හෙළ හවුලේ මුල් පර­පුරේ අව­ස­න් පඬිවරයා සඳ­දස් කෝප­ර­හේවා

හෙළ හවුලේ මුල් පර­පුරේ අව­සා­නයා ද අවු­රුදු අනූ නව­යක් ආයු වැලඳා පසු­ගිය පස්වෙනි දා (2022 ජූනි 5වෙනි දා) අප හැර දා ගියේය. ඒ සඳ­දස් කෝප­ර­හේවා සූරීහු ය. ලොවට ආ හැම කෙනෙකු ම කවදා හෝ ලොව හැර යන බව ලෝ දහම යි. එබැ­වින් ඒ වියොව ගැන අමු­තු­වෙන් කම්පා විය යුතු නැත. සිය වස­කට ආසන්න කාල­යක් හෙළ බස් වහරේ දියු­ණුව වෙනු­වෙන් එතු­මන් කළ මෙහෙය, එතු­මන්ගේ නම අප රටේ වියත් පර­පුරේ නොමැ­කෙන නමක් සේ පවත්වා ගෙන යෑමට හේතු වනු ඇත.

අප වැඩි දෙනා එතුමා හඳු­නන්නේ හෙළ හවුලේ ප්‍රබල සාමා­ජි­ක­යකු හැටි­යට ය. සිය දෙමා­පි­යන් නැකත් බලා ඔහුට දුන් ‘චන්ද්‍ර දාස’ යන සංස්කෘත නාමය ඔහු හෙළ හවුල් රීති­යට ගැළ­පෙන පරිදි ‘සඳ දස්’ යනු­වෙන් වෙනස් කර ගත්තේය. එප­ම­ණ­කින් නොනැ­ව­තුණු ඔහු සිය වැඩි­ම­හල් පුත­ණු­වන්ට ද ‘සඳ ගෝමි’ යන නම දුන්නේය. ‘සඳ ගෝමි’ වැනි නමක් මතක් වන්නේ දඹ­දෙණි යුග­යෙහි දී ලිය­වුණු ‘සිද­ත්ස­ඟ­රාව’ කියවූ පඩි­ව­ර­යෙ­කුට පම­ණකි. එදා අපේ රටේ වැජ­ඹුණු විය­තුන් අතර ‘රතැ­සිපා’ හා ‘සඳ­ගෝමි’ යන පඩි­ව­රුන් දෙදෙ­නකු වූ බව අප දැන ගත්තේ ‘සිදත් සඟ­රාව’ කළ අනෝ­ම­දස්සි හිමි­යන්ට පින් සිදු වන්ට ය.

කුම­ර­තුඟු මුනි­ද­සුන් පිහි­ටුවා ලූ ‘හෙළ හවුලේ’ අර­මුණ වූයේ එතුමා ‘සුබස’ ලෙස පිළි­ගත් සිංහල භාෂා ව්‍යව­හා­රය යළි පණ ගැන්වීම යි. ඒ වන විට සිංහල විය­තුන් භාවිත කළ සිංහල භාෂාව සංස්කෘත පද බහුල ව්‍යව­හා­ර­යක් විය. සංස්කෘ­තය හෝ පාලිය අපේ ම භාෂා නොව දඹ­දි­වෙන් මෙහි ආ භාෂා යි. බුදුන් වහන්සේ දහම් දෙසුවේ ‘පාලි­යෙන්’ වුවත් එය දඹ­දිව මගධ දේශ­යෙහි භාවිත වුණු ප්‍රාකෘත භාෂාව යි.
එබැ­වින් සංස්කෘත හා පාලි යන භාෂා දෙකේ ග්‍රහ­ණ­යෙන් සිංහ­ලය මුදවා ගැනී­මට එතු­මාට අවශ්‍ය විය. ‘කුමාර තුංග’ හා ‘මුනි දාස’ යන නම් දෙක ම සංස්කෘත භාෂා­වෙනි. එබැ­වින් ඒ සංස්කෘත පද බැහැර කොට ඒ වෙනු­වට අපේ ම පද යොදා ‘කුමර තුඟු’ හා ‘ මුනි දස්’ යන නම් සදා ගැනිණ. ‘සිංහල’ යන පදය පවා සංස්කෘත භාෂා­වෙන් ගත්තකි. ඒ වෙනු­වට ‘හෙළ’ හෝ ‘එළු’ යන හෙළ වදන් ම වහ­රට ගැනිණ. හෙළ බස රැකීමේ වග­කීම ‘හෙළ හවු­ලට’ පැව­රිණ.
සඳ දස් කෝප­ර­හේවා සූරීන් හෙළ හවුලේ සාමා­ජි­ක­යෙකු හැටි­යට හෙළ බසින් ලිවි­මට වැඩි කැමැ­ත්තක් දැක්වු­වත් එතුමා පාලි භාෂාව හෝ ඉංගි­රිසි භාෂාව අම­තක කළේ වත් හෙළා දුටුවේ වත් නැත. අති­පූජ්‍ය මඩිහේ පඤ්ඤා­සීහ මහ නාහිිමි පාණන්ගේ අධී­ක්ෂ­ණය යටතේ මහ­ර­ගම ධර්මා­ය­ත­නය විසින් සම්ප­දා­නය කළ ‘පාලි ශබ්ද­කෝ­ෂයේ’ ප්‍රධාන සංස්කා­ර­ක­ව­රයා වශ­යෙන් එතුමා කලක් සේවය කළේය.

