පොලිස්පතිට එරෙහිව හිරුණිකාගෙන් පෙත්සමක් . . .

මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයෙකු කෲර වධ හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව කෲර වධ හිංසා වැළැක්වීමේ පනත යටතේ අපරාධ නඩු පැවරීමට පියවර ගන්නා නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඒ මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.

නීතිඥ සම්පත් විජේවර්ධන මාර්ගයෙන් ගොනුකර තිබෙන අදාල පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාරිය කියා සිටින්නේ පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන්ගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවයි.

එවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමේ සඳහන් වේ.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින්ද දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය ගාලු මුවදොර අරගල භූමියේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබූ බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

ඊට අමතරව 2010 වසරේ මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු කෲර වද හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරුවකු කර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු වෙත නියෝග කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය ඒ සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසමට නියෝගයක් නිකුත් කර තිබූ බවත් පවසයි. මෙවැනි පුද්ගලයෙකු පොලිස්පති ධුරය සඳහා පත්කරීම තුළින් නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්විය හැකි බවද ඇය සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ පත් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ. එසේම මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු කෲර වධ හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී ලබාදුන් නඩු තීන්දුවට අනුව දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව කෲර වධ හිංසා වැළැක්වීමේ පනත යටතේ අපරාධ නඩු ගොනුකරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමින් අයැද තිබේ.

ඊට අමතරව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් අයැද තිබේ.

  • කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

COPE සභාපතිට විරෝධය . . .

Tue Mar 19 , 2024
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වර්ජනය කිරීමට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් රැසක් තීරණය කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එම කමිටුවේ සභාපති ලෙස පත්කිරීමට විරෝධය පළ කිරීමට ලෙස මෙම පියවර ගැනීමට නියමිතය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිස් දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත වන අතර එහි පළමු රැස්වීම එළඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. lanka […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x