ලුමුම්බා මරා දමා වසර 63ක් සැපිරේ . . .

කොන්ගෝවට බෙල්ජියම් අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබූ දිනයේ එනම් 1960 ජූනි 30 වනදා කොංගෝ හි ප්‍රථම අගමැතිවරයා ලෙස දිවුරුම් දෙමින් පැට්‍රික් එමෙරි ලුමුම්බා ජාතිය අමතා සිදුකල එයතිහාසික ප්‍රකාශය!

ආදරණිය කොංගෝ හි දේශප්‍රේමී රටවැසියනි!

අප මව්බිමේ උස් නිදහස වෙනුවෙන් අප සමඟ වෙහෙස නොබලා සටන් කළ මගේ ආදරණිය මිත්‍රවරුනි! ඔබ සැමට, මෙම 1960 ජූනි 30 වැනි දින ඔබේ හදවත් තුළ නොමැකෙන ලෙස සටහන් වන, ඔබේ දරුවන්ට අභිමානයෙන් අරුත් කියා දෙන කීර්තිමත් දිනයක් බවට පත් කර ගන්නා මෙන් මම ඔබෙන් උස් හඬින් ඉල්ලා සිටිමි. එවිට ඔවුන් අපගේ නිදහස සඳහා වූ අරගලයේ කීර්තිමත් ඉතිහාසය ඔවුන්ගේ දූ පුතුන්ට සහ මුණුබුරන්ට ද අනාගතයේදී දන්වනු ඇත.

මක්නිසාද යත්, කොංගෝවේ දිනා ගත් මෙම ස්වාධීනත්වය, අපි සමාන ලෙස ගනුදෙනු කරන මිත්‍ර රටක් වන බෙල්ජියම සමඟ එකඟතාවයකින් එය අද ප්‍රකාශයට කරනු ලැබුවත්, එය ජය ගනු ලැබුවේ දිවි නොතකා සිදු කරන ලද නොනවතින අරගලයකින් පසුව බවට කිසිදු කොංගෝ ජාතිකයෙකුට කිසිදා අමතක කළ නොහැකි බැවිනි. දිනපතා අප විසින් සිදුකල එම ශ්‍රේෂ්ඨ අරගලය උග්‍රවූත් අතිෂයින් දුෂ්කර විඥානවාදී අරගලයක ප්‍රථිපලයක් විණි. එම නිදහස සඳහා වූ අරගලය වෙනුවෙන් අප ලබා දුන් ශක්තිය, ජවය හෝ අපගේ පෞද්ගලිකත්වයන්, අපගේ දුක් වේදනා හෝ අපගේ රුධිරය අපහට ඉතිරි නොකළ අරගලයක් බව නොකිවමනාය. එය කඳුළු, ගින්දර සහ ලෙයින් පිරී ගිය අරගලයකි. එය වෙනුවෙන් අප සිදුකල පරිත්‍යාගයන් පිළිබඳව අප අවංකවම ආඩම්බර වෙමු. මන්ද එය උදාර අරමුණු සහිත සාධාරණ ශ්‍රේෂ්ඨ අරගලයක්! එම අරගලය අප වෙත බලෙන් පැටවූ නින්දා සහගත වහල්භාවයට තිත තැබීමට අත්‍යවශ්‍ය අරගලයක් වූ නිසාවෙන් අපි එහි ජයග්‍රහණයේ සතුට අද දිනයේ සමරන්නෙමු.

