තලවතුගොඩ ඉඩම මගේ බිරිදගේ . . .

තලවතුගොඩ පෙරේරා මාවතේ සිය නිවස අනවසර ඉදිකිරීමක් බවටත් ඊට යාබද රජයේ ඉඩමක් සිය බලතල යොදා ගනිමින් අනවසරයෙන් පුරවන බවටත් එල්ලවන චෝදනා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි.

ඔහු අවධාරණය කරන්නේ මෙම චෝදනාව එල්ල කරන අයට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.

තලවතුගොඩ පෙරේරා මාවතේ ප්‍රසන්න රණතුංග ගේ බිරිඳට අයත් නිවස අනවසර ඉදිකිරීමක් බවටත් එම නිවසට යාබදව ඇති නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක් ඇමතිවරයා සිය බලතල යොදා ගොඩ කරන බවටත් ඇමතිවරයාගේ දියණියට අයත් යාබද නිවසක ඇල රක්ෂිතයක් ගොඩ කරන බවටත් දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා නැගෙමින් තිබේ. මේ චෝදනා කරන්නේ ඇමතිවරයාගේ නිවසට යාබද පදිංචිකාරියක් වන රංජීවිද සිල්වා නැමැති කාන්තාවක්. ඇමති ප්‍රසන්න රණතුංග පවසන්නේ තමන්ට එරෙහිව එල්ලවන මේ චෝදනාව පදනම් විරහිත හා ද්වේෂ සහගත එකක් බවයි.

ඇමතිවරයා පදිංචි පෙරේරා මාවතේ අදාල පර්චස් 25.8 ක ඉඩම මිලදීගෙන ඇත්තේ ඔහුගේ බිරිඳ විසින් බර්ටි පෙරේරා නැමැත්තෙකුගෙන්. ඒ 2004 වසරේදීයි. 2004.02.11 වන දින මේ ඉඩම මිලදී ගෙන ඇති අතර 2813 අංක දරණ ඔප්පුවෙන් එය සනාථ වෙයි. ඊට අමතරව හෝමාගම ඉඩම් රෙජිස්ටාර්වරයා විසින් ලියාපදිංචි කළ අංක 1470/206 පත්තිරුව මගින්ද ඒ බව තහවුරු වේ.  ඇමතිවරයාගේ බිරිඳ මෙම ඉඩම මිලදී ගැනීමට පෙර එහි මුල් හිමිකරු වූ බර්ටි පෙරේරා මෙම ඉඩම සංවර්ධන කිරීම සඳහා 2003.10.16 වන දින අනුමැතිය ලබා ගෙන තිබේ. ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව නාගරික සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මේ සඳහා බර්ටි පෙරේරා ට අනුමැතිය ලබා දී තිබෙන බව අදාල ලේඛන පරික්ෂා කිරීමේදී තහවුරු වේ. දේශපාලන බලය යොදා ගනිමින් මෙම ඉඩම සංවර්ධන කිරීම සඳහා අනුමැතිය ලබා ගත් බවට නැගෙන චෝදනාවද ඒ අනුව ප්‍රතික්ෂේප වන්නේ බර්ටි පෙරේරා ඉඩම සංවර්ධනය සඳහා අනුමැතිය ලබාගත් කාලය තුළ මෙරට බලයේ සිටියේ රණතුංග ඇමතිවරයා නියෝජනය කළ දේශපාලන පක්ෂය නොවන නිසාය.

ඇමතිවරයාගේ බිරිඳ වන මොරීන් රණතුංග සිය ඉඩමේ නිවසක් ඉදිකර ගැනීම සඳහා අනුමැතිය ලබා ගන්නේ 2014. ජුලි මස 10 වැනිදායි. ඒ අනුව කඩුවෙල නගර සභාව විසින් මෙම ගොඩනැගිලි සැලසුම අනුමත කර තිබෙනවා.

රංජීවිද සිල්වා නැමැති ඇමතිවරයාගේ යාබද නිවසේ කාන්තාව චෝදනා කරන්නේ ඇමතිවරයාට මෙම ඉඩමෙන් ඉවත්වන ලෙස අධිකරණ නියෝගයක් පවතින බවයි. මේ පිළිබඳව අප කළ සොයා බැලීමකදී තහවුරු වුණේ එයද පදනම් විරහිත බවයි. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 06/36/17/1715ඊ දරණ නඩුව පවරා ඇත්තේ පසුගිය යහපාලන රජය සමයේයි. එමගින් ඇමතිවරයාට චෝදනා කර තිබුණේ කෝ5516 නැමැති මූලික පිඹුරට අයත් ප්‍රසන්න රණතුංග පදිංචිව සිටින ඉඩමට යාබද කැබැලි අංක 08,09,10 යන ඉඩම් ඇමතිවරයා විසින් අනවසරයෙන් භුක්ති විදින බවටයි. එහෙත් නඩු විභාගය අතරතුරදී නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් සංවර්ධන හා කළමනාකරණ අධ්‍යක්ෂකවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ කැබලි අංක 10 වශයෙන් දක්වා ඇති ඉඩම් කොටස ආවරණය වන ලෙස එම අධිකාරිය ආරක්ෂක වැටක් ඉදිකර ඇති බවත් අධිකාරිය සතු ඉඩමක් බව දැක්වෙන දැන්වීම් පුවරු දෙකක් සවිකර ආරක්ෂා කර ඇති බවත්ය. ඒ අනුව කැබලි අංක 10 කොටසේ කිසිදු අනවසර අල්ලා ගැනීමක් සිදුව නැතැයි 2017 නොවැම්බර් 30 අදාල ලිපිය මගින් දැනුම් දී තිබේ. අදාල නඩු විභාගයේදී තහවුරු වී ඇත්තේ අදාල කැබැලි අංක 08 හා 09 වශයෙන් දැක්වෙන ඉඩම් පර්චස් 0.94 ක් රණතුංග ගේ බිරිදට හිමිකම් කියන ඉඩම් කොටසට ඇතුළුත් වී තිබූ බවයි. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය වැටවල් ගසා වට කරගෙන තිබූ කැබැලි අංක 10 යේ ඇමතිවරයාගේ බිරිඳට අයත් ඉඩමෙන් පර්චසයක්ද ඇතුලත්ව තිබූ බවයි අධිකරණ නියෝගයට අනුව සිදුකළ මැනීම් වලදී තහවුරු වී තිබේ. ඒ අනුව ඇමතිවරයාගේ බිරිඳගේ ඉඩමට ඇතුළුත්ව තිබූ පර්චස් 0.94ක කොටස ඔවුන් නිදහස් කර ඇති අතර නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමට ඇතුලත්ව තිබූ ඇමතිවරයාගේ බිරිඳට අයත් පර්චසයට ආසන්න ඉඩම් කොටසද අධිකාරිය විසින් නිදහස් කර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය ඒ අනුව සමතයකට පත් වෙමින් අදාල නඩුව ඉවත් කරගෙන ඇත්තේ 20‍18.04.23 වන දිනයි. ඒ යහපාලන රජය පැවැති කාලය තුළ දීම වීම විශේෂත්වයක්. අප කළ සොයා බැලීම්වලදී තහවුරු වුණේ ඇමතිවරයාට හෝ ඔහුගේ බිරිඳට ඔවුන්ට අයත් ඉඩමෙන් ඉවත් වන ලෙස කිසිදු අධිකරණ තීන්දුