නිදහස් සෞඛ්‍ය සේවාව ඉතිහාසයේ දැවැන්තම අර්බුදයක . . .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඖෂධ හිඟයට තිරසාර විසඳුම් ලබා දීමටත් ඉහළ ගිය ඖෂධ මිල පහත දමා රෝගී ජනතාවට කඩිනම් සහන ලබා දීමටත් නව වසරේ බලධාරීන්ට ඇති වගකීම අවධාරණය කිරීම.

ආර්ථික අර්බුදය, ඖෂධ අර්බුදය, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රට හැර යාම, අකාර්යක්ෂම පරිපාලනය ආදී හේතූන් ගණනාවක් නිසා ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව ස්වකීය ඉතිහාසයේ දැවැන්තම අර්බුදයට මේ මොහොතේ මුහුණ දෙමින් සිටියි. මෙම ගැටලු සමනය කරගනිමින් මෙරට සෞඛ්‍ය සේවාව බිඳවැටීමට ඉඩ නොදී සුරක්ෂා කර ගැනීමට නව වසරේදී හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විටින් විට ජනමාධ්‍ය ඉදිරියේ විවිධ පුරෝකථන ඉදිරිපත් කළ ද මෙරට සෞඛ්‍ය පද්ධතිය වෙලාගත් ඖෂධ අර්බුදය සුබවාදී දිශානතියකට ගමන් කරන ආකාරයක් තවම දක්නට නොමැත.

ජාතික රෝහලේ සිට පර්යන්ත රෝහල් පද්ධතිය දක්වා සියලුම සෞඛ්‍ය සේවා ස්ථාන වෙත පැමිණෙන ජනතාව ඖෂධ හිඟය හේතුවෙන් දිනෙන් දින අසීරුතාවයට පත් වෙමින් සිටියි. රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ද දිනෙන් දින උග්‍ර වෙන ඖෂධ අර්බුදය සාමාන්‍යකරණයට පත්ව ඇත. ඉහළ යමින් පවතින ඖෂධ සහ උපකරණ මිලට ද විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් සමත්ව නැත.

විෂමාචාරයන්ට රුකුල් සපයන හදිසි මිලදී ගැනීම්  නවතා දමා සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයට ජුනි මාසය වන විට අනුගත වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම ප්‍රකාශ කළ ද, එය යථාර්ථයක් කර ගැනීමේ කිසිදු සලකුණක් හෝ සූදානමක් මෙතෙක් දක්නට නොමැත.

ඖෂධ වල මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් රෝගී ජනතාව කබලෙන් ළිපට වැටී ඇත. ආර්ථිකය යම් ආකාරයකට ස්ථාවර වීම හමුවේ උද්ධමනය පහළ ගොස් භාණ්ඩ හා සේවාවන්හි මිල පහල යමින් පැවතිය ද, ඖෂධ සහ පෞද්ගලික රෝහල් වල ගාස්තු කිසිදු ආකාරයකින් පහත නොවැටීම විමතියට කරුණකි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන අනු කමිටුව නැවත සක්‍රිය කර නිවැරදි ක්‍රමවේදය යටතේ ඖෂධ සහ උපකරණ වල මිල නියාමනය කිරීම හරහා පීඩාවට පත් ජනතාවට සහනයක් ලබාදීමට දැන්වත් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක විය යුතුය. ඖෂධ මිල පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රායෝගික යෝජනාවලිය පවා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් සමත්ව නොමැතිවීම අවාසනාවන්ත කරුණකි.

ආර්ථික අර්බුදයට මුවා වී පෞද්ගලික රෝහල් මගින් ලබාදෙන සේවාවන් සඳහා අය කරන ගාස්තු ද පසුගිය කාලයේදී වේගයෙන් ඉහළ නංවන ලදී.  විවිධ අවස්ථාවන්හි එම ආයතන තුල ජනතාව සූරා කෑම සම්බන්ධයෙන් පැමිණිලි ද ලැබී ඇත. එබැවින් පෞද්ගලික රෝහල් වල ගාස්තු නියාමනය සඳහා ද අවශ්‍ය නීතිමය සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීම හරහා ජනතාවට සහනයක් ලබාදීම අත්‍යවශ්‍යය.

ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති අභියෝගයන් සහ අර්බුද නිවැරදිව හඳුනාගනිමින් ඒවාට ඉහල ප්‍රමුඛතාවය ලබා දී  විසඳීමෙන් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරම වගකීමයි. එහෙත් එම වගකීම පැහැර හරිමින් ඖෂධ අර්බුදයට තිරසාර විසදුම් ලබා දීමට අසමත් වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අපගේ දැඩි විරෝධය පල කරන අතර නව වසරේදීවත් ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඖෂධ අර්බුදය විසඳා ජන ජිවිත ආරක්ෂා කිරීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශය කැපවිය යුතු බව තරයේ අවධාරණය කරමු.

උදා වූ නව වසර ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ අභියෝග ජයගත හැකි, ජනහිතවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් බිහි වන සුබ නව වසරක් වේවායි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙරට සියලු පුරවැසියන්ට ප්‍රාර්ථනා කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ
ලේකම්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධ්‍යාපනය හදිසි නීතිය යටතේ අත්‍යාවශ්‍ය සේවාවක්වේ . . .

Wed Apr 19 , 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බවයි. අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ සතියක් තුළ එකඟතාවයකට පැමිණ විභාග පිළිතුරු පරීක්ෂා කිරීමට නොපැමිණෙන්නේ නම් අධ්‍යාපනය හදිසි නීතිය යටතේ අත්‍යාවශ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x