සීනි වංචාව වහන්න දේශපාලන බලපෑම් . . .

රුපියල් කෝටි 29 කට අධික වටිනාකමින් යුත් නීතිවිරෝධීව ආනයනය කළ දුඹුරු සීනි කිලෝග්‍රෑම් 607,550 ක් (මෙට්‍රික්ටොන් 607) සඳහා ප්‍රධාන පෙළේ සමාගමකට ශ්‍රී ලංකා රේගුව පැනවූ රුපියල් කෝටි 19 ක දඩය දේශපාලන බලපෑම් හේතුවෙන් අයකරගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මුදල් අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව අදාල දඩය කෝටි 16කට අඩු කිරීමෙන් පසුව දේශපාලන අධිකාරියේ ඉහළතම නිලධාරියෙක් එම දඩය පිළිබඳව සළකා බලන ලෙස රේගු දෙපාර්තමේන්තුවට නිල නොවන මට්ටමින් දැනුම්දීමෙන් දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව තිබේ.

ශ්‍රී ලංකා රේගු පශ්චාත් නිෂ්කාශන සහ විගණන අංශයේ  නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පසුගිය ජනවාරි මස අත්අඩංගුවට ගත් මෙම සීනි තොගය බහාලුම් 45 ක සුදු සීනි කිලෝ 50 බැගින් වන මිටි 270 බැගින් අසුරා ආනයනය කර තිබූ බවත් එම සීනි තොගයේ සම්පූර්ණ බර මෙට්‍රික්ටොන් 1,215 ක් බවත් රේගුව සඳහන් කරයි.

දඩය පැනවීමෙන් පසුව අදාල ආනයනකරු මුදල් අමාත්‍යංශයට යොමුකළ අභියාචනය ප්‍රතික්ෂේප කළ එම අමාත්‍යංශය දෙවැනි වර දඩය කෝටි 3ක් අඩු කරන ලෙස දැනුවත් කර ඇති බවත් නැවතත් ඉහළම දේශපාලන අධිකාරියේ ලේකම්වරයෙක් දඩය පිළිබඳව නැවත සළකා බලන ලෙස දැනුම් දී ඇති බවත් රේගු ආරංචි මාර්ග සදඟන් කරයි.

දඩය නියම වූ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට සහ ඔහුට අයත්  අනෙකුත් සමාගම්වලට මීට පෙර අවස්ථා 23 ක දී රේගු වැරදි සම්බන්ධයෙන් රුපියල් කෝටි 7කට අධික දඩ මුදලක් පනවා ඇති බව කියන රේගුව මෙහිදී නීතිවිරෝධීව ආනයනය කළ දුඹුරු සීනි සහ සුදු සීනි තොගය රේගු ආඥා පනතට අනුව රාජසන්තක කළ යුතු වුවද, රේගු පරීක්ෂණයේදී වරදේ ස්වභාවය, රජයට අහිමි වන ආදායම සහ ආනයනකරුගේ දුක්ගැනවිලි පිළිබඳව සළකා රුපියල් 189,293,778 අහිමි කිරීමට යටත් කර අයිතිකරු සීනි තොගය මුදා හළ බව ද සඳහන් කළේය.

දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම සහ මෙරට විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අරමුණින් ආනයන අපනයන පාලන පනතේ 2262/17 අංක දරන 11.01.2022 දිනැති ගැසට් පත්‍රය හරහා දුඹුරු සීනි ලංකාවට  ආනයනය කිරීමට සීමා පනවා ඇති අතර ආනයනකරු සතුව රුපියල් මිලියන 189 ගෙවීමට මුදල් නොමැතිවීම හේතුවෙන් ආනයනකරුගේ ඉල්ලීම් මත රුපියල් මිලියන 190 බැංකු ඇපකරයක් තබා සීනි තොගය මුදාහැරි බවත් රේගුව සඳහන් කරයි.

  • යොහාන් භාසුර

 


Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගැටළුකාරී තත්වයකට මුහුණදී ඇති ගුවන් ගමන් පාලක අර්බුදය . . .

Mon May 8 , 2023
  ගුවන් යානා මෙහෙයුම් කටයුතු සදහා පාලකවරුන් 148 කගේ සේවය අවශ්‍ය වුවත් මේ වන විට එහි සේවයේ නියුක්ත වන්නේ පාලකවරුන් 79 දෙනෙක් පමණක් බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් එම සේවාව ලබාදීමේදී ගැටළුකාරී තත්වයකට මුහුණදී ඇති අතර දැනට රාජකාරි කටයුතු කරනු ලබන නිළධාරින්ට පැය 24 ම සේවයේ නිරතවීමට සිදුව තිබෙනවා. කටුනායක, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x