නිළියක් එක්ක නිලමේ ගහපු ගේම . . .

“මම ඉගැන්වීමට උපන්නෙකි“ යැයි කියා සක්විති රණසිංහ මුළු රටටම පාඩමක් කියාදුන්නේ වැඩි පොලියට රැවටී ව්‍යාජ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කර අමාරුවේ නොවැටෙන ලෙසය. ඒ සක්විති රණසිංහ ද මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ජනතාව හොඳටම අන්දවා ලොකු ගාණක් පොලු තබා රටිනුත් පැන ගිය බැවිනි. මුදල් වංචාවක් සිදුවූ විට සක්විතිව අදටත් මතකයට එන්නේ ඒ තරමට එම සිදුවීම එකල සමාජයේ ආන්දෝලනයට ලක්වූ බැවිනි.

සක්විතිගෙන් පසු එළියට ආවේ දඬුවම් මුදලාලිය. හම්බන්තොට ආශ්‍රිතව වැඩි පොලියක් දෙමින් මුදල් තැන්පතු භාරගත් දඬුවම් මුදලාලිලා ගොන්නක්ම සිටියේය. ඒ අතර සිටි ප්‍රධාන දඬුවම් මුදලාලි අවසානයේදී අවිස්සාවේල්ල පැත්තේ මහා පාරේ මැරී සිටියේ වෙඩි ප්‍රහාරයකට ලක්වය. අදටත් එම

ඝාතකයා කවුරුන්දැයි ඇත්තේ අභිරහසකි.

ගෝල්ඩන් කී මූල්‍ය වංචාව මේ හැම වංචාවකටම එහා ගිය සුපිරි ධනවතුන් පිරිසක් විසින් කළ වංචාවකි. එම වංචාවේ තරම සඳහන් වන්නේ රුපියල් කෝටි 2600ක් ලෙසිනි. එයත් වැඩි පොලියක් පෙන්වා ජනතාව රැවටීමකි. ඊ.ටී.අයි. වංචාව ද ඊට සමානව සිදු වූ වංචාවන්ගෙන් එකකි. මේ හැරුණු කොට අප්‍රසිද්ධියේ ඇති මෙවැනි මූල්‍ය ආයතන රට පුරා බොහෝය.

රුපියල් කෝටි 200කට වැඩි මුදලක් මේ වන විටත් වංචා කර ඇති සඳලංකාව පැත්තේ ජනතාව ගොනාට අන්දවමින් සමිතියක් ලෙස පවත්වා ගෙන ගිය මූල්‍ය ආයතනය ද එසේ අප්‍රසිද්ධියේ පවත්වා ගෙන ගිය එකකි.

කොළඹින් බැහැර දුෂ්කර ගම්මානයක් වන ගලෙන්බිඳුණුවැව සහ ඒ අවට ගොවි ගම්මානවල අහිංසක වැසියන් හූරා කෑමේ අපේක්ෂාවෙන් ගලෙන්බිඳුණුවැව නගරයේ ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය “ට්‍රෙරෙඩ්වින්“ නැමැති මූල්‍ය ආයතනය ද එසේ අප්‍රසිද්ධියේ පවත්වා ගෙන ගිය තවත් එක් හොර ගුහාවකි. තැන්පතුවලට වැඩි පොලියක් ලබා දෙන බව පවසමින් වැව් බැදි රජරට හුරුළු ව්‍යාපාරයේ අහිංසක ගොවීන් පමණක් නොව පොලීසිස් නිලධාරීන්, කෘෂි නිලධාරීන් , ප්‍රාදේශීය ලේකම්වරු වැනි රාජ්‍ය සේවයේ සිටින යමක් කමක් දන්නා කියන නිලධාරීන් පවා අන්දවා ඔවුන් සතු මුළු සේසතම එහි තැන්පත් කර ගත්තේය. අවසානයේදී මූල්‍ය ආයතනය ද වසා දමා එහි හිමිකරු අතුරුදන් වන්නේ රුපියල් කෝටි 500ක පමණ වූ මුදලක් වාෂ්ප කරමිනි.

අහිංසක ගොවි ජනතාව මහා පාරට ඇද දමමින් රුපියල් කෝටි 500කට වැඩේ දී පැනගත් “ට්‍රෙරෙඩ්වින්“නැමැති මෙම මූල්‍ය ආයතනයේ හිමිකරු වන්නේ වීරසේකර මුදියන්සේලාගේ තරිඳු ඉරෝස් වීරසේකර නැමැති අයෙකි. අනාවරණය වෙමින් ඇති ආකාරයට අනුව මේ පුද්ගලයා ගලෙන්බිඳුණුවැව ජීවත් වූ වැදගත් පවුලක උපන්නෙකි. පියා විශ්‍රාමික බැංකු කළමනාකරුවෙකි. විශ්‍රාම ගන්නා විට ඔහු සේවයේ නිරතව සිටියේ තඹුත්තේගම පිහිටි රාජ්‍ය බැංකුවකය. මව විශ්‍රාමික ගුරුවරියකි. මූලික අධ්‍යාපනය ගලෙන්බිඳුණුවැව පිහිටි පාසලක ලබා උසස් අධ්‍යාපනය ලැබීමට ඇතුළුවී ඇත්තේ අනුරාධපුරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලකටය. උසස් පෙළ විභාගය ඉහළින් සමත් වන ඔහු රජරට විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උපාධිය හිමි කරගන්නේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙනි. විශ්වවිද්‍යාලයට සමුදෙනවාත් සමඟ මොහුට රැකියාවක් ලැබෙන්නේ උපාධිධාරී ගුරුවරයෙක් ලෙසිනි. මුල්ම පත්වීම ලැබෙන්නේ අනුරාධපුරයේ ප්‍රසිද්ධ පාසලකටය. එම පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් ලෙස සේවය කළ ඔහුට සිය බිරිය මුණ ගැසෙන්නේ අනුරාධපුරයේම වෙනත් පාසලකිනි. ඇයත් ගුරුවරියකි. සෞඛ්‍ය විෂයට අදාළ ගුරුවරියක් වූ ඇය සමඟ විවාහ දිවියට එළැඹෙන්නේ 2016 වසරේදීය.

ගුරු වෘත්තියට සමුදෙමින් මෙම පුද්ගලයා මුලින්ම මූල්‍ය ආයතනයක් ආරම්භ කර ඇතැයි පැවසෙන්නේ කහටගස්දිගිලිය පැත්තේය. සියයට 3ක මාසික පොලියක් තැන්පතු සඳහා ලබාදෙන බව සඳහන් කරමින් තැන්පතු භාරගත් ඔහු නිසි ලෙස පොලී මුදල් ගෙවමින් එම තැන්පතු මුදල් ආයෝජනය කර තිබුණේ එම ප්‍රාදේශයේම ව්‍යාපාරික කටයුතු සඳහාය. අනතුරුව ඔහු සිය ව්‍යාපාරය ට්‍රෙරෙඩ්වින්“ නමින් ගලෙන්බිඳුණුවැවට රැගෙන එන්නේ නගරයේ පිහිටි ගොඩනැඟිල්ලක් කුලියට ගෙනය. 2020 වසරේදී එම ආයකනය එහි විවෘත කෙරෙන්නේ ද දේශපාලන ආශීර්වාදය හා පොලිසියේ උදවියගේ ද සහභාගිත්වයක් ඇතිවය. ලොකු ප්‍රසිද්ධියක් දෙමින් ප්‍රභූවරු කැඳවා සිදු කෙරුණු මෙම විවෘත කිරීම නිසාම ගොවි ජනතාව තුළ මෙම ආයතනය ගැන ඇති වන්නේ ලොකු විශ්වාසයකි. ඒ නිසාම ඇතැම් විශ්‍රාමික රාජ්‍ය සේවකයන් සිය විශ්‍රාමික පාරිතෝෂිතය පවා මෙහි තැන්පත් කරන්නට වූයේ සියයට 05ක මාසික කුලියක් ලබාදෙන බව පවසන්නට වූ බැවිනි. එම මාසක පොලිය පවා මෙම ආයතනය මගින් මාසයේ නියමිත දිනයේදී තැන්පත්කරුවන්ට ගෙවා දැමුවේ කිසිදු සැකයක් ඇති නොවන්නටය.

