ශ්‍රී වික්‍රම ගෝ හෝම් . . .

භේදය සහ අවස්ථාවාදය වනාහි මානව ධර්මයක් වුවද ඒවා යටපත් නොකරගත් වන, ඉහ වහා යන්නේ තමන්ගේම නිදහස බව නිදහස් සමරුවට පෙරවදනක් ලෙස මේ තීරුව දක්වන්නේය. මේ දිනවල නිදහස් උත්සවය සඳහා වන පෙරහුරු පැවැත්වේ. එවන් පෙරහුරුවක් ලෙස මෙතැන් පටන් නිදහස තෙක් මේ තීරුව ද ‘අතීතයේ කතා’ කිහිපයක් දක්වනු රිසියැ.

සිංහලයේ රජතුමා අල්ලාගත් පුවත 1815 පෙබරවාරි 15 දින, ජෝන් ඩොයිලි වෙත අසන්නට ලැබෙන්නේ, තෙල්දෙණියේ ධාන්‍ය ගබඩාවේ සිටියදීය. ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් වෙත හෙතෙම මේ පුවත වහා සැලකර සිටියේය. ආරංචිය ලැබෙන විට ආණ්ඩුකාරවරයා සිටියේ රාත්‍රී භෝජනයකට සහභාගි වෙමින්ය. ඉංග්‍රීසීහු සිය අධිරාජ්‍ය සඳහා පැහැදිලි පරිපාලන ක්‍රමවේදයක් දියත් කළහ. පෘතුගීසින් වැනි ‘යුද්ධයම’ ආක්‍රමණය සඳහා සුදුසු ක්‍රමවේදය යැයි, බ්‍රිතාන්‍යයෝ නොසිතූහ. ඊට වඩා පිළිවෙත් ඔවුහු සපුරන ලද්දේ, පරිපාලනය ඔස්සේය. සිංහලයට අඩිය තැබූ දිනයේ පටන්, ඔවුහු මෙහි පරිපාලනය, නීතිය සහ දේශපාලනය යන තුන එකට ගෙන සිය ආක්‍රමණය සඳහා එම මාවත් භාවිතයට ගත්හ. උඩරට ආක්‍රමණය සඳහා යුද පිළිවෙත අත්හදා බැලූ සියලු දෙනා අනාගත් හෙයින්, ඒ සඳහා දිගින් දිගටම යොමුවීමට, ඉංග්‍රීසින් කල්පනා නොකළේය. විශේෂයෙන්ම රටේ කොටසක් තම ග්‍රහණයේ තබා ගත් වන, එතැන් සිට ඉදිරියට යනවා මිස සේනාංක මෙහෙයවා, බර වැඩක් සිදු කිරීමට ගියහොත්, පරාජයක් අත්වුවහොත්, ඉතිරි පළාත් ද සෝදා යෑම වැළැක්විය නොහේ බව, ඉංග්‍රීසි පරිපාලනය කල්පනා කළහ. ඒ වන විට රටම ගොනුවී සිටියේ රාජ අණ වෙතය. ඉංග්‍රීසින් විසින් ආණ්ඩුකාරයෙක් නම් කරගෙන වෙනම පරිපාලනයක් සිදු කරගෙන යන ලදි.

රජා අඩපණ කළේ නම් ‘එකම රජා’ බවට පත්වන්නේ ආණ්ඩුකාර හෙයින් ඒ සඳහා වන මාර්ගය තනනු පිණිස සුද්දා වැර යෙදවිය. උඩරට අසමගිය වනාහි, මේ ලෝකයේ පළමු වරට, රජෙක් සමඟ අනෙක් ප්‍රධානීහු ගැටුණු අවස්ථාව නොවේ. භේදය සිය උපාය මාර්ගය සඳහා කළමනාකරණය කර ගැනීමට සුද්දා බලා සිටින හෙයින් එම ඝට්ටනය, අවුළුවා ලීමක් බවට පත් විය. රදල පිරිස සහ රජු අතර ගැටුම අවසන් වන්නේ රජු කුදලාගෙන යෑමට සුද්දා පැමිණීමෙනි. මේ කුදලාගෙන යන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ පමණක් නම් එයින් අපට අහිමි වනු ඇත්තේ රජා නම් සංඥා මාත්‍රය ‘ඔන්ලි’ කියා, සාවධානව සිටිය හැක්කේය.

