ලකුණු බිංදුවකට කඩුලු 8ක් ගත්තු කොළඹ පැංචා . . .

ක්‍රිකට් තරගයක කඩුලු දවාගැනීම ලෙහෙසි නැත. පිතිකරුවාට කඩුල්ලේ රැඳී සිටීමට විකල්ප ගණනාවක් තිබුණ ද, පන්දු යවන්නාට ඇත්තේ කඩුල්ල දවා ගැනීමේ ඉලක්කය පමණි. එහි සාර්ථක අසාර්ථකත්වය රඳා පවතින්නේ පන්දු යවන්නකු සතු හැකියාව සහ අත්දැකීම් මතය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කෙසේ වෙතත් පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ කඩුලු 3ක් දවා ගැනීම කැපී පෙනෙන දස්කමකි. ඒ අතින් බැලූ විට බම්බලපිටිය හින්දු විදුහලේ රිෂී යුධාන් පෙන්වා ඇත්තේ අසාමාන්‍ය දස්කමකි. ඔහු පසුගියදා බත්තරමුල්ල, ජයවර්ධනපුර එම්.ඩි.එච්. ජයවර්ධන විදුහල් පිලට එරෙහිව පැවැති තරගයකදී කඩුලු 8ක්ම දවා ගත්තේ ප්‍රතිවාදින්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩක් නොතබමිනි. තවමත් දස හැවිරිදි වියෙහි පසුවන යුධාන් සිය විදුහලේ අවුරුදු 13න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් පෙන්නුම් කළ මේ දස්කම පාසල් ක්‍රිකට් ඉතිහාසයට එක් වූයේ වසර 47ක වාර්තාවක් ද සම කරමිනි.

මීට පෙර 1976 වසරේදී එවකට අවුරුදු 12න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේදී කෝට්ටේ සාන්ත තෝමස් විදුහල් පිලට එරෙහිව නාලන්දා විදුහලේ ආරම්භක වේග පන්දු යවන්නා ලෙස කටයුතු කළ කපිල වික්‍රමසූරිය මේ වාර්තාව පිහිටුවා තිබූ අතර, වසර 47ක් ගතවනතුරු එය සම කිරීමට මෙරට පාසල් ක්‍රිකට් පිටියේ කිසිදු පන්දු යවන්නකු සමත් වූයේ නැත. පිටදඟ පන්දු යවන රිෂී යුධාන් හින්දු විදුහල් අවුරුදු 13න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් මේ වාර්තාව තැබුවේ 10 හැවිරිදි වියේදී වීම විශේෂත්වයකි. හින්දු විදුහල් අවුරුදු 13න් පහළ කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වන ඔහු එම තරගයේදී දවා ගත් කඩුලු 8න් හතරක්ම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය ඒවාය. ඉතිරි කඩුලු 4 බිඳ වැටුණේ උඩපන්දුවලිනි.

මේ වන විට පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ පමණක් නොව මෙරට ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව තුළත් වැඩිපුර කතාබහට ලක් වී සිටින මේ පැංචා සොයා ‘සිළුමිණ‘ පසුගියදා නාරාහේන්පිට, මාතා පාරේ පිහිටි ඔහුගේ නිවෙසට ගියේය.

“පුතාට පොඩි කාලේ ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාවට පුදුමාකාර ආසාවක්, කැමැත්තක් තිබුණා. එයාට ක්‍රීඩාවට හිත ගියේ අවුරුදු 3ක වගේ කාලයේ ඉඳලයි. පස්සේ මම එයාව අවුරුදු 7දී විතර බ්‍රෙන්ඩන් කුරුප්පු සර්ගේ ක්‍රිකට් ඇකඩමියට ඇතුළත් කළා. බ්‍රෙන්ඩන් සර් තමයි පුතාගේ මුල්ම ක්‍රිකට් පුහුණුකරු වුණේ” එසේ කියමින් ‘සිළුමිණ‘ කතාබහට එක්වූයේ යුධාන්ගේ පියා සෙල්වසේකරම් ය.

“මුල් කාලයේ පුතා පිතිහරඹයට තමයි දස්කම් පෑවේ. බ්‍රෙන්ඩන් සර් සෑහෙන්න පුතාට උදව් කළා. එයාගේ ක්‍රිකට් දස්කම් මුවහත් වුණේ හින්දු විදුහලට ඇතුළත් කළාට පසුවයි. මුලින්ම හින්දු විදුහලේ අවුරුදු 13න් පහළ සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගන්න කළින් මූලික පුහුණු සැසිවලදී එයාගේ දස්කම් ගැන විදුහලේ ක්‍රිකට් පුහුණුකරු කාර්තික් සෙල්වම් සර් ගොඩාක් පැහැදිලා හිටියා. ඒ නිසාම එයා පාසලේ සංවර්ධන සංචිතයට තෝරාගෙන තිබුණා. ඊට පස්සේ අවුරදු 13න් පහළ සංචිතයට ඇතුළත් වුණා.” සෙල්වසේකරම් එසේ කීවේය.

වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරකු වන සෙල්වසේකරම් ද එවකට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි අතර, ඔහු වත්තල රෝයල් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් අන්තර් සමාජ තුන්වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ බව කීවේය.

“ඒත් වැඩිදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්න අමාරු වුණා. මම ඩිවිෂන් 3 සෙල්ලම් කළෙත් විවාහ වුණාට පසුවයි. අපේ පොඩි පුතා ෂෙයොන් අරූෂ් ලැබුණාට පස්සේ එයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක නොතිබුණු නිසා මම ක්‍රීඩාවෙන් ඉවත් වුණා.” ඔහු කීවේය.

ක්‍රීඩාවෙන් පමණක් නොව අලෙවි නියෝජිතවරයකු සහ කළමනාකරුවකු ලෙස සේවය කළ වෙළෙඳ සමාගමෙන් ද සෙල්වසේකරම් ඉවත් වූයේ ඔහුගේ දෙවැනි පුත්‍රයාගේ රෝගී තත්ත්වය හේතුවෙනි. මොළයේ ආබාධයකට ගොදුරු වී සිටින කුඩා ෂෙයොන්ගේ පෙනීම, කථනය, ඇවිදීම සහ අංග චලනය දුර්වල තත්ත්වයක පැවැතීම හේතුවෙන් අද වනවිට සෙල්වසේකරම් ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස කටයුතු කරනු ලබන්නේ පුත්‍රයාගේ සහායට ළඟ සිටිය යුතු බැවිනි.

අඟහිඟකම් කොතෙක් තිබුණ ද සිය වැඩිමල් පුත්‍රයාගේ ක්‍රිකට් ජීවිතය වර්ණවත් කිරීමට හැකි සෑම කාර්යභාරයක්ම නොපිරිහෙළා ඉටු කිරීම සෙල්වසේකරම්ගේ එකම අරමුණ බවට පත් වී තිබේ. බිරිය නිත්‍යා පොන්නම්බලම් ද රිෂී යුධාන්ගේ ක්‍රිකට් ජීවිතය වෙනුවෙන් වැඩි වගකීමක් කරපින්නා ගෙන සිටින අතර, නිවෙසේ අගහිඟකම් දුරු කිරීමට විවිධ ආහාර වර්ග පිළියෙල කරමින් අලෙවි කරන බව කීවාය.

“පුතාගේ ක්‍රිකට් ආම්පන්න මිලදී ගැනීමට විශාල මුදලක් වැය වෙනවා. ඒ වෙනුවෙන් මමත් ආදායම් මාර්ගයක් විදිහට කේක් වර්ග, කෙටි කෑම වර්ග සකස් කරලා අලෙවි කරනවා. අපේ ලොකුම හීනය තමයි පුතා කවදාහරි දවසක ජාතික කණ්ඩායම නියෝජනය කරනවා දකින එක. ඒක පුතාගේ තාත්තාගෙත් ලොකු හීනයක්. මොකද එයාට බැරිවුණා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළට යන්න. ඉතින් එයා නිතරම කියන්නේ මට කරන්න බැරිවුණු දේ පුතා කරනවා දකින්න ඕනා කියලයි.” නිත්‍යා එසේ කීවාය.

නිත්‍යා සහ සෙල්වසේකරම් සිය ක්‍රිකට් වීරයාට තබා ඇත්තේ දුර්ලභ වර්ගයේ නමකි. යුධාන් යනු කතරගම දෙවියන්ට කියන නමක් බව සෙල්වසේකරම් කීවේය. “අපේ පොඩි පුතා ෂෙයොන්ගේ නමත් කතරගම දෙවියන්ට කියන නමක්.”

මේ වසරේ සිට අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දකුණතින් පන්දු යවන කුඩා යුධාන් ‘සිළුමිණ‘ට කතා කළේ ද පන්දුව උඩ දමමිනි. දස හැවිරිදි වියෙහි පසු වූව ද අවුරුදු 13න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් තරගවලට සහභාගි වීමේදී ඔහුට කිසිදු චකිතයක් නොදැනුණු බව යුධාන් කීවේය. පාදුක්ක සිරිපියරතන විදුහල් පිල සමඟ පැවැති යුධාන්ගේ පළමු තරගයේදී ඔහු කඩුලු 3ක් දවාලීය. ඔහු කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කරන අතර, පිතිකරුවන්ගේ ලැයිස්තුවේ අංක 4 ස්ථානයේ දකුණත් පිතිකරු ලෙස පිටියට පිවිසෙයි.