තැන්පත්කරුවන්ට කලට වේලාවට පොලී මුදල් ලැබෙන්නට වූ බැවින් මෙම ආයතනයට නොමිලයේම ලොකු ප්‍රචාරයක් ලැබෙන්නට වූයේ එම තැන්පත් කරුවන්ගෙනි. ලොකු පොලියක් හැම මාසයකම ලැබෙන බව කටින් කට ප්‍රචාරය වන්නට වූ බැවින් රජරට හුරුළු ව්‍යාපාරයේ ගොවි ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයන් මෙහි මුදල් තැන්පත් කරන්නට එන්නේ වැල නොකැඩීය. ගලෙන්බිඳුණුවැව සහ ඒ අවට ගම්මානවල පදිංචි අතමිට සරු ඇතැම් උදවිය මෙහි මුදල් තැන්පත් කර තිබුණේ රුපියල් ලක්ෂ පනහ සීයේ ප්‍රමාණයන්වලිනි. තැන්පතු මුදල වෙනුවෙන් ලැබෙන ලොකු පොලිය ද ඒ අය තැන්පතු ලෙස එහි තැන්පත් කරනු ලැබුවේ පොලියත් පොලී කරන්නටය.

ලොකු තැන්පතු මෙහි රැගෙන එන අතරමැදියන්ට පවා එම තැන්පතු මුදලින් සියයට තුන හතරේ කොමිස් පවා මේ පුද්ගලයා ගෙවන්නට ගත්තේය. ඒ තැන්පතු මෙහි රැගෙන ඒමට දිරිගැන්වීමක් ලෙසිනි. ඒ නිසාම ලැබෙන තැන්පතු ප්‍රමාණය දිනෙන් දින ඉහළට ගියේය. මුදල් යහමින් අතමිට ගැවසෙන විට සිය විවාහක බිරිය හා දරුවන් පවා ඔහුට එපා වූයේ නිරූපිකාවන් හා නිළියන්ට ඔහු වහ වැටී සිටි බැවිනි.

දකුණේ විහාරස්ථානයේ නිලමේ තනතුර 2021 වසරේ ලැබීමත් සමඟ ඔහු තවත් උඩ ගියේය. එම නිලමේ තනතුර පවා ඔහුට ලැබෙන්නේ මුදල් බලය නිසාය. ඒ එම විහාරස්ථානයේ නායකහිමියන්ට ඔහු ලබාදුන් රුපියල් ලක්ෂ 160ක මුදලකට සරිලන්නටය. එසේ නොවන්නට ඔහු රට පිළිගන්නා බස්නායක නිලමේවරයෙක් නම් නොවීය. එහෙත් ඔහුට ඒ තනතුර හිමි වූ විහාරස්ථානය ප්‍රභූවරුන් නිතර යන එන රටම මාතර පිහිටි පිළිගන්නා විහාරස්ථානයකි.

එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් මෙම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 160ක් වැනි විශාල මුදලක් ලබාගන්නේ නාරාහේන්පිට පැත්තේ පිහිටි උන්වහන්සේට අයත් රුපියල් කෝටි 55ක් පමණ වටිනා ඉඩමක් විකුණා නැවත එම මුදල ලබා දෙන්නම් යැයි කියාය. එම මුදල ලබා ගන්තේ යැයි කියැවෙන්නේ එම ඉඩමේ ඔප්පු තිරප්පු නිරවුල් කර ගැනීමට වැය කිරීමට යැයි කියාය. බස්නායක නිලමේකම ලැබෙන්නේ ඉඩම විකුණන්නට පෙරය. නිලමේ කම ලැබුණු පසු ඒ මුදල නැවත ලබාගැනීම කරම්වත් උවමනාවක් ඔහුට තිබී නැත. ඉඩම විකුණා විහාරාධිපති හිමියන් විසින් ඔහුට ලබාදී තිබුණේ ද ලබාගත් මුදලින් රුපියල් ලක්ෂ 80ක් පමණි.

මෙසේ ඔහු තමාගේ බූදලය මෙන් විහාරාධිපතිහිමියන්ට ලබාදී තිබුණේ අහිංසක ගොවි ජනතාවගෙන් තැන්පතු ලෙස ලබාගත් මුදල්ය. නිරූපිකාවන් සහ නිළියන් ඇසුරුකරන්නට පවා ඔහු ඒ මුදල් වැය කළේ හිතුමතේටය. මිල අධික වාහන පරිහරණය කරමින් ප්‍රකෝටිපති ව්‍යාපාරික වෙස්ගෙන සිටි මෙම පුද්ගලයාට නිලමේ තනතුර පත්ව තිබුණේ ආභරණයක් ලෙසිනි. අවසානයේදී ඔහු සිය බිරිය හා දරුවන් ද අතහැර දමා කුමාර සැප විඳින්නට ගන්නේ අහිංසක ජනතාව රවටා රැස්කරගත් මුදල් හිතූ හැටියට වියදම් කරමිනි.

තමන් හොරකුට රැවටී ඇති බව මෙහි මුදල් තැන්පත් කළ අයට දැනෙන්නට ගන්නේ 2022 වසරේ සිටය. ඒ නිසි ලෙස පොලී මුදල් නොගෙවා තැන්පත්කරුවන්ව මඟ හරින්නට ගැනීමත් සමඟිනි. ගලෙන්බිඳුණුවැව පිහිටි කාර්යාලයේ සේවකයන්ට වැටුප් පවා නිසි ලෙස නොලැබෙන්නට විය. ඒ නිසාම සේවකයන්ද 2023 වසර වන විට එම ස්ථානයෙන් ඉවත්ව යන්නේ කාර්යාලයට ඉබියතුරු දමාය. නිලමේගේ මෙම මූල්‍ය ආයතනය කඩා වැටීම සනිටුහන් වන්නේ ඒත් එක්කමය. සිය ගේ දොර සහ රන් ආභරණ පවා උකසට තබා මෙහි මුදල් තැන්පත් කර සිටි අය බොහෝ දෙනෙක් සිටියහ. මෙහිදී වඩාත් අසරණ තත්ත්වයට පත්වන්නේ ඔවුන්ය.

