චක‍්‍රලේඛයකින් කතරගම පොලිසිය වැල්ලවායට . . .

පරිපාලන දිස්ත්‍රික් මායිම් මත පදනම්ව නියෝජ්‍ය පොලිස්පති බල ප්‍රදේශ සීමා නිර්ණය කිරීමේ පොලිස්පති චක්‍රලේඛනයක් හේතුවෙන් කතරගම පොලිසිය තංගල්ල කොට්ඨාශයෙන් ඉවත් කිරීමට ගෙන ඇති පියවරට කතරගම ප්‍රදේශවාසීන්ගෙන් බලවත් විරෝධයක් එල්ල වෙමින් තිබේ.

කතරගම පොලිසිය මොනරාගල පොලිස් කොට්ඨාශයට සම්බන්ධ කිරීම හේතුවෙන් නිර්මාණය වන බොහොමයක් ගැටලු නිසා දුප්පත් අසරණ ජනතාව තව තවත් අසරණ වන බව ද කතරගම ගැමි ජනතාව ප්‍රකාශ කරති.

කතරගම, බුත්තල පාරේ සෑම විටම අලි ගැවසීම හේතුවෙන් යන එන වාහනවලට යතුරුපැදි වලට පහර දීම් පසුගිය කාලයේ විශාල වශයෙන් වාර්තා විය. මේ හේතුවෙන් මිනිස් ජිවිත කිහිපයක් ද රථ වාහන සිය ගණනකට අලාභ හානි සිදුවිය.

කතරගම ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයකු වන වැඩිහිටිකන්ද පාරේ පදිංචි ජී අමරවීර මෙසේ කීය.

කතරගම පොලිසිය මොනරාගල පොලිස් කොට්ඨාශයට සම්බන්ධ කිරීමෙන් කතරගම ජනතාවගේ අධිකරණ කටයුතු සඳහා මොනරාගලට හෝ වැල්ලවායට යන්න සිදු වෙනවා. මොනරාගල හා වැල්ලවායට විශාල දුරක් තිබෙනවා.

දැනට තංගල්ල පොලිස් කොට්ඨාශයට කතරගම පොලිසිය සම්බන්ධ වීම නිසා අධිකරණ කටයුතුවලට යා යුත්තේ කිලෝමීටර් 17 යි. ඒ තිස්සමහාරාම අධිකරණයට. මොනරාගලට මේ පොලිසිය සම්බන්ධ කලොත් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට කිලෝමීටර් 67 ක දුරක් තිබෙනවා. මොනරාගල අධිකරණයට කිලෝමීටර් 64 ක දුරක් තිබෙනවා.

කතරගම බුත්තල මාර්ගයේ දිවා රෑ දෙකේම අලි ඉන්නවා. වෙනත් සතුන් නිතර  ගැවසෙනවා. ඒකෙන් මිනිස් ජිවිත වලට හානි සිදුවන එක මේ වන විටත් නවත්තන්න කිසි පියවරක් අරන් නැහැ. එවැනි තත්ත්වයක් මත අධිකරණ පද්ධතිය සඳහා මොනරාගලට සම්බන්ධ කලොත් කතරගම පොලිසිය විශාල මිනිස් ජිවිත ප්‍රමාණයක් අහිමි කරන්නට කටයුතු කලා වෙනවා.

කතරගම පදිංචි කේ සදරුවන් ශ්‍රීමාල් (27) ,

මම පදිංචි කතරගම රෝහල පිටුපසයි. අපි එදා වේල හම්බකරගෙන ජිවත් වෙන මිනිස්සු. දැනට පුංචි වරදක් වුනත් පොලිසියෙන් දඩ කොලයක් දෙනවා. එහෙම නැත්නම් හදිසි මරණයක් වුනත් කතරගම ඉදල තිස්සමහාරාමයට ගියහම මේ ප්‍රශ්නය විසදගන්න පුලුවන්.

පොලිසිය මොනරාගලට සම්බන්ධ කලොත් අපි වැල්ලවායට යන්න ඕන. කිලෝමීටර් 70 ක් විතර දුර යන්න බස් නැහැ. වෙලාවකට යන පාරෙ මෝටර් බයික් එකකින් වත් ත්‍රිවිල් එකකින් වත් යන්න විදියක් නැහැ. දවල්ට අලි 6 ක් හෝ 7ක් බුත්තල කතරගම පාරේ ගල් ගෙය සිට ගෝනගං ආර දක්වා ඉන්නවා.  යන එන වාහන වලින් කෑම දිල පුරුදු වෙලා මේ නිසා අපේ ජිවිත ලොකු අවධානමක වැටෙන බව ජනාධිපතිතුමාට පොලිස්පති තුමාට කතරගම ජනතාව වෙනුවෙන් අපි පෙන්වල දෙන්න කැමතියි.

ඩි පි එම් අසංග (40) ,

රුහුණු කතරගම මහා දේවාලය කියල කියන්නේ දේවාලය දකුණට සම්බන්ධ නිසා. එදා ඉදල පොලිසි තිබුනේ තංගල්ල කොට්ඨාශයට. අපේ කතරගම පොලිස් බල ප්‍රදේශය තුල පවුල් 7000 ක් පමණ ඉන්නවා. ඔවුන් පුරුදු වෙලා ඉන්නේ තිස්සමහාරාම උසාවියට යන්න. ඒ වගේම හදිසි මරණයක් හෝ වෙනත් තත්ත්වයක් ඇති වුනොත් යන්නෙ තංගල්ල පොලිස් කොට්ඨාශයේ කාර්යාලවලට. මොනරාගලට ගියොත් පාන්දර හතරට විතර පිටත් වෙන්න වෙනවා. කතරගම ඉදල කොහොමද අපි යන්නේ. මේ තකතීරු තින්දු ගන්න කලින් බලධාරින් මිනිස් ජිවිත ගැන හිතන්න ඕන යැයි ප්‍රකාශ කළේය.

කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කිරිවෙහෙර රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොඹවක දම්මින්ද, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිටපු විදුහල්පති කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති කපුගම සරණ තිස්ස, ඌව වෙල්ලස්ස දෙදිසාවේ අධිකරණ සංඝනායක අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි වැඩිහිටි කන්ද විහාරාධිපති හීල්ලේ ඥාණානන්ද යන නාහිමිවරුන්ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා වැඩ බලන පොලිස්පතිවරයා දැනුවත් කර තිබෙන බවද කතරගම ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේය.

  • ජයකාන්ත ලියනගේ

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙළිය රකින්න දිනේෂ් දීපු සටනක් . . .

Mon Feb 19 , 2024
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිව සිටියදී සිදු කරන ලද මූල්‍ය අපරාධ සහ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන ගණයෙහිලා චෝදනා එල්ල කළ හැකි ක්‍රියාකාරකම්වලට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල රැක ගැනීම වෙනුවෙන් ප්‍රබල ලෙස කරුණු දක්වා තිබිණි. විපක්ෂය විසින් පදනම් විරහිත සහ ඔප්පු කළ නොහැකි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x