ඔහු ගුරු­ව­ර­යෙකු වශ­යෙන් සේවය කළේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යා­ල­යෙහි ය. එතුමා අවු­රුදු තිස් දෙකක් (1951-1983) එහි ඉගැ­න්වීම් කළේ ඉංගි­රිසි මාධ්‍ය­යෙනි. එදා සිංහල පවා උග­න්වනු ලැබුවේ ඉංගි­රිසි මාධ්‍ය­යෙනි. සිංහ­ල­යට අම­ත­රව කලාව හා බුද්ධ ධර්මය ද ඉගැ­න්වීම එතු­මාට පැව­රිණ. එවක එහි සේවය කළ අරී­සෙන් අහු­බුදු සූරීන්ගේ ද ඇසුර ලබ­මින් එතුමා ගුරු­ව­ර­යෙකු ලෙස ඉතා වටිනා සේව­යක් ඉටු කළේය.

ඔහු ඉංගි­රිසි බසින් ලිය­වුණු පොත් කීප­යක් ම හෙළ බසට නැඟීය. ඒ අතු­රින් වටිනා ම කෘතිය වූයේ මහා­චාර්ය ආර්. එච්. විලෙන්ස්කි (R.H.Wilenski) සූරීන් යුරෝ­පීය කලාව අලළා ලියූ ‘Miniature History of European Art ‘නමැති කෘතියේ සිංහල පරි­ව­ර්ත­නය යයි. එය ‘යුරෝපා කලාවේ ලුහඬු ඉති­හා­සයේ සිංහල පෙරැ­ළිය: යුරෝපා කලා – හෙළ කලා සස­ඳුව’ යනු­වෙන් 1958 දී සිංහ­ල­යට නැගිණ. ඊට අම­තර ව ‘යුරෝපා කලා ඇගැ­යීම’ යනු­වෙන් කලා චිචාර ග්‍රන්ථ­යක් ද එතුමා අතින් ලිය­විණ. යුරෝ­පීය කලා සම්ප්‍ර­දාය අලළා ලිවී­මට අවශ්‍ය ‘හෙළ වදන්’ එතුමා ම නිර්මා­ණය කොට ගත්තේය.

එතුමා සිංහල භාෂාව ගැන පම­ණක් නොව සිංහල ජන සංස්කෘ­තිය ගැන ද උන­න්දු­වක් දැක්වූ­වෙකි. පත්තිනි ඇද­හිල්ල පිළි­බ­ඳව එතුමා දැක්වූ උන­න්දුව ‘නව­ගමු දේවා­ලයේ පත්තිනි ඇද­හිල්ල’ යනු­වෙන් 2006 දී ඔහු ලියූ කෘති­යෙන් හෙළි වේ. මේ පොත දෙ කරු­ණක් නිසා සුවි­ශේෂී වේ.

පළ­මු­වැන්න, මා දන්නා තර­මින්, පත්තිනි ඇද­හිල්ල පිළි­බ­ඳව සිංහ­ල­යෙන් ලිය­වුණු සාර­ගර්භ ම ග්‍රන්ථය මෙය යි. දෙවැන්න, එහි ඉංගි­රිසි අනු­වා­ද­යක් එහි ම දෙවෙනි අඩ සේ එකතු කොට තිබීම යි.
මෙය ලිවී­මෙහි දී ජන ශ්‍රැති­වි­ද්‍යාව පිළි­බ­ඳව ප්‍රාමා­ණි­ක­යන් වන මැලි­නොව්ස්කි (Malinowski), රේමන්ඩි ෆර්ත් (Raymond Firth), වෝටර් පේටර් (Walter Pater), ඇල්ඩස් හක්ස්ලි (Aldous Huxley), එම්.ඩී.රාඝ­වන් හා ගණ­නාථ ඕබේ­සේ­කර වැන්නන් ඉදි­රි­පත් කළ අද­හස් කතු­ව­ර­යාගේ අව­ධා­න­යට යොමු වී ඇත.