ඒ අය පිහිටක් පතා පොලිසියට ගිය විට පොලිසියේ ලොකු මහත්වරුන්ගෙන් ඒ අයට අසන්නට ලැබෙන්නේ කුණු බැණුම්ය. ඒ තමන්ගෙන් අසා එහි මුදල් තැන්පත් කලේදැයි විමසමිනි. සිය පැමිණිලි පොලිස් පොත්වල ලියා ගන්නවා වෙනුවට පුද්ගලික නඩු දමා එම මුදල් ලබා ගන්නා ලෙසට ඒ අහිංසකයන්ට පවසමින් තවත් අසරණ කළේය. මේ තත්ත්වය මත මෙහි මුදල් තැන්පත් කළ පිරිස් සංවිධානගත වන්නට වූයේ නීතියේ ඇස් ඇරවන්නට එකා මෙන් හඬක් නඟන්නටය. ගලෙන්බිඳුණුවැව නගරයට 2023 වසරේ ජූලි 11 වෙනිදා රැස්වන මෙහි තැන්පත්කරුවන් පිරිසක් තමන්ට සාධාරණය පතා උද්ඝෝෂණයක නිරතව නගරය පුරා පෙළපාලියකින් ගමන් කරන්නේ ද නීතියේ ඇස් අරවන්නට ඒ හැරුණු කොට ඔවුන්ට කරන්නට වෙන යමක් නොවූ තැනය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත විමර්ශන අංශයට මේ ගැන විමර්ශන පැවරෙන්නේ ඒත් එක්කමය. මෙම හොර මූල්‍ය ආයතනය ගැන දීර්ඝ විමර්ශනයක නිරත වූ නීති විරෝධිවත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පසුගිය සතියේදී මෙම මහා මූල්‍ය වංචාවේ ප්‍රධානියා වන තරිදු ඉරෝෂන් වීරසේකර අත්අඩංගුවට ගනු ලබන්නේ පේරාදෙණියේ කුලී නිවෙසක රැඳී සිටියදීය. එම නිවෙසේ ඔහු රැඳී සිටියේ 2022 වසරේ සිටය. ඒ රුපියල් 20,000ක මාසික කුලියකටය. මේ නිවෙස ඔහුට සොයාදී තිබුණේ ඇගේ පෙම්වතිය වූ එගොඩ ගෙදර චමිලා ප්‍රියදර්ශනී රාජරත්නම් නැමැති ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක් විසිනි. ඇය ඔහුගේ අනියම් බිරිය ය. කලා ක්ෂේත්‍රයේ චමිලා රාජරත්න ලෙස පෙනී සිටි ඇය ප්‍රසිද්ධ නිළියක් නොවූවත් ටෙලි නාට්‍ය රැසකම කුඩා චරිතවලට දායකත්වය ලබාදී තිබුණාය.

ඇයට මෙම පුද්ගලයාව මුණ ගැසී ඇත්තේ 2021 වසරේදීය. ඒ මාලබේ මිතුරකුගේ නිවෙසක පැවති සාදයකදීය. එහිදී දැන හඳුනා ගන්නා ඔවුන් දෙදෙනා 2022 වසරේ සිට ජීවත්ව ඇත්තේ එකටය. පේරාදෙණියෙන් කුලියට ඔහු නිවෙසක් ගෙන තිබුණේ ද ඇය සමඟ කාලය ගත කිරීමට පහසුවක් ලෙසිනි. ඒ ඇය පිළිමතලාව දන්තුරේ පදංචිකාරියක් වූ බැවිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මෙම සැකකරුව කොටුකර ගන්නේ ද ඇයව මුලින්ම අත්අඩංගුවට ගෙනය. ඒ දන්තුරේ පිහිටි නිවෙස වටලාය. පේරාදෙණියට එන්නේ ඇය සමඟිනි. නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඇයවත් අත්අඩංගුවට ගන්නේ මෙම වංචාවේ ඇයත් කොටස්කාරියක් බව විමර්ශනවලින් හෙළිවීම නිසාය.

මෙම පුද්ගලයා දැන හඳුනා ගැනීමට පෙර ඇය ඇසුරු කර තිබුණේ ධනවත් ව්‍යාපාරිකයෙකි. මොහු සමඟ ඇය සම්බන්ධ වන්නේ එම ව්‍යාපාරිකයාට වඩා මොහු ධනවතෙක් යැයි සිතාය. ඒ ඔහු ඇය වෙනුවෙන් අතපය දිගහැර වියදම් කරන්නට වූ නිසාම පමණක් නොව, ඇගේ නමින් පුද්ගලික බැංකුවක රුපියල් ලක්ෂ 50ක ස්ථාවර තැන්පතුවක් පවා කරන්නට වූ බැවිනි.

