධ සන්නද්ධව සිය මුහුදු තීරය පුරා අණසක පතුරුවන්නට පටන් ගත්හ. මුල් කාලයේ ඔවුහු සිය ආයුධ සන්නද්ධ කුඩා බෝට්ටු මඟින් වෙ‍ෙළඳ නෞකා සිය වෙරළ තීරයෙන් පලවා හරින්නට තරම් අහිංසක වුවද කල්යත්ම තවත් පිරිසක් එය සිය ජීවනෝපාය බවට පත්කර ගත්තේ කුඩා කණ්ඩායම් ලෙස පැමිණ වෙළෙඳ නෞකා පැහැර ගනිමිනි. එසේ නෞකා සහ ධීවර යාත්‍රා කොල්ලකන්නට පටන් ගත් ඔවුහු කල්යත්ම කොල්ලකෑමෙන් උපයා ගත් කප්පම් මුදල් සහ අත්දැකීම් මත ඉතා හොඳින් සංවිධානය වී අධිවේගී යාත්‍රා, ස්වයංක්‍රිය ගිනි අවි පමණක් නොව ඉතා සූක්ෂම තාක්ෂණික උපකරණවලින් ද සමන්විත වූහ. නාවිකයන් සහ ධීවරයන් නම ඇසූ පමණින් බියෙන් තැතිගැන්වෙන සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් බිහි වූයේ එවැනි පසුබිමක් යටතේය.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ලාංකේය නාවිකයන් සහ ධීවරයන්ට ද ආගන්තුක නැති අතර, පසුගිය වසර කිහිපය තුළ වරින් වර මෙරට ධීවර කණ්ඩායම් කිහිපයක්ම අරාබි මුහුදේදී සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වුවද වාසනාවකට මෙන් ඔවුන්ට යළි නිරුපද්‍රිතව මවුබිමට පැමිණීමට හැකියාව ලැබුණේ ශ්‍රී ලංකා රජය විසින් ගත් පරිශ්‍රමයන් රැසක ප්‍රතිඵලයක් ලෙසිනි. එවැනිම සාර්ථක පරිශ්‍රමයකින් ඉකුත් 27 වැනිදා අරාබි මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ පැහැර ගැනීමට ලක්වූ මෙරටට අයත් ලොරේන්සෝ පුතා 04 නමැති බහුදින ධීවර යාත්‍රාවත් එහි සිටි ධීවරයන් හය දෙනාත් දින තුනක් තරම් කෙටි කාලයකදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගත හැකි වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මනා සම්බන්ධීකරණයෙනි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, කලාපීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව සිදු කළ එම ඒකාබද්ධ මෙහෙයුම පිළිබඳ වැඩි විස්තර අප විමසුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය ගෙනි.

“මෙම සිදුවීම ගැන අපට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් පළමු වරට දැනුම් දුන්නේ ජනවාරි 27 වැනිදා සවස. ලියාපදිංචි අංක IMUL-A-2590- CHW දරන ලොරේන්සෝ පුතා 04 නමැති බහුදින ධීවර යාත්‍රාව ධීවරයන් හය දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා දික්ඕවිට ධීවර වරායෙන් පිටත්ව ගියේ ජනවාරි 12 වැනිදා බවත් අරාබි මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ඔවුන් මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත් ඔවුන් විසින් දැනුම් දුන්නා. එම දැනුම්දීම ලැබුණු මොහොතේම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා එම යාත්‍රාව සහ ධීවරයන් මුදවා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ කඩිනමින් උපදෙස් ලබා දුන්නා. ඒ අනුව නාවික හමුදාව ඒ මොහොතේ සිටම ක්‍රියාත්මක වුණා. නාවික හමුදාව සතු තාක්ෂණය උපයෝගී කරගනිමින් කොල්ලකරුවන් විසින් පැහැර ගත්තා යැයි කියන අපේ බහුදින ධීවර යාත්‍රාව තිබෙන ස්ථානය හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. අපට නිරීක්ෂණය වූ ආකාරයට ඒ වන විට යාත්‍රාව තිබුණේ සෝමාලියාව සහ සීෂෙල්ස් අතර ජාත්‍යන්තර මුහුදේ. කොල්ලකරුවන් යාත්‍රාව සෝමාලියාව දෙසට රැගෙන යන බව නිරීක්ෂණය වුණා. ඒ අනුව අපි වහාම යාත්‍රාව මුදා ගැනීමේ කටයුතු ආරම්භ කළා.”

