ටින් අංකය තැපෑලෙන් යවන්න බිලියන දෙකක් ඉල්ලයි . . .

ටින් අංකය විද්‍යුත් තැපෑලෙන් යැවිය හැකිව තිබියදී ටින් අංකය ඇතුළත් සහතිකය මුද්‍රණය කර තැපෑලෙන් බෙදාහැරීම සඳහා රුපියල් බිලියන දෙකකට වැඩි මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කිරීමේ සූදානමක් පවතින බව අනාවරණය වෙයි.

මෙරට වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා ටින් (TIN) අංකය ගතයුතු බව රජය නිවේදනය කළ අතර ඒ සඳහා මාර්ගගත ක්‍රමයට ඉල්ලුම් කිරීමේ පහසුකමද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සලසා තිබිණි. ‘ටින් අංකය’ ජනවාරි මාසයේ සිට අනිවාර්ය කිරීමට නියමිතව තිබුණද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 16 ක් වැයකර සැකසූ ‘රැමීස්’ දත්ත පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් එය අප්‍රේල් මාසය දක්වා කල්දමා තිබේ.

මේ අතර, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් ජනවාරි 11 වැනිදා පළකරන ලද පුවත්පත් දැන්වීමක සඳහන්ව ඇත්තේ “බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය සඳහන් සහතිකයක් සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදයක් (Pin) ලබාදී ඇති ඊ මේල් ලිපිනය වෙත ලැබෙනු ඇත’’ යනුවෙනි. එමෙන්ම, මාර්ගගත ක්‍රමයට ටින් අංකය ඉල්ලුම් කළ පිරිසට එම දෙපාර්තමේන්තුව විසින් විද්‍යුත් තැපෑලෙන් යොමුකරන ලද ලිපියේ සඳහන්කර ඇත්තේද වැඩකරන දින පහක් ඇතුළත විද්‍යුත් තැපෑලෙන් ටින් අංකය සඳහන් සහතිකය නිකුත් කරන බවයි.

රාජ්‍ය වියදම් කපා හැරීමට අදාළව මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී සහ රටම ඩිජිටල් ආර්ථිකයකට යා යුතු බව ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරද්දී වයස අවුරුදු 18 ට වැඩි මිලියන 15 ක ජනතාවට ටින් අංකය අධික වියදමක් දරා මුද්‍රණය කර තැපෑලෙන් යැවීමට සැලසුම් කිරීම දැවැන්ත මුදල් නාස්තියක් බවද මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙමස මුලදී මුදල් අමාත්‍යාංශයට යවන ලද ලිපියේ සඳහන්ව ඇත්තේ සහතිකය මුද්‍රණය කර තැපෑලෙන් යැවීම සඳහා රුපියල් මිලියන 2,175 ක මුදලක් (රුපියල් බිලියන 2.175) අවශ්‍ය බවයි.

එම ලිපියට අනුව, එක් ටින් අංකයක් නිකුත් කිරීමට අදාළව ටින් සහතිකය සහ තවත් ලිපියක්ද නිකුත් කෙරේ. සහතිකය සහ ලිපිය සඳහා ඒ 4 (A 4) කඩදාසි දෙක බැගින් යොදා ගැනේ. එම කඩදාසියකට රුපියල් 8 බැගින් කඩදාසි මිලියන 30 ක් සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 240 කි.

තවද එම කඩදාසි මිලියන 30 මුද්‍රණය කිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 60 කි. රුපියල් 15 බැගින් ලිපි කවර මිලියන 15 ක් සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 225 කි. එක් ලිපියකට තැපැල් ගාස්තුව රුපියල් 110 කි. ඒ අනුව ලිපි මිලියන 15 සඳහා තැපැල් ගාස්තුව රුපියල් මිලියන 1650 කි. ඊට අමතරව, මෙම සහතික සහ ලිපි මුද්‍රණය කිරීමට අදාළව නවීන පන්නයේ මුද්‍රණ යන්ත්‍ර මිලදී ගැනීමටද අදාළ ලිපියෙන් ඉල්ලුම් කර ඇත.

තවද විද්‍යුත් තැපෑල මගින් පහසුවෙන් ටින් අංකය සහිත සහතිකය නිකුත් කිරීමට හැකියාව තිබියදී මෙය මුදල් නාස්තියක් බැවින් මුදල් දීම අනුමත නොකරන ලෙසට ජනාධිපති කාර්යාලය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්ද කර ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ‘රැමීස්’ පද්ධතියේ පවතින දෝෂ තත්ත්වයන් හේතුවෙන් ටින් අංක ඉල්ලුම් කරන ලද එක්ලක්ෂ නවදහසකට තවමත් එම අංකය නිකුත් කර නැති බව ද හෙළිව තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඉකුත් වසරේ (2023) මෙරට වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය එක්කෝටි පනස් හතර ලක්ෂ අටදහස් නවසිය අසූ එකකි (15,408,981).

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරු ලංකාවට . . .

Sat Feb 24 , 2024
රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් නිදහස් වූ එක් වරදකරුවෙකු වන සාන්තන් වහාම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පහසුකම් සලසමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔහුට හදිසි සංචාරක ලේඛනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනට තිරුචිරප්පල්ලි මධ්‍යම බන්ධනාගාරයේ විශේෂ කඳවුරේ රඳවා සිටින සාන්තන් පසුව නිලධාරීන් විසින් තිරුචිරප්පල්ලි අන්තර්ජාතික ගුවන් තොටුපළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x