කොමිස් කාක්කන් නිසා Solar විදුලිය නොලැබේ . . .

විදුලිය නිෂ්පාදනය කරණු ලබන ජලාශ සියල්ලම පාහේ පිරීයමින් පවතින මොහොතක විදුලිබල මණ්ඩලය දැවැන්ත වංචාවක්, සිදුකරමින් ජනතාව ගසා කමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව සදහන් කර සිටියේ වත්මන් ජන පීඩක ආණ්ඩුව විසින් සිදු කරනු ලබන විදුලි බිල වැඩි කිරීමට, බදු බර ඉහළ දැමීමට, ජීවන වියදම උග්‍ර කිරීමට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව උත්තර ලංකා සභාගය විසින් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයක දීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී මෙසේ පැවසීය.

මහවැසි මැද මහ වංචාවක්

විදුලි බිල නැවත වතාවක් වැඩි වෙලා. ආණ්ඩුව කියනවා ඒ පිරිවැය විදුලි පාරිභෝගිකයා දැරිය යුතුයි. වියදම වැඩි වුනොත් අපි ඒක පාරිභෝගිකයගෙන් අය කරනවා. අපිට ඒකට විසඳුමක් නැහැ කියලා. මිත්‍රවරුනේ විදුලි බිලෙහි පිරිවැය විදුලි පාරිභෝගිකයා දැරිය යුතු කියන එක අපි පිළිගන්නවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නෙ මොකක්ද? විදුලිබල මන්ඩලයේ නාස්තිය පාරිභෝගිකයාගේ කරමත පටවනවාට අපි විරුද්ධයි. විදුලිබල මණ්ඩලයේ තිබෙන දූෂණය පාරිභෝගිකයාගේ කරමත පටවනවාට අපි විරුද්ධයි. ප්‍රතිපත්තිමය තීන්දු‍වල වරදින් විදුලි මිල ඉහළ යෑමේ ආදීනවය පාරිභෝගිකයාගේ කර මත පටවනවා අපි විරුද්ධයි. ඒ වගේම බොරු තක්කඩි ගණනය කිරීම්වලින් හදා ගන්නා ඉලක්කම් වලින් එන බරපැන පාරිභෝගිකයා මත පටවන අපි විරුද්ධයි. දුප්පත් කෙනා වෙත වැඩි විදුලි බිලක් දාලා පෝසතාගේ විදුලි මිලත් දුප්පතාගෙන් අය කරගන්නවටත් අපි විරුද්ධයි. ඒ නිසා තමයි අපිට විදුලිබිල ගැන ආරෝවක් තියෙන්නේ.

පසුගිය කාලෙ කිව්වෙ මාස හයෙන් හයට විදුලි බිල වැඩි කරනවා කියලයි. එහෙම කිව්ව ආණ්ඩුව පසුගිය මාස දෙකේ පෑවිල්ල, ඩීසල්වලින් විදුලිය හදන්න වුනා, ඒ නිසා අපිට යළි වැඩි කරන්න ඕනි කියලා තමයි මේ ගිය මාස දෙකේ වැඩි කරේ. පෑව්ව බවත් ඇත්තයි. ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කරන්න ගිහිල්ලා පාඩුපිට විදුලි නිෂ්පාදනය කළ බවත් ඇත්තයි. හැබැයි මේ වෙනවිට ඒ පායපු මාස දෙකට හරියන්ඩ පැල් බැඳගෙන වහිනවා.

ඊයේ දිනයේ වන විට, නොවැම්බර් 10 වෙනවිට ලංකාවේ ප්‍රධාන විදුලි ජලාශ පහේ තත්වය ගත්තොත් මොක්කද තත්වය. මම සංඛ්‍යාලේඛන ටික ගෙනාවා. කාසල්රි 99% ක් පිරිලා. මාවුස්සා කැලේ 94%යි. සමනලවැව 90%යි. කොත්මලේ 80 %යි. ඉදිරි සති දෙක තුළ මේ සියලු ජලාශ පිරිලා ඉතිරිලා යනවා. එහෙමනං ඒ වෙච්ච පාඩුව මේ වෙනකොට අල්ලලා ඉවරයි. එහෙමනං මොකටද මේ බිල වැඩි උනේ. සාමාන්‍යයෙන් දවසකට අපිට විදුලිය අවශ්‍ය වෙනවා ගිගා වොට් පැය 44ක් – 50ක් අතර. මේ දවස්වල වහිනවා. වහිනකොට ෆෑන් අවශ්‍ය නෑ. වායු සමීකරණ දාන්නේ නෑ. ගිගා වොට් පැය 44 ක් විතර තමයි සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ. හැබැයි පහුගිය කාලේ ආර්ථික අර්බුද එක්ක මේ මිල වැඩි කිරීම දරාගන්න බැරුව ජනතාවට දැන් මේ දවස් වල දවසකට විදුලි ඉල්ලුම තියෙන්නෙ ගිගා වොට් පැය 40 – 41 අතර. ඊයෙ දවසෙ ජලාශ සහ ආශිත ප්‍රදේශවලට කඩා වැටුණු වර්ශාවෙන් ජලාශවලට එකතුවුණු ජලයෙන් විතරක් ගිගා වොට් පැය 48ක් හදන්න පුළුවන්.