නව­ග­මුවේ පත්තිනි දේවා­ලය සෙසු පත්තිනි දේවා­ල­ව­ලට වඩා විශේෂ වන්නේ වරකා දැව­යෙන් කළ එහි ප්‍රධාන දොර­ටුවේ වරකා ගෙඩි දෙකක් හට ගැනීම යි:

තෙද ඇති පත්තිනි පත් නව­ගමු වේ .
ඇද හැර යතු ගෑ උළු­වහු කණු වේ
තෙද බල පා ලොව නර­යන් හමු වේ
හොඳ වරකා දෙක පල ගති අමු වේ

අද බොහෝ දෙනා ‘ජන කවි’ වශ­යෙන් සල­කන සම­හර කවි ඇත්ත වශ­යෙන් ම ‘පත්තිනි මඩු­වෙහි’ කියන කවි බව මේ පොත කිය­වී­මෙන් දත හැකි ය:

ඉරට මුවා­වෙන් ඉඳ ගෙන ඉස පීරන වා
සඳට මුවා­වෙන් ඉඳ ගෙන සළු පල­ඳින වා
මෙරට මුවා­වෙන් ඉඳ ගෙන සලඹ දරන වා
රඟට මෙමල් අස්න බලා පතිනි වඩින වා

එතුමා සතු ජන ශ්‍රැති ඥානය නිසා ‘සිංහල සාක්ෂර සමීක්ෂා’ යන නමින් 1990 දී මා කළ පර්යේ­ෂ­ණ­ය­කට එතු­මාගේ දාය­ක­ත්වය ද ලබා ගත්තෙමි.මේ කෘතිය පසුව ‘Studies in Sinhala Literacy’ යනු­වෙන් ඉංගි­රි­සි­යට ද නැගිණ.
එතුමා 1993 දී පළ කළ ‘දහම් ගැට මාලා විව­ර­ණය’ අභි­රු­චි­යෙන් කිය­විය හැකි සංස්ක­ර­ණ­යකි. ‘දහම් ගැට’ යනු සාහි­ත්‍ය­යෙහි එන එක්තරා සුවි­ශේෂ පද්‍ය වර්ග­යකි. ‘දහම් ගැටය’ යනු පාඨ­ක­යාගේ බුද්ධිය පරීක්ෂා කිරිමේ අර­මු­ණින් ගොතන ලද සිවු­ප­ද­යකි. එතුමා මෙය පසුව ඉංගි­රිි­සි­යට ද පරි­ව­ර්ත­නය කළේය. ‘Daham Gata Malaya – A Poem of Doctrinal Riddles’ යන නමිනි. ‘දහම් ගැට­ය­කින්’ කෙරෙන්නේ බුදු දහ­මට අයත් සංකල්ප සඟවා කීම යි.
‘දහම් ගැට මාලාව’ ලීවේ වීදා­ගම මෛත්‍රෙය මහ නාහි­මි­යන් ය. එහි සිවු­පද 74කි. නිද­සු­නක් වශ­යෙන් මිනිස් දිවි­යෙහි වැද­ගත් අවස්ථා තුන, මෙසේ ‘දහම් ගැට­ය­කට’ හරවා ඇත:

“උදය ගමන් යන්නේ සතර පයකි නි
මැදය ඉර මුඳුන යන්නේ දෙ පයකි නි
විඳය සැපත් අව­රට ගිය තුන් පයිනි
සොඳය මෙ පද තේරූ­වොත් නුව­ණකි නි”

මෙයින් කිය­වෙන්නේ මිනිසා ළදරු වියෙහි දී ගමන් කර­න්නනේ පාද සත­ර­කින් බව යි. එනම් දණ ගාමින් බව යි. ඔහු වැඩුණු පසු දෙ පයින් ගමන් කරයි. ජීවි­ත­යෙහි සැඳෑ කාල­යෙහි දී ගමන් කරන්නේ දෙ පයට හැර­මි­ටි­යක් ද එක් කර ගනි­මින් තුන් පය­කිනි.