ආණ්ඩුකාර තැන වෙත රටේ තැන ලබා ගැනීම සඳහා වන නෛතික අවුලක් රජකම සමඟ බැඳී තිබුණි. නිදහස සඳහා වන පෙරහුරු කතිකාවතේදී අප මේ පිළිබඳව විධිමත් හැදෑරීමකට යා යුත්තේය. රාජ්‍යත්වයේ සිට ව්‍යවස්ථාදායක පාලනයක් සඳහා යා හැකි ආකාරයක් ඉංග්‍රීසින් දැක තිබුණේ 1215 තරම් ඈත කාලයේය. වංශාධිපතිවරු සහ පළමු ජෝන් රජතුමා අතර උද්ගත වූ බල අරගලයේ දී, පලා යමින් සිටි රජු අල්ලාගෙන, බලහත්කාරයෙන් ඔහු ලවා, ලියවිල්ලකට අත්සන් ගැනීමට වංශාධිපතිහු සමත් වූහ. මෙම බලහත්කාර එකඟතාවයෙන් රජුගේ බලතල සීමා විය. මැග්නාකාර්ටා සම්මුතිය වනාහි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා දමන ලද පළමු පදනමය. රාජ්‍යත්වය දෙදරා යන්නේ ඒ අත්සන් ගැසීම සමඟය.

ආණ්ඩුකාරයා වෙත රටේ නායකයා වීම සඳහා අවුල වී තිබුණේ උඩරට කිරීටය ය. එය හිස මත්තේ තබාගෙන සිටින්නේ කවුරුන් වුවද දෙතැනක දෙවිදිහක පාලනයක් සිදු වන්නේය. එකක් ‘හොර බඩුවක්’ බව රටම දන්නා බැවින් ‘නියම බඩුව’ අහෝසි කර දැමීම සුද්දාගේ වුවමනාව විය. මේ සඳහා රජු සමඟ ක්‍රමය ද කුදලාගෙන පැමිණිය යුතු විය.

රජු අල්ලාගත් වග ඩොයිලි සැල කිරීමත් සමඟ ඩිනර් පාටියේ සිටි ආණ්ඩුකාර බ්‍රවුන්රිග් සතුටු කදුළු සැලුවේය. හැකි ඉක්මණින්, අතිශය ආරක්ෂක මාර්ග ඔස්සේ, ශ්‍රී වික්‍රම රාජසිංහ ඇතුළු රාජකීය පිරිස කොළඹට එවන ලෙස ආණ්ඩුකාරවරයා, ඩොයිලිට දන්වා යවන්නේ, ඉතිරි හරිය සඳහා සූදානම් වීමටය. මේ සඳහා දෝලා දෙකක්ද කර්නල් හුකී සහ කර්නල් තංඩි සමඟින් සොල්දාදුවන් සියයක පිරිසක් ද ආණ්ඩුකාරයා මහනුවර බලා යවන ලද්දේය.