මේ දවස් වල මේ ජලයේ නිෂ්පාදනය නිසාම ඊයේ දවසෙෙ සංඛ්‍යාලේඛන බැලුවා මේ ඩීසල් වගේ තාප විදුලි බලාගාර වලින් විදුලි නිෂ්පාදනය කර තියෙන්නේ සමස්ථ අවශ්‍යතායෙන් 23%යි. එහෙම නම් මේ තාප විදුලි ජනනයට යන වියදම ආවරණය කරන්න කියලා පහුගිය ඔක්තෝම්බර් මාසේ විදුලි බිල වැඩි කිරීම තක්කඩි කමක්, වංචාවක්, බොරුවක් ජනතාව ගසා කෑම කියන එක අපි බය නැතුව කියනවා.

එදා කොමිසම සහ මෙදා කොමිසම

ආර්ථික විද්‍යාවේ පළවෙන පාඩම තමයි මිල වැඩි වෙනකොට ඉල්ලුම අඩුවෙනවා. වැඩි වෙනකොට දරාගන්න බෑනෙ. ඒ මිලට ගන්න බැරි මිනිහා ගන්නැතුව ඉන්නකොට ඉල්ලුම අඩු වෙනවා. එහෙම නම් විදුලි බිලත් ඔච්චරයි කතන්දරේ. හැබැයි විදුලි මිල කීයකින් වැඩි කරන්ඩ අවශ්‍යද කියලා ගනන් හදද්දි විදුලිබල මණ්ඩලය ගණන් හැදුවේ ඒ තියෙන ඉල්ලුම් ඒ ආකාරයෙන්ම තියෙනවා කියලා. ලොකු ගානකින් වැඩි කරගන්න. කලින් නම් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සටන් කරා විදුලිබල මණ්ඩලයේ ඉලක්කම් වැරදි, ඉල්ලුම දැනටමත් අඩු වෙලයි තියෙන්නේ, ඒ නිසා මේ ඉලක්කං අඩු කරල ගේන්න කියලා. මොකද කරේ ? මහජන උපයෝගීතා කොමිසමක් හදලා තියෙන්නේ විදුලි බලමණ්ඩලයේ ඉලක්කම් හරිද බලන්න. හරියට වැඩකරනවද බලන්න. අනේ මේ මනුස්සයා මේක කිව්වම හදපු ඉලක්කම් හදාගෙන නිවරදි කරනවා වෙනුවට මොකද කළේ ? පාර්ලිමේන්තුවේ බහුතරය පාවිච්චි කරලා ජනක රත්නායක කනෙන් ඇදලා එලියට දැම්මා. දැන් තියෙනවා මහජන උපයෝගිතා කොමිසමක්, විදුලිබල මන්ඩලය එවන එවන එකට අත්සන ගහලා අනුමත කරන. එහෙම මහජන උපයෝගිතා කොමිෂන් වැඩක් නෑ. ඊට වඩා හොඳයි ඔය කොමිෂන් විසුරුවාදාන එක.

සැප්තැම්බර් මාසයේ 4 වෙනිදා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ලියනවා අපිට හරි පාඩුයි. බිලියන 33කින් පාඩුවක් සිද්ධ වෙනවා. ඒ නිසා 22%ක් බිල වැඩි කරන්ඩ ඕනේ කියලා. ඔක්තෝම්බර් මස 17 වෙනිදා නැවත ලියනවා අනේ විදුලි ඉල්ලුම අඩු වෙලා. අපේ පාඩුව එච්චර නෑ. අපේ පාඩුව වෙන්නේ බිලියන 19ක් විතරයි කියලා. සති හයකදී බිලියන 14කින් පාඩු අඩුවෙලා. විදුලිබල මණ්ඩලයට හරියට පුරෝකථනය කරගන්න බෑ. මෙහෙම එවුන්ගේ ඉලක්කම් පදනම් කරගෙන දැවැන්ත ලෙස බිල වැඩි කිරීම කොතරම් දුරට සාධාරණ ද කියන ප්‍රශ්නය අපිට ආණ්ඩුවට මතු කරන්න සිද්ධ වෙනවා.