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් බහරේන් හි පිහිටි ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් 39කින් සමන්විත ඒකාබද්ධ සමුද්‍රීය මෙහෙයුම් බළකායට අතුරුදන් යාත්‍රාව පිළිබඳ දැනුම් දෙනු ලැබිණි. සෝමාලියානු කොල්ලකරුවන් මර්දනය කිරීම සහ ත්‍රස්ත කටයුතු වැළැක්වීම වෙනුවෙන්ම පිහිටා ඇති එම බළකාය නිරන්තරයෙන්ම මුහුද නිරීක්ෂණය කිරීමේ කටයුතුවල නිරත වන බැවින් ඔවුන්ට පහසුවෙන් එම යාත්‍රාව නිරීක්ෂණය වීම ඊට හේතුවයි.

“ඒ අතරේ අපි ඉන්දියාව, සීෂෙල්ස්, චීනය ආදී රටවලත් අතුරුදන් යාත්‍රාව පිළිබඳ දැනුම් දුන්නා. ඒ වන විටත් ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවක් අපේ යාත්‍රාව සෙවීමට පිටත් වී තිබුණත් ඔවුන්ට යාත්‍රාව සොයාගැනීමට නොහැකි වී තිබුණා. ඒ වනවිටත් කොල්ලකරුවන්ගේ පාලනයේ පැවති යාත්‍රාවේ සන්නිවේදන කටයුතු ඇනහිට තිබුණත් නාවික හමුදාව සතු විශේෂ තාක්ෂණ ක්‍රමවේදය මඟින් අපි දිගටම යාත්‍රාවේ ගමන් මඟ නිරීක්ෂණය කරමින් සිටියා. පැය ගණනාවකට පසුව අපට නිරීක්ෂණය වුණා මුලින් සෝමාලියාව දෙසට ගමන් කරමින් තිබූ යාත්‍රාව සීෂෙල්ස් පැත්තට ගමන් කරන බව. සීෂෙල්ස්වල දූපත් විශාල සංඛ්‍යාවක් තිබෙන නිසා එවැනි දූපතකට යාත්‍රාව රැගෙන ගියොත් එය යළි සොයාගැනීම දුෂ්කර විය හැකි බවත් අපට වැටහුණා. ඒ නිසා අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් සීෂෙල්ස් සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, කලාපීය සෙවීම් සහ මුදවා ගැනීම් මධ්‍යස්ථානයත් ඉන්දියාවටත් දැනුම් දුන්නා. යාත්‍රාව බේරා ගැනීමේ ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක වුණේ ඒ අනුවයි. ඒ වගේම අපි ඒ වන විටත් නාවික හමුදාපතිතුමාගේ උපදෙස් මත මෙම මෙහෙයුම වෙනුවෙන් අවශ්‍ය වූ වහාම අපේ නෞකාවක් එහි පිටත්කර යැවීමටත් සියලු කටයුතු සූදානම් කර තිබුණා. ඒ අතරේ අපෙන් ලැබුණු තොරතුරු මත නිරන්තරයෙන්ම අප හා සම්බන්ධීකරණය පවත්වා ගනිමින් සීෂෙල්ස් වෙරළ ආරක්ෂක බළකාය ඉන්දීය නාවික හමුදාව හා ඒකාබද්ධව සඳුදා (29 වැනිදා) යාත්‍රාව මුදා ගැනීමේ මෙහෙයුම දියත් කළා. නාවික හමුදාපතිතුමා පෞද්ගලිකවම අදාළ ප්‍රධානීන්ට කතා කරමින් මෙහෙයුම පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් පසුවන අතර, ඒ සියලු පාර්ශ්ව අතර අඛණ්ඩව මනා සම්බන්ධීකරණයක් පවත්වා ගත්තා. විශේෂයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවත් අපට ඉතා හොඳ සහයෝගයක් ලබාදුන්නා. ”

එසේ පාර්ශ්ව කිහිපයක පරිශ්‍රමයෙන් සිදු කෙරුණු එම ඒකාබද්ධ මෙහෙයුමේදී සීෂෙල්ස් වෙරළ ආරක්ෂක බළකාය විසින් එරට වෙරළ ආරක්ෂක බළකායට අයත් ‘ටොපැස්’ නෞකාව එරට ප්‍රධාන දූපත වන මාහෝ දූපතේ සිට නාවික සැතපුම් 230ක් පමණ දුරින් සීෂෙල්ස් ආර්ථික කලාපය පිහිටි මුහුදු ප්‍රදේශය තුළ ‘ලොරේන්සෝ පුතා 04’ සොයමින් සැරිසරන්නට විය.

