පාස්කු ප්‍රහාර සිද්ධියෙන් නිදහස් වූ අයගෙන් පොලිසිය සමාව ගනී . . .

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් අනතුරුව ඉදිරිපත් වූ පැමිණිලි මත සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා මේ වන විට නිදහස් කර ඇති හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම්  ජාතිකයින් තුන්දනෙකුගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිංහල ක්‍රමයට ඔවුන්ට ආචාර කර සමාව ඉල්ලා සිටියහ.

තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මාස හයකට වැඩි කාලයක් රඳවා තබා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් සෙනූල් ආබ්දීන් ඉර්ෆාන්, සෙනුල්ආබ්දීන් කලීෆාතුල්ලා සහ නූර්ගේ සකරියා යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද එස්. තුරෙයි රාජා , කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම සමාව අයැදීම සිදුකෙරුණි.

මෙම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී සැකරුවන් පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටියහ. එසේම අදාල පෙත්සම් වල වගඋත්තර කරුවන් ලෙස නම්කර සිටි එවකට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව, එම පොලිසියේ පොලිස් සැරයන් ප්‍රේමරත්න, සැරයන් සිසිර, පොලිස් කොස්තාපල් ජයතිලක සහ කැබිතිගොල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේ පෞද්ගලිකව පෙනී සිටිමින් මෙම සමාව අයදීම සිදු කළහ.

එහිදී අදාල පොලිස් නිලධාරින් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් මාධව තෙන්නකෝන් සඳහන් කළේ මෙම පෙත්සම්කරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ හොරොව්පතාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ බවයි. 2022 වසරේදී එම නඩු වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පෙත්සම්කරුවන් ගෙන් පොලිසිය විසින් තවදුරටත් ප්‍රශ්න කිරීමක් නොකරන බවත් මෙහිදී අදාල පොලිස් නිලධාරීන් පෙනුමෙන් පෙනී සිටී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ලැබුණු පැමිණිලි වලට අනුව මෙම පෙත්සම්කරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාස හයක පමණ කාලයක් රඳවා තැබූ බවත් තම ගිණුම්වල රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවට මාධ්‍යවලින් වාර්තා කර තිබූ බවත් පෙත්සම්කරුවෝ අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

එහෙත් පසුව තමන්ව සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මේ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

  • කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාස්පෝට් නඩුවෙන් විමල් නිදහස් . . .

Mon Apr 1 , 2024
විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කොට තිබේ. ඒ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මතය. 2015 වසරේ ඔක්තොම්බර් 13 වන දින අක්‍රීය ගමන් බලපත්‍රයකින් විදේශ ගත වීමට උත්සාහ කර ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x