වසර 80ක යටත්විජිතවාදී පාලනය තුළ අපට අත්වූ ඉරණම කුමක්ද? ඒ හේතුවෙන් සිදු වූ අපගේ තුවාල තවමත් අපගේ මතකයෙන් ඉවත් කිරීමට නොහැකි තරමට නැවුම් හා වේදනාකාරී වේ. අපිට කුස පිරෙන්න කන්නවත්, නිසි පරිදි ඇඳුම් අඳින්නවත්, අවම වශයෙන් වාසය කිරීමට ගෙවල් දොරවල් හදාගන්නවත්, අපේ දරුවන්ව ආදරය කරන අය විදියට ඔවුන් හදා වඩා ගන්නවත් ඉඩක් නැතිව පඩියක් වෙනුවට උන් ඉල්ලන වෙහෙසකර සේවය නොමිලයේ ලබා දුන් අමිහිරි දුක් වේදනාවන් අපි අත්වින්දෙමු. අපි නීග්‍රෝ ජාතිකයන් නිසා උදේ, දවල්, හවස විඳ දරාගැනීමට සිදු වූ උපහාසයන්, නින්දා අපහාස, පහරවල් අපි දිනපතා අත්වින්දෙමු. අපි කළු ජාතිකයෙකුට “ඔබ” යැයි කීවේ, නිසැකවම මිතුරෙකුට නොව, ගෞරවනීය “ඔබ” සුදු ජාතිකයින්ට පමණක් වෙන් කර ඇති නිසා යන්න අමතක කල හැක්කේ කාහටද?

ප්‍රබලයාගේ අයිතිය ලෙස පමණක් පිළිගත් “මේවා අපේ ඉඩම්” යැයි කියනු ලබන නීත්‍යනුකූල ලියවිලිවල නාමයෙන් සිදුකල දැවැන්ත ඉඩම් මං කොල්ලකෑම් අපි අත් දුටුවෙමු. සුදු ජාතිකයෙකු හෝ කළු ජාතිකයෙකු මත පදනම්ව රටේ නීතිය කිසි විටෙකත් සමාන ආකාරයකින් ක්‍රියාත්මක නොවූ බව අපි අත්දැක ඇත්තෙමු. බලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ අවස්ථා වලදී මුහුණ දුන් කුරිරු සහ අමානුෂික වදහිංසා අප අත්දුටුවෙමු. දේශපාලන මත දැරීම හේතුවෙන් හෝ ආගමික විශ්වාසයන් හේතුවෙන් රටින් පිටුවහල් කරන ලද අයගේ කුරිරු දුක් වේදනා අපි දනිමු. ඔවුන්ගේම මව්බිමෙහි පිටුවහල් කරන ලද, ඔවුන්ගේ ඉරණම මරණයට වඩා දරුණු විය. නගරවල සුදු ජාතිකයින් සඳහා විශිෂ්ඨ නිවාස ගොඩනැගෙන විට සහ කළු ජාතිකයින් සඳහා ගරාවැටුණු පැල්පත් පමණක් බිහි වූ බව පමණක් අපි දැන සිටියෙමු: කළු ජාතිකයෙකුට සිනමාහල්වල හෝ අවන්හල්වල හෝ ඊනියා යුරෝපීය වෙළඳසැල්වලට යාම තහනම් විය. කළු ජාතිකයා යනු සුදු ජාතිකයාගේ සුඛෝපභෝගි කුටියේ ඔහුගේ පාමුල වාඩිවී සිටිය යුතු අයෙකු පමණක් විය.

අවසාන වශයෙන්, පොලිස් වෙඩි පහරින් මිය ගිය අපගේ ආදරණිය සහෝදරයන් විශාල ප්‍රමාණයක් හා අසාධාරණ පාලනයකට යටත් වීමට අකමැතිව සිර ගෙවල් වල ගාල් කරමින් ම්ලේච්ඡ වද හිංසාවන්ට ලක් වූ අපගේ සටන් සගයන් කාට නම් අමතක කල හැකි වනු ඇත් ද?

සහෝදරවරුනි මේ සියළු දුක් වේදනා හේතුවෙන් අපි දැඩි ලෙස දුක් වින්දෙමු. නමුත් මේ සියල්ල යටපත් කර ගනිමින් අපගේ ආදරණීය මව්බිමේ ඉරණම තීරණය කිරීම ඔබගේ ඡන්දයෙන් තෝරා පත් කරන ලද ජනතා නියෝජිතයින්ගේ කැමැත්තෙන් අනුමත වූ අප, යටත් විජිතවාදී පීඩනයන් හේතුවෙන් අපගේ ශරීරයෙන් සහ අපගේ හදවතින් පීඩා විඳි අප, ඔබට මෙසේ පවසන්නෙමු.

“මෙම සියළු අසාධාරණයන්, අයුක්තියන්, අදින් පසු අවසන්” බවය.

කොංගෝ ජනරජය ප්‍රකාශයට පත් කර ඇති අතර, අපගේ ආදරණීය මව්බිමේ ඉරණම තීරණය කිරීම මෙතැන් සිට එම උසස් දේශයේ දරුවන්ගේ දෙඋර මතට වැටී ඇත.

නිදහස දිනා ගැනීම සඳහා සටන් වැදුණු සියළු නිදහස් විමුක්ති සටන්කාමීන් දිගුකල් දිනේවා!

ස්වාධීන කොංගෝලය දිගුකල් දිනේවා!

මෙම එයතිහාසික දේශනය හේතුවෙන් තමන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි නිදහස් කොංගෝවේ හි පළමු අගමැති පැට්‍රික් ලුමුම්බා කිසිදා නොසිතන්නට ඇත. පැට්‍රික් ලුමුම්බා මරා දැමීමට තීරණය කරනු ලබනුයේ 1960 අගෝස්තු 18 වැනිදා රැස්වූ ඇමරිකාවේ ආරක්ෂක මණ්ඩලයේදී එවකට ඇමරිකානු ජනාධිපති අයිසන්හවර් විසින් බව එම අවස්ථාවට සහභාගී වූ හිටපු ඇමරිකානු රාජ්‍ය නිලධාරියෙකු පසුව හෙළිකර තිබිණි. ඒ අනුව 1961 ජනවාරි 17 වැනිදා පැට්‍රික් ලුමුම්බා ඇතුළු ඔහුගේ සගයින් පැහැරගෙන ගොස් දරුණු වදහිංසා වලට ලක් කර බෙල්ජියම් යටත් විජිත හමුදාව විසින් මරා දමන ලදී.

ලුමුම්බා ඇතුළු පිරිසට ලබා දුන් වදහිංසා කෙතරම් කෘර ද යත් එක් හමුදා අළුගේසුවෙකු ඔහුගේ දතක් ගලවාගෙන මතක සටහනක් ලෙස තබා ගැනීමට බෙල්ජියම වෙතට රැගෙන ගොස් තිබිණි. ලුමුම්බා පවුල විසින් බෙල්ජියමේ සිදුකරණ ලද යුධ අපරාධ සම්බන්ධයෙන් වූ දීර්ඝ අධිකරණ ක්‍රියාදාමයකින් පසුව එම දන්තය නැවත ලබා ගැනීමට 2022 ජුනි 20 වැනිදා කොංගෝ රාජ්‍යය සමත් විණි. මේ අතර පසුගිය 17 වැනිදා කොංගෝ රාජ්‍යයේ පළමු අගමැති පැට්‍රික් ලුමුම්බා මරා දමා වසර 63ක් පිරිම සැමරීම සඳහා කොංගෝ රජය එරට ජනතාව සමඟ විශේෂ සමරු වැඩසටහන් සංවිධානය කර තිබු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොක්කන් තුනකගේ තනතුරු අහෝසියි . . .

Sun Jan 21 , 2024
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ප්‍රධානම කමිටු තුනක්ද අහෝසි වීමට නියමිතව තිබේ. රාජ්‍ය මුදල් කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව යන කාරක සභා අහෝසි වීමත් සමඟ හර්ෂ ද සිල්වා, ලසන්ත අලගියවන්න හා රංජිත් බණ්ඩාර යන අය ඒවායේ දරණ සභාපති ධුරද අහෝසි වෙයි. නව පාර්ලිමේන්තුව සැසිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x