“එහිදී ඔවුන්ට ආයුධ සන්නද්ධ පුද්ගලයන් තිදෙනෙකු සමඟ යාත්‍රාවක් නිරීක්ෂණය වී තිබෙනවා. එය ‘ලොරේන්සෝ පුතා 04’ යාත්‍රාව විය යුතු බව නිරීක්ෂණය වීමෙන් පසු ඔවුන් ආරක්ෂා සහිතව එම යාත්‍රාව වෙත ළඟා වී තිබෙනවා. යාත්‍රාවට ළඟා වන විටම ඔවුන් හඳුනාගෙන තිබෙනවා ඒ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් බව. නාවික යාත්‍රාව දැකීමෙන් කලබලයට පත්වූ කොල්ලකරුවන් වෙරළාරක්ෂක බළකායට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක් සිදුවී තිබුණත් කිසිදු ජීවිත හානියකින් තොරව කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමටත් ශ්‍රී ලාංකික ධීවරයන් මුදා ගැනීමටත් හැකියාව ලැබුණා. කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගත් ‘ලොරේන්සෝ පුතා 04’ යාත්‍රාව සීෂෙල්ස් වෙරළ ආරක්ෂක කඳවුරේ නැංගුරම් ලා ඇති අතර, සීෂෙල්ස් වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතව සිටින ලාංකේය ධීවරයන් සුවෙන් පසුවන බව අපට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ” ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය එසේ කීවේය.

‘ලොරේන්සෝ පුතා 04’ මුහුදු කොල්ලකරුවන්ගෙන් නිදහස් කරගැනීමෙන් පසු එම බහුදින යාත්‍රාවේ හිමිකරු ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා රේඩියෝ පණිවිඩ මඟින් සිය යාත්‍රාවේ සිටින ධීවරයන් සමඟ කතාබහ කර ඔවුන්ගේ දුක සැප විමසා ඇත. මාරවිල තල්විල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ෆ්‍රැන්සිස් මිල්රෝයි ධීවර කර්මාන්තයට එක් වන්නේ මීට වසර විස්සකට පමණ පෙරය. ඒ, ලොරේන්සෝ 01 ධීවර යාත්‍රාවෙනි. ඉන්පසු ලොරේන්සෝ පුතා 2,3 සහ 4 නමින් තවත් යාත්‍රා 3ක් ඔහු සතු වූ අතර, මීට වසර කිහිපයකට පෙර ඔහු ලොරෙන්සෝ 01 යාත්‍රාව විකුණා දැමීය. 2023 වසර ආරම්භයේදී නිෂ්පාදනය කරන ලද අඩි 50ක් දිග, පළල අඩි 16ක් වූ ලොරේන්සෝ පුතා 4 යාත්‍රාව ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි හතකටය. ඉකුත් ජනවාරි 12 වැනිදා ලොරේන්සෝ පුතා 4 සිය මංගල ගමන දියත් කළේ ධීවරයන් හය දෙනෙකු ද සමඟ මාස තුනකට පමණ අවශ්‍ය කෑම බීම රැගෙනය. ෆ්‍රැන්සිස් මිල්රෝයිගේ ලොරෙන්සෝ පුතා 2 සහ 3 යාත්‍රා ද ඊට පෙර ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබිණි.

ලොරේන්සෝ පුතා 04 කොල්ලකරුවන්ට හසුවන්නේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1,160ක් පමණ දුරින් අරාබි මුහුදු තීරයේය. දිනපතා පුරුද්දක් ලෙස සිය යාත්‍රාවල ධීවරයන්ගේ තොරතුරු විමසන ෆ්‍රැන්සිස් පෙරේරාට 27 වැනිදා සවස 3.30ට පමණ දැන ගැනීමට ලැබී ඇත්තේ වෙනත් ධීවර යාත්‍රාවකින් පැමිණි පිරිසක් ලොරේන්සෝ පුතා 4 බලහත්කාරයෙන් රැගෙන යන බවය. වහා ක්‍රියාත්මක වූ ඔහු ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට ඒ බව දැනුම් දුන් අතර, ඒ මඟින් ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත, නාවික හමුදාවට, අදාළ තානාපති කාර්යාල ඇතුළු සියලු බලධාරීන්ට දැනුම් දී ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ ලොරේන්සෝ පුතා 04 ධීවර යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරන්නේ ඒ අනුවය.