මෙම පුද්ගලයා අහිංසක ගොවි ජනතාවගේ මුදල් වැය කර තිබුණේ නිළියන් සහ නිරූපිකාවන්ට සැප දෙන්නට පමණක් නොවේ. ඉඩකඩම් සහ දේපොල ද මිලදී ගෙන තිබුණේය. මාතලේ පැත්තේ වැවිලි ඉඩමක් ඔහු මිලදී ගෙන තිබුණේ රුපියල් කෝටි දෙකහාමාරක මුදලක් වැය කරමිනි. එම ඉඩමේ ඔහු කබානා ඉදිකර හෝටලයක් ද පවත්වා ගෙන ගියේය. අනුරාධපුරයේ දෙකේ කණුව ප්‍රදේශයෙන් ඔහු සිය විවාහක බිරියගේ නමින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා ඉඩමක් ද මිලදී ගෙන තිබුණේය. රුපියල් ලක්ෂ 90ක් වැයකර ඔහු ගලෙන්බිදුණුවැව නගරයෙන් ගොඩනැඟිල්ලක් ද මිලදී ගෙන තිබුණේය. ඒ හැරුණු කොට ඒ පැත්තේම ඉඩමක ලක්ෂ 50ක මුදලක් වැය කරමින් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අඩිතාලම දමා තිබුණේ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමේ අපේක්ෂාව ඇතිවය.

අහිංසක වැසියන්ගේ මුදල්වලින් ඔහු මෙවැනි වත්කම් බොහොමයක් රට වටෙන්ම මිලදී ගෙන තිබුණේය. ඒ අතරින් බොහොමයක් දේපොළ මේ වන වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය හඳුනා ගෙන හමාරය.

ඇතැම් ඉඩකඩම් හා රථවාහන මුදල් තැන්පත් කර ඇති හයි හත්තිය ඇති අය තැන්පතු මුදල්වලට හිලව් කරගෙන සිටින බව ද විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේය. එම දේපොල සම්බන්ධයෙන් ද මේ වන විට ඇත්තේ තක්සේරුවක් කරමිනි. නීති විරෝධි වත්කම් විමර්ශන නිලධාරීන් පවසන්නේ දකුණේ විහාරස්ථානයේ නායක හිමියන් සතුව මේ වන විට ඇති රුපියල් ලක්ෂ 80 ද අයත් වන්නේ අහිංසක තැන්පත්කරුවන්ට බවය. විමර්ශන නිලධාරීන් සූදානමින් සිටින්නේ එම මුදල් ද උන්වහන්සේගෙන් ලබා ගැනීමටය. ඒ අනුව ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උන්වහන්සේ සොයා මාතර බලා යනු ඇත. ඒ හැම සතයක්ම හා හැම දේපොළක්ම සොයා ඒ දේවල් අහිංසක තැන්පත්කරුවන්ට සාධාරණයක් ලැබෙන ලෙස අධිකරණය හරහා බෙදා දෙන්නටය. ඒ සඳහා මුදල් තැන්පත් කළ අය නොබියව ඒ ගැන පැමිණිලි කළ යුතුව ඇත. එසේ නොවුණහොත් මේ සොයා ගන්නා දේපොළ සහ මුදල් බෙදී යන්නේ මෙම පුද්ගලයාගේ වංචාවට හසු වූ දහස් ගණනක් අතරින් මෙතෙක් පැමිණිලි කර ඇති සියයක දෙසීයක පිරිසක් අතරේ පමණි.

  • ගයාන් කුමාර වීරසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝටි තිස් දහසක රත‍්‍රන් හා දේපල උකස් තබති . . .

Sun Feb 4 , 2024
පසුගිය වසර තුනක කාලයේ දී රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනාකමින් යුත් සර්වණාභරණ හා දේපළ විකුණා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය බැංකුව වාර්තා මගින් පෙනී යයි. ආර්ථික අපහසුකම් හේතුවෙන් ජනතාව මෙසේ තම දේපළ උකස් කිරීමට හෝ විකුණා දැමීමට පෙළඹී ඇත. ඇතැම් නිවාසවල ස්වර්ණාභරණ සියල්ලම විකුණා දමා අවසන්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x