රජු අල්ලාගත් වන වෙනත් අයෙක් සිංහාසනයේ හිඳ ගත්තේ නම් එතැන් සිට ඔහු රජුය. එවන් ආස්ථානයක් කරා උඩරට රදල ප්‍රධානියෙක් නොයන තැනට ඩොයිලි වග බලාගෙන තිබුණි. එකක් රාජ්‍යත්වය සඳහා තිබූ ලේ උරුමය ය. අනික සුද්දා දුන් ලණුවය. ලණුව වන්නේ, ගිවිසුමක් ප්‍රකාරව රදල ප්‍රධානීන් සමඟ එක්ව රට පාලනය කරන බවය. අපි ඒ මොහොතේද පොතට කලින් පිට කවරේ බැලූ හෙයින් සිතුවේ, කුරිරු වඩුග රජා අවසන් බවය. ඊළඟට මොකා ආවද කම් නැති බවය. ශ්‍රී වික්‍රම ගෝ හෝම් කීමේ ප්‍රතිඵලය වූයේ, සුද්දා කම් දිස් වේ කියා උඩරට පමණක් නොව රටම අල්ලා ගැනීමට පාර පෙන්වීමය.

1815 මාර්තු 06 වෙනිදා සිට 1816 ජනවාරි 24 දක්වා වර්තමාන කොළඹ කොටුවේ, ගෝල්ෆේස් ආසන්න ස්ථානයක රජු රඳවා තැබූ සුද්දෝ, 1816 ජනවාරි 24 වන දින රාජකීය පිරිස ‘කොන්වෝලීස්’ නෞකාවෙන් මදුරාසිය බලා පිටත් කර යැව්වෝය. මෙතැනදී රජු පමණක් නොව පිරිසම පිටත් කර හරින ලද්දේ රාජ ලේ සහිත වූවෝ මේ භුමියේ සිටිනවා කියන්නේ කිරීටය සහිත ආණ්ඩුකරණය සඳහා ඉඩක් ලැබෙන බවය. මේ නිසා උඩරට ගිවිසුමේ තුන්වෙනි වගන්තිය යොදවන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සම්බන්ධ නෑ සනුහරේ, රටින් පිටමං කිරීම සඳහාය. යළි රජා කරළියට නොඑනු පිණිස, රදල චිෆ්ලා ද මේ වගන්තියට කැමති වූහ. රජුගේ සනුහරේ නාම ලේඛනය 1815 දෙසැම්බර් තිස් වෙනිදා, ප්‍රසිද්ධ කළේය. ඒ අනුව රජු සහ ඔහුගේ මලබාර් නෑයෝ හැටඅට දෙනෙක් රටින් පිටුවහල් කළ සුද්දා, මෙහි මුල් අල්ලා ගත්තේ ආණ්ඩුකරණයේ නාමයෙන්ය.

රජා වෙනුවට ආණ්ඩුවක් ආවේය. ආණ්ඩුව කරන ලද්දේ ‘සුද්දා බගර්’ය. එතැන් සිට සුද්දා එළවීම වනාහි අලුත් අවුලක් නිර්මාණය කළේය.

එහි වෙල්ලෝර් බලකොටුවේ සිරකරුවෙකු මෙන් සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 1832 ජනවාරි 30 දින මියගියේ, වසර ගණනාවක් රෝගාතුරව දුක් විඳීමෙන් පසුවය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මිය ගොස් වසර 192ක් සපුරන ලද්දේ ජනවාරි 30 වෙනිදාය. මදුරාසියේ වෙල්ලෝර් සිර මැදිරියේදී මළ ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින නෑදෑයෝ පිරිසක්, පෙරේදා පින් අනුමෝදනාවක් පවත්වන ලද්දේ මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදීය.

මෙතැන් පටන් නිදහස් සැමරුම තෙක් රජුගේ පටන් ආණ්ඩුකාරයා, එතැනින් නිදහස දක්වා අතීතාවලෝකනයක් සඳහා අපි වෙන් කරමු.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මාර්ක් සකර්බර්ග් සමාව අයදි . . .

Thu Feb 1 , 2024
අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැදවා තිබූ කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ. ඔහු එලෙස කැඳවා තිබුනේ, සමාජ මාධ්‍ය මගින් දරුවන්ට සිදුවන හානිය පිළිබදව කරුණු දැක්වීම සදහාය. එම කමිටුව හමුවට මාර්ක් සකර්බර්ග්ට අමතරව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහක ප්‍රධාන විධායක නිලධාරීන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x