“අපේ යාත්‍රාව සෝමාලියා මුහුදු කොල්ලකරුවන් අල්ලා ගත්තා කියලා දැනගත් මොහොතේ ඉඳලා මම ලොකු බයකින් හිටියේ. දැනගන්න ලැබුණු විදිහට මුහුදු මංකොල්ලකරුවන් යාත්‍රාව කොල්ලකාලා තියෙන්නේ අප්‍රිකාවට විකුණන්න. එහෙම වුණා නම් අපේ ධීවරයන්ගේ ජීවිත අනතුරේ. යාත්‍රාව නැතිවුණොත් වෙන කෝටි ගානක පාඩුවට වැඩිය මම බය වුණේ මගෙ ධීවරයන්ගේ ජීවිත ගැන. එයාලට කරදරයක් වුණා නම් ඒ පාඩුව මට ජීවත් වෙනකම් දරා ගන්න බැහැ. මේ ගැන දැන්වූ මොහොතේ ඉඳලම රජය වෙනුවෙන් අපේ ධීවර දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, සිෂෙල්ස් නාවික හා ගුවන් හමුදාව මේ වෙනුවෙන් කරපු හැමදේමට ස්තුති කරන්න මට වචන නැහැ. බේරගත්තට පස්සේ අපේ කට්ටිය මට තෝඩුවාව රේඩියෝ මධ්‍යස්ථානයට කතා කරලා විස්තර කිව්වා. එයාලගේ කටහඬ අහපුවාම මට පුදුමාකාර සතුටක් දැනුණා.” ලොරේන්සෝ පුතා 4 යාත්‍රාවේ හිමිකරු වන ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා පමණක් නොව මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ පසුවූ ලොරේන්සෝ පුතා 4 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සය දෙනාගේ පවුල්වල අයද සැනසුම් සුසුමක් හෙළුවේ ඉන් පසුවය.

එම ධීවරයන් මේ වන විට පසු වන්නේ සීෂෙල්ස් හි මොබිඩාස් වරායේ නැංගුරම් ලා ඇති ලොරේන්සෝ පුතා 04 යාත්‍රාවේය. එම යාත්‍රාවේ ස්කීපර් ලෙස කටයුතු කරන වර්ණකුලසූරිය රකිත දුෂාන් ප්‍රනාන්දු(35) අප ඔවුන් මුහුණ පෑ බිහිසුණු සිදුවීම පිළිබඳ සිළුමිණට පැවසුවේ මෙසේය.

