STF නිලධාරීන් පස්දෙනෙකුට අධිකරණය දුන් නියෝගය . . .

මෑතකදී දැඩි මතභේදයකට තුඩු දුන් ආනමඩුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක සැකකරුවන් වශයෙන් නම් කර සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පස් දෙනෙකු සම්බන්ධයෙන් මේ මස 26 වනදා තෙක් ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද (21) ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.

අදාළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පස් දෙනා විසින් ගොනුකළ රිට් පෙත්සමක් අද සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයින් මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකළ අවස්ථාවේදී ඔවුන්ට මෙම චෝදනාව එල්ල වී තිබෙන බව සඳහන් කර සිටියේය.

මෙම සිද්ධියට අදාල නඩුව අද(21) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන හෙයින් මෙම පෙත්සම සලකා බලන තෙක් තම සේවා දායකයින්ට එරෙහිව ඉදිරි පියවර ගැනීම වළක්වාලන නියෝගයක් ආනමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ නොතීසි තමන් වෙත ලැබී නොමැති බවත් වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළේය.

ඒ අනුව අදාල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 26 වනදා කැඳවන ලෙස නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරුවරයා එදින තෙක් අදාල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරි පියවර කිසිවක් නොගන්නා ලෙසට ආණමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

  •  කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චමින්ද වාස් සජිත් සමග පෙරට . . .

Wed Feb 21 , 2024
ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක චමින්ද වාස් සමගි ජන බලවේගයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි මේ වන විටත් සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් චමින්ද වාස්  සමග ඊට අදාල සාකච්ඡා සිදුකරන බවටත් කටාන ඡන්ද බල ප්‍රදේශයේ ආසන සංවිධායක ධූරයද චමින්ද වාස් ට යෝජනා කර ඇති බවත් පැවසෙයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x