ලකුණු නොදී කඩුලු 8ක් දවාලීමෙන් පසු එය පාසල් වාර්තාවක් බව තමා ක්‍රීඩාගාරය වෙත පැමිණි විටදී පුහුණුකරු කාර්තික් කී බව යුධාන් අපට කීවේය.

“මට පන්දු වර්ග 6ක් දාන්න පුළුවනි. “යුධාන් අප සමඟ එසේ කීවේ තම ක්‍රීඩා දස්කම් ඉදිරියේදි වැඩිපුර කතාබහට ලක්වනු ඇතැයි ඉඟියක් ද පළ කරමිනි.

offspin, legspin, loop, flat loop, fast සහ googly වශයෙන් දඟපන්දු යවන්නන් සතු තුරුම්පු ‘පැකේජය‘ම පුංචි යුධාන්ගේ පන්දු යැවීමට ඇතුළත්ය. ඒවා මෙතරම් කුඩා වියේදි අත්හදා බැලීමට යුධාන් රුසියකු වූයේ ඒ සම්බන්ධව විවිධ වීඩියෝ පට නැරැඹීමෙන් බවත් ඔහු කීවේය.

“එදා මම ඕවර 9කුත්, පන්දු 4ක් බෝල් කළා. මගේ පළමුවැනි ඕවරයේ දෙවැනි බෝලෙන් පළමු කඩුල්ල ගත්තේ. ඒ ඕවරයේම හතරවැනි බෝලෙනුත් කඩුල්ලක් දවා ගත්තා. අපේ සර් කිව්වා ඒක වාර්තාවක් කියලා.” යුධාන් කීවේය.

“එයාට කඩුලු ත්‍රිත්වයක් ගන්න තිබුණු අවස්ථා දෙකක්ම මග හැරුණා”මව නිත්‍යා නැවත කතාබහට එක් වූවාය.

එදා පුංචි යුධාන් පාසල් වාර්තාව සම කිරීමෙන් පසු ඔහුට සුබ පැතූ අය අතර ශ්‍රී ලංකා පිලේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ද වේ. මීට අමතරව කුසල් මෙන්ඩිස් ද සුබ පතා තිබේ. පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සුබපැතුම් පණිවුඩ එවූ බව ‘සිළුමිණ‘ට කීවේ ඔහුගේ පුහුණුකරු කාර්තික්ය.

පුහුණුකරු කාර්තික් සෙල්වම් පැවසුවේ යුධාන් පළමුවරට හඳුනා ගත්තේ පිතිකරුවකු ලෙස බවය.

“බැටින්වලින් තමයි මම එයාව අඳුර ගත්තේ. අවුරුදු 9න් තමයි අපේ ඇකඩමියට බඳවා ගත්තේ. එයා පිටදඟ පන්දු යවන්නෙක් විදිහට සෙල්ලම් කළේ ඊට පස්සෙයි. අලුත් බෝලෙන් දඟපන්දු යවන්න එයාට පුදුම හැකියාවක් තියෙනවා. බෝලේ පරණ වෙන්න පරණ වෙන්න ඒ හැකියාව තවත් ඉහළ යනවා. විශේෂත්වය කියන්නේ මෙයාගේ බෝල්වල පොඩි ස්පීඩ් එකක් තියෙනවා. එකෙන් තමයි අලුත් බෝලෙන් එයාට වාසියක් එන්නේ. හැම තිස්සෙම බෝල් කරන්න පුහුණු වෙනවා. පුදුම කැපවීමක් තියෙන්නේ. එයාගේ සමහර පන්දු වර්ග ඇත්තටම අංගසම්පූර්ණයි. එයාගේ වයස අඩු නිසා පීඩනකාරි අඩු අවස්ථා බලලා තමයි මම එයාව බැට් කරන්න දාන්නේ. මුල් තරගවලදී එයා යටින් බැට් කළාට අන්තිම තරග 4කදී මම එයාව බැටින් ඕඩර් එකේ ඉහළින් යැව්වා. මොකද එයාට සෑහෙන වෙලාවක් කඩුල්ලේ රැඳිලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල එක්ක තිබුණු තරගයේදි එයා පැය දෙකහමාරක් බැට් කළා. පන්දු 116කට විතර මුහුණ දුන්නා. අන්තිම මැච් එකේ මම එයාව ආරම්භක පිතිකරුවා විදිහට යැව්වා. මේ පාර පළමු වටයේ තරග 6කින් එයා කඩුලු 21ක් දවාගත්තා. අවුරුදු 10ක ක්‍රීඩකයෙක් අවුරුදු 13න් පහළ තරගාවලියේ හින්දු විදුහල වෙනුවෙන් මීට කළින් ඒ වගේ දස්කමක් පෙන්නලා නෑ. “කාර්තික් එසේ කීවේය.

පුහුණුකරුවකු ලෙස වසර 15ක අත්දැකීම් ඇති කාර්තික් හින්දු විදුහලේ ක්‍රිකට් පුහුණුකරු ලෙස එක් වුයේ මීට වසර එකහමාරකට පමණ පෙරය. ඔහු ඊට පෙර ඉසිපතන, ඩී.එස්. මහනාම ඇතුළු පාසල් රැසක පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබේ.

“මම වීඩියෝ බලල ඉගෙන ගන්නවා. අලුත් අලුත් පන්දු යවන හැටි බලාගෙන ඒවා සර්ගෙන් ඇහුවම සර් කියලා දෙනවා. “යුධාන් එසේ කීවේය. යුධාන්ට අවුරුදු 13න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට තවත් අවුරුදු 3ක්ම ඉතිරිව ඇත. එම කාලය ඇතුළත ඔහු වෙතින් තවත් වාර්තා රැසක් බිහිවනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ.

යුධාන්ගේ ප්‍රියතම පිතිකරුවා දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් ය. පන්දු යවන්නන්ගෙන් ඔහු වැඩිපුර ප්‍රිය කරන්නේ ඔස්ට්‍රේලියාවේ නේදන් ලියොන්ට ය. ඊට අමතරව ඔහු කුමාර් සංගක්කාරගේ පිතිහරඹයට ද ප්‍රිය කරන බව කීවේය.

“ඩිවිලියර්ස් පිටියේ අංශක 360ටම ගහනවා. ඒකයි මම එයාට කැමැති.”කුඩා වියේ පසු වුවද යුධාන්ගේ ක්‍රිකට් තාක්ෂණ දැනුම විස්මයජනකය.

“නේදන් ලියෝන් ‘ලයින් ඇන්ඩ් ලෙන්ත්‘ එකට බෝල් කරනවා. ඒකයි මම එයාට කැමැති”ඔහු කීවේය.

“ඉස්කෝලේ අවුරුදු 19න් පහළ කණ්ඩායමට එකතුවෙලා ‘බිග් මැච්‘ ගහලා ශ්‍රී ලංකා ටීම් එකට බැඳිලා වර්ල්ඩ් කප් එකක් දිනා ගන්න එක තමයි මගේ ආසාව.” යුධාන් සිය ක්‍රිකට් අනාගතයේ සිහින සමුදාය අප හමුවේ එසේ දිග හැරියේය.

“අපිට පුතා ගැන ආඩම්බරයි. එයා ක්‍රීඩාවට වගේම ඉගෙන ගන්නත් දක්ෂයි. මේ පාර ශිෂ්‍යත්වය විභාගෙන් ලකුණු 106ක් ගත්තා. අපි කිව්වේ ශිෂ්‍යත්වය ගැන හිතන්න එපා. ඒත් ඕ ලෙවල් නම් ඉහළින්ම පාස් වෙන්න ඕන කියලයි.” මව නිත්‍යා එසේ කීවාය.

හින්දු විදුහලේ විදුහල්පති කේ. නාගේන්ද්‍රන්, ක්‍රීඩා භාර ආචාර්ය එස්. ධර්මසිවම්, ක්‍රිකට් භාර ආචාර්ය සී.ජේ.ඩෙරික් සහ ක්‍රිකට් පුහුණුකරු කාර්තික් සෙල්වම් සිය පුත්‍රයාගේ ක්‍රීඩා දිවියට ලබා දෙන සහයෝගයට තුති පුද කරන බව යුධාන්ගේ මවුපියෝ කියා සිටියහ.

  • ෆවුස් මොහොමඩ්, ඡායාරූප – රුක්මාල් ගමගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

එට්නා ගිනි කන්ද සක්‍රියවේ . . .

Sun Dec 3 , 2023
ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් විදාරණය වී තිබෙනවා. නමුත් එමඟින් කිසිදු අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව නොමැති අතර යුරෝපයේ වඩාත් සක්‍රියම ගිනි කන්ද ලෙසයි එට්නා ගිනි කන්ද හඳුන්වනු ලබන්නේ. සිසිලි දූපතේ කතානියාහි පිහිටි එට්නා ගිනි කන්ද යුරෝපයේ උසම ගිනි කන්ද වන අතර එය නිරන්තරයෙන් විදාරණයට ලක් වන ගිනිකන්දක්. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x