“මම ධීවර රස්සාව කරන්න පටන් අරගෙන අවුරුදු 13ක් වෙනවා. ස්කීපර් විදිහට වැඩ කරන්න පටන් අරගෙන අවුරුදු 8ක් වෙනවා. මෙහෙම සිදුවීමකට මුහුණ දුන්න පළමුවැනි වතාව මේක. එදා 27 වැනිදා උදේ 10.30ට විතර අපේ බෝට්ටුව පස්සෙන් ඇහුණු වෙඩි සද්දයක් නිසයි අපි මුලින්ම එයාලව දැක්කෙ. ඒක අඩි හැටක් විතර දිග ඉරානයට අයිති යාත්‍රාවක්. සෝමාලියාවේ අය 10ක් විතර හිටියා. එයාලා අහසට වෙඩි තියලා අපිව යටත් කර ගත්තා. එයාලා මීට කලින් අල්ලගෙන හිටපු පකිස්ථාන කට්ටියකුත් හිටියා. එයාලා ආව ගමන්ම මට පහර කිපයක් ගහලා කිව්වා බෝට්ටුව සෝමාලියාව පැත්තට හරවන්න කියලා කිව්වා. අපි ළඟ සැටලයිට් ෆෝන් තියෙනවද කියලා හෙව්වා. ඊටපස්සේ ලොකු යාත්‍රාව එක්ක ආව ඩිංගි බෝට්ටුවකට අපේ බෝට්ටුවේ තිබුණ කෑමවලින් භාගයක්ම දාලා කට්ටිය එක්ක එයාලා ආව යාත්‍රාව පිටත් කළා. සෝමාලියානු ජාතිකයන් තුන්දෙනාගෙත් නායකයා කිව්වා රේඩියෝ ඕෆ් කරන්න කියලා. එයාලා කතා කරපු භාෂාව අපිට තේරුණෙත් නැහැ, අපි කැඩි කැඩි කතා කරපු ඉංග්‍රීසි එයාලට තේරුණෙත් නැහැ. අතින් පයින් තමයි කතා කළේ. සමහර ඒවා ලියලත් පෙන්නුවා. එයා කිව්වෙ සෝමාලියාවට යමු කියලා. ජාත්‍යන්තර මුහුදු සීමාව පහු කරලා සෝමාලියාවට ගියාට පස්සෙ අපිට කිසිම ගැලවීමක් නෑ කියලා මට තේරුණා. ඒ හින්දා මම අපි ළඟ තිබුණු පරණ ෆෝන් එකක් කඩලා ඒකෙන් කාන්දම් කෑල්ලක් අරගෙන කොම්පාස් එකට හිර කරලා බෝට්ටුව හෙමීට සීෂෙල්ස් පැත්තට හැරෙව්වා. එයාලට ඒ ගැන දැනුමක් නෑ කියලා මට තේරුණ නිසයි එහෙම කළේ. ඒ වගේම එයාලා තුන්දෙනා බෝට්ටුව උඩට ගිය විනාඩි දෙකක් වගේ පුංචි වෙලාවට මම රේඩියෝ ඔන් කරලා අපිට වෙච්ච කරදරේ අපේ කට්ටියකට කිව්වා. කියලා ඉවර වෙනවත් එක්කම එයාලා පහළට ආවා. මම එහෙම නොකරන්න එයාලා අපිව අරන් සෝමාලියාවට යනවා. එහෙම වුණා නම් අපිට බේරුමක් නැහැ. ඒ විනාඩි දෙක තමයි අපේ ජීවිතේ බේරගන්න උදවු වුණේ”

යාත්‍රාවේ ක්‍රියාකරු ලෙස රකිත දුෂාන් ගත් ඒ දූරදර්ශී පියවර නොගන්නට ඔහු ඇතුළු හය දෙනාගේම ජීවිත අනතුරට ලක්වනු ඇත. රකිත දෙදරු පියකු වන අතර ඔහුගේ බාල පුතු උපත ලැබුවේ රකිත මේ මුහුදු ගමනට එක්ව සිටි අතරේය. රකිත සමඟ ලොරේන්සෝ පුතා 04 මංගල ධීවර ගමනට එක්වූ රකිතගේ මස්සිනා වන වර්ණකුලසූරිය සමිත් කුමාර ප්‍රනාන්දු තිදරු පියෙකි. වර්ණකුලසූරිය ඉසුරු අශාන් ප්‍රනාන්දු (23) සහ කනිෂ්ක හේමන්ත (26) පමණක් අවිවාහකයන්ය. ප්‍රියන්ත කුමාර ප්‍රනාන්දු (42) තිදරු පියකු වන අතර මඩප්පුලි ආරචිචිගේ අවිශ්ක කෞෂල්‍ය විවාහ දිවියට එලැඹ ඇත්තේ මෑතකදීය. මුහුදු කොල්ලකරුවන්ගෙන් දිවි ගලවා ගැනීම ඔවුන් සියලු දෙනාටම ආශ්වර්යයක් බඳුය. එහෙත් යාත්‍රාව යළිත් ශ්‍රී ලංකාවට යාත්‍රා කිරීමට ඉන්ධන ලීටර 3,000ක් පමණ අවශ්‍ය වන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 15ක් පමණ වැය වනු ඇති බවත් ලොරේන්සෝ පුතා – 04 ධීවර යාත්‍රාවේ හිමිකරු මිල්රෝයි පෙරේරා පැවසුවේය. එතරම් විශාල මුදලක් තමන්ට තනිවම දැරීමට නොහැකි බවත් මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයෙන් හෝ රජයෙන් යම් සහනයක් අපේක්ෂා කරන බවත් පැවසූ හෙතෙම හැකි ඉක්මනින් යාත්‍රාව සහ ධීවරයන් මෙරටට ගෙන්වා දෙන ලෙස වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. යාත්‍රාව සහ ධීවරයන් සම්බන්ධ නීතිමය කටයුතු විදේශ කටයුතු අමාත්‍යාශය මඟින් සිදුවන අතර සීෂෙල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද තමා ඇතුළු පිරිස ගැන සොයාබලන බව ලොරේන්සෝ පුතා 04 යාත්‍රාවේ ස්කීපර් රකිත දුෂාන් සිළුමිණට කීවේය.

” අපි බේරුණේ පෙර පිනකට වගේ. කොල්ලකරුවන්ට අහුවුණා කියලා ඉක්මනින්ම පණිවිඩේ දෙන්න පුළුවන් වුණ එක වගේම කොල්ලකරුවන්ට හොරෙන් මට බෝට්ටුව සීෂෙල්ස් පැත්තට හරවගන්න පුළුවන් වුණ නිසා හොඳට ගියා. සෝමාලියාවට ගෙනිච්ච නම් බේරෙන එක හීනයක්. කොල්ලකාරයො අපිට හිරිහැරයක් කළේ නැහැ. බෝට්ටුවේ යද්දි එයාලා තුන්දෙනා මාරුවෙන් මාරුවට නිදා ගත්තා. අපේ ෆෝන්වල තිබුණු ෆොටෝ, සින්දු බල බල හිටියා. උයාගෙන කන්නත් අපිට ඉඩ දුන්නා. ඒ වගේම අපේ නාවික හමුදාව සීෂෙල්ස් වෙරළ ආරක්ෂක බළකාය සහ ඉන්දියානු නාවික හමුදාව එක්ක අපිව බේරගන්න ලොකු දෙයක් කළා. සීෂෙල්ස් හමුදාව අපිව බේරගන්න ආපු වෙලාවේ වෙඩි හුවමාරුවක් වුණා. වාසනාවකට ඒ වෙඩි හුවමාරුවෙන් කිසිම කෙනෙකුට හිරිහැරයක් වුණේ නැහැ. දැන් අපි බලාගෙන ඉන්නෙ ඉක්මනට ගෙදර යනකම්. මෙහේ අපිට කරදරයක් නැහැ. කෑමබීම, ආරක්ෂාව තියෙනවා. ඒත් ලංකාවට ඇවිත් දරුවන්ගෙයි ගෙදර අයගෙයි මුහුණු දකිනකම් අපිට සැනසිල්ලක් නැහැ. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ඉක්මනින් අපිව ලංකාවට ගෙන්න ගන්න කියලයි” රකිත කීවේය. මත්ස්‍ය අස්වනු නෙළන්නට මහ සයුරට ගිය ඔවුන්ට දැන් සිය රට බලා එන්නට සිදුව ඇත්තේ හිස් දෑතිනි. සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් පැවසුවේ ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රා 500කට ආසන්න ප්‍රමාණයක් ජාත්‍යන්තර මුහුදේ රැකියාව කරන අතර මුහුදු කොල්ලකරුවන් නිසා ඔවුන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක පසුවන බවයි. එබැවින් රජය හා ධීවර දෙපාර්තමේන්තුව විශේෂ අවධානය යොමු කර ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

  • සුරේකා නිල්මිණි ඉලංකෝන් / ගයාන් පුෂ්පික / මිහිරි විජේසේකර  
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉරුණු සපත්තු යුගලට පණ දුන් අපූරු දන්සල . . .

Sun Feb 4 , 2024
සපතේරුවෙකු වන නිශාන්තට තමන්ගේ පයට පාවහන් පැලඳීමට දෙපා හිමි වී නැත. තම දරුවන්ගේ පයට පාවහන් යුගලක් පැලඳවීමට තරම් වත්කමක් ද නැත. එහෙත් ඔහු අනෙක් මිනිසුන්ගේ දෙපා සරසන්න දිවා රෑ වෙහෙසුණේ ය. ඉරුණු පාවහන් වටේ සීරු මාරුවට ඇවිදින නූල පසුපසින් දිවෙන ඔහුගෙ සපතේරු ජීවිතය කෙතරම් අසීරු වුවද ඔහු කැඩුණු පාවහන් පිළිසකර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x