එතු­මන් අතින් සංස්ක­ර­ණය වුණු තවත් පද්‍ය ග්‍රන්ථ­යක් නම් ‘වියො­වග රත්න මාලය’ යි. මෙය අයත් වන්නේ ‘විරහ කව්‍ය’ ගණ­යට ය. සිංහල සාහි­ත්‍ය­යෙහි එන මුල් ම ‘විරහ කාව්‍ය’ වන මෙහි පද්‍ය 132 කි. පෙම්ව­තුන් හා පෙම්ව­ති­යන් වෙන් වීම නිසා ඇති වන විරහ දුක මේ කවි­ව­ලින් වර්ණනා කෙරේ. එබැ­වින් මේ පද්‍ය විප්‍ර­ලම්භ ශෘංගා­ර­යෙන් යුක්ත ය. මේ කවි පොත ආරම්භ වන්නේ මෙවැනි පද්‍ය­ය­කිනි:

දිසි රන ලියක ලීලය සොඳුරු ලද ල ද
කර­මිනි මසිතු ආලය පහස විඳ වි ඳ
විර­තට පැමිණි කාලය දුකින හද ත ද
වියො­වග රත්න මාලය කියමි පද බැ ඳ

එතුමා හෙළ බස නඟා ලීමට කළ සේවය වෙනු­වෙන් ‘හෙළ බස් මිණි’ යන සම්මා­නය හෙළ හවුල විසින් 1993 දී එතු­මාට පිරි­නැ­මිණ. දස වස­කට පසුව සංස්කෘ­තික කට­යුතු පිළි­බඳ දෙපා­ර්ත­මේ­න්තුව ද එතු­මාට ‘කලා භූෂණ’ නම් සම්මා­නය පිළි­ගැ­න්විය. 2015 දී පැවැ­ත්වුණු ගොඩගේ සාහිත්‍ය උත්ස­ව­යෙහි දී ‘දිව­මන් ප්‍රණාම’ සම්මා­නය පිදී­මෙන් එතු­මාගේ සේවය අගය කෙරිණ.

‘මහා පුරු­ෂ­යෙකු’ වීමට නම් අව­ශ්‍යතා තුනක් සපුරා ලිය යුතු යැයි චීන උප­හ­ර­ණ­ය­කින් කියවේ. එනම් පුතෙකු සැදීම, පොතක් ලිවීම හා ගසක් සිටු­වීම යි.
එතුමා එක් පුතෙකු නොව පුතුන් දෙදෙ­නෙකු ම සැදූ­වේය. වැඩි­මලා මහා­චා­ර්ය­ව­ර­යෙකි. බාලයා බට­හිර වෛද්‍ය­ව­ර­යෙකි.
එතුමා පොත් ද එකක් නොව කීප­යක් ම ලිවීය. සිංහ­ල­යෙන් මෙන් ම ඉංගි­රි­සි­යෙනි.

එතුමා ගසක් සිටෙව්වා ද නැද්ද යන්න නම් මා හරි­යට ම දන්නේ නැත. එහෙත් එක් පුතෙකු වෙනු­වට පුතුන් දෙදෙ­නෙකු ම සැදී­මෙන් ඒ අඩුව පිරි­මැ­සෙනු ඇතැයි මට සිතේ. ඒ දරු­වන් දෙදෙනා ද ‘අති­ජාත පුත්‍ර­යන්’ වීම නිසා එතු­මාගේ මහා පුරුෂ ලක්ෂණ තවත් ඉහළ යයි.

‘සඳ­දස් කෝප­ර­හේවා මහා පුරු­ෂ­යා­ණෙනි, අම­ර­දේ­ව­යන් පැතු­වාක් මෙන්,’සසර වසන තුරු, නිවන් දකින තුරු මේ හෙළ දෙරණේ යළි යළි ඉපදී’ හෙළ බස රැකී­මට ඔබ­තු­මා­ණන්ට වාස­නාව ලැබේවා යි’ ඉත සිතින් පතමි.

මහාචාර්ය ජේ. බී. දිසා­නා­යක

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිර්ලජ්ජිත දේශපාළුවෝ චීනයෙන් කළ ඉල්ලීම

Thu Jun 16 , 2022
චීනයෙන් ලබා දී ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් හුවමාරුව භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව මාස තුනක විදේශ සංචිත තිබිය යුතු යැයි දෙරට අත්සන් කරන ලද ගිවිසුමේ ඇතුලත් වගන්තිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.විදේශ මුදල් හුවමාරුව සඳහා චීනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x