කොමිස් කාක්කන් නිසා නොලැබෙන සූර්ය විදුලිය

පායන කාලෙට තමයි මේ ඩීසල් ගෙනල්ලා විදුලිය නිෂ්පාදනය කරන්න වෙනවා කියන්නේ. වහින්නේ නෑ පායනවා කියන්නේ මොකක්ද ? හොඳට ඉර එළිය තියෙනවා කියන එක. හොඳට ඉර එළිය තියනකොට අපිට අවුරුද්ද පුරාම හිරු එළියෙන් විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන්. හැමෝගෙම වහල උඩ සූර්ය විදුලි පද්ධතියක් හයි කරගන්න පුලුවන්. අපි ඩීසල් වලට ගල් අඟුරු වලට වියදම් කරන දැවැන්ත ඩොලර් ප්‍රමාණය ගත්තම ආණ්ඩුව ගානේ සෑම නිවසකටම සුර්ය විදුලි පද්ධතියක් ලබා දෙන එක රටට ලාබයි. ඩොලර් ඉතිරියි. රටට වෙන්නේ සම්පතක් මිස නාස්තියක් නෙවෙයි. අපි දීර්ඝ කාලයක් තිස්සේ මේක ආණ්ඩුවට කියනවා. ආණ්ඩුව කරන්නේ නෑ. ඇයි ඒ අර ඩීසල් මාෆියාවෙන් එන දැවැන්ත කොමිස් කුට්ටිය වෙන කිසිම ක්‍රමයකින් හොයාගන්න බැරි නිසා. මේ කොමිස් කුට්ටි වලට කොමිස් කාක්කන් රැකගන්න තමයි විදුලි බිල වැඩි කරන්න ඕනේ කියන එක අපි ඉතාම අකමැත්තෙන් වුණත් සිහිපත් කරන්න සිද්ද වෙනවා.

රිවස් සරදියෙල් ක්‍රමය

පහුගිය මාස 15 ට විදුලි බිල තුන් පාරක් වැඩි කලා. මේ තුන් අවස්ථාවේම කළේ දුප්පතාගේ බඩට ගහපු එක. පෝසතාගේ විදුලි බිල දුප්පතාගේ සල්ලි වලින් ගෙව්වා. පළවෙනි විදුලි ඒකක 30ට මුලින්ම රුපියල් 30ක් අය කලා. අපි කෑගසපු නිසා එය රුපියල් 10ට අඩු කරලා තියෙනවා. එහෙම තිබියදීත් පහුගිය විදුලි බිල වැඩි කිරීමේදී, අඩුම විදුලිබිල එනම් ඒකක 30ට අඩු කට්ටියගේ විදුලි බිල වැඩි කරල 414% කින්. හැබැයි 200ට වැඩිය ඒකක භාවිතා කරන නිවසකට විදුලි බිල වැඩි වෙලා තියෙන 156% කින්. නිවසක විදුලි බිල ඒකක 30ක් කියන්නේ එක දවසක එක විදුලි ඒකකයයි පාවිච්ච් කරන්නේ. එකේ ගෙදර තියෙන්නෙ ලයිට් දෙකයි දාල තියේ. වගේම ඇදුම් මදින්න ස්ත්‍රික්කයක් තියෙනවා. විදුලි පංකාවක් නෑ. රූපවාහිනියක් තියෙනවා. මොබයිල් ෆෝන් එකක් චාර්ජ් කරගන්නවා. ඔන්න ඕවගේ නිවසක තමයි ඒකක 30ක් යන්නෙ. ඒ ගෙදර ශීතකරණයක් නෑ, අවන් එකක් නෑ , වෙනත් කිසිම විදුලි උපකරණයක් නෑ, එහෙම ගෙවල් ලංකාවේ තියෙනවද? උත්තරේ ඔව්. ලංකාවේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 68න් ලක්ෂ 15ක්ම විදුලිය පාවිච්චි කරන්නේ එකක 30ට අඩුවෙන්. ඒ අයග‍ෙ තමයි මේ අය වැඩිම විදුලි බිල වැඩිකරලා තියෙන්නේ. ඒක 414%ක්. කලින් වතිවේ 1038%ක්. අපි සම්මණ්ත්‍රනයක් කියලා මේ ගැන බරපතල විවේචනයක් ඉදිරිපත් කලා.

පෝසත් ජනතාවගේ බිල වැඩි කලානම් එයාලා සෝලා පැනල් එක්ක මිලදී අරගෙන වහලේ සවිකරගෙන මිල අඩු කරගන්නවා. එහෙම නැතිනම් වැඩියෙන් දමන විදුලි බුබුලු නිවා දමනවා. විදුලි උපකරන පාවිච්චිය සීමා කරණවා. නමුත් 30% ට අඩුවෙන් පාවිච්චි කරන නිවාස වලට 414% මිල වැඩි කලහම එයාලා මොනවයින්ද විදුලිය සීමා කරන්නේ. දාගෙන ඉන්න එකම විදුලි බුබුලත් නිවා දමලා කළුවරේ ඉන්නද ආණ්ඩුව කියන්නේ.

2023 වසරට විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වෙනවා ජල විදුලි ඒකක මිලියන 4000ක් නිෂ්පාදනය කරන්න. විදුලි පාරිභෝකියන් 68 ලක්ෂයෙන් මේක බෙදුවහම හැම ගෙරටම හැම මාසෙම ඒකක 49 දෙන්න පුළුවන්. වැය වන්නේ රුපියල් 3.05යි. අනික් වියදම් එක්ක 3.50 ට දෙන්න පුළුවන්. නමුත් මෑතක් වන තුරුම රුපියල් 30 ගානේ පලමු ඒකක 30ට ගත්තා. ජනතාවගේ විරෝධය නිසා ඒක රුපියල් 10 කරලා. 3. 50 ක් වත් යන්නේ නැති ඒකකයට රුපියල් 10ක් ගන්නේ ඇයි. ලොකු විදුලිබිල් ලැබෙන කට්ටියට අඩුවට දීලා අපේ විදුලි බිලෙන් ඒක ආවරණය කරනවා.

ලෝකය පුරාම කරන්නේ සමාජ සාධාරණත්වයේ නාමයෙන් වැඩියෙන් ඇති කෙනාගෙන් අරන් අඩුවෙන් ඇති කෙනාට දෙනවා. ලංකාවේ විතරයි දුප්පත් මිනිහගෙන් අරගෙන පෝසත් මිනිහට දෙන රිවස් සරදියෙල් ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ.

ජනාධිපතිතුමන් ලෝකය පුරා ගිහින් අයෝජකයන්ට කියනවා ලංකාවට එන්න කියලා කර්මාණත අරබන්න. ආයෝජන ප්‍රවර්ධණ මණ්ඩලය ප්‍රකෝටි ගණනක් වියදම් කරනවා ලංකාවට ආයෝජකයන් ගෙන එන ප්‍රවර්ධන වැඩසටහන් වලට. ආයෝජකයෝ ලංකාවට ඒනනේ නෑ නෙවෙයි එන්න බෑ. කර්මාන්ත කරුවන්ට ලංකාවේ විදුලි බිලයි සිංගප්පූරුවේ විදුලි බිලයි දෙකම එකයි. ඉතින් ලංකාවට එන්නේ මොකටද?

අපි ආණ්ඩුවට කියනවා විදුලි පිරිවැය පාරිභෝගිකයාගෙන් ගමු. නමුත් ආණ්ඩුවේ මේ ක්‍රමයෙන් ඇත්තටම සිදු වෙන්නේ කර්මාන්ත වහන්න නම්, දුප්පත් ජනතාවගේ විදුලි බුබුලත් නිවා දමන එකනම් ඒ විදුලි බිල හදපු ක්‍රමයට අපි විරුද්ධයි. ජනතාවට බොරු ඉලක්කම් පෙන්නලා නොතේරෙන න්‍යායන් කතා කරලා ජනතාව නොමගයවලා අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කරලා තියෙන්නේ ජනතාවට මේක තේරෙන්නේ නෑ කියලා හිතාගෙන. නමුත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත මිනිස්සු විදිහට මේ විදුලි බිලේ ඇත්ත කතාව ජනතාවට පැහැදිලි කිරීමේ වගකීම අපිට තියෙනවා. ඒ නිසා අපේ මුදල් මංකොල්ල කන මේ අසාධාරණ විදුලි බිලට එරෙහිව හඩ නගන්න එකතුවෙන්න කියලා ඔබ සැමට මම ආරාධණා කරනවා.

  • Media unit
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපති සිනමා සම්මාන උලෙළ 14 දා . . .

Sun Nov 12 , 2023
ශ්‍රී ලාංකේය සිනමාවේ අද්විතීය රාජ්‍ය ඇගයීම වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ – 2023 ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන්ගේ සහභාගිත්වයෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ මග පෙන්වීම යටතේ 14 දා සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. 1979 වසරේ ආරම්භ කළ ජනාධිපති සිනමා සම්මාන උලෙළේ මේ පැවැත්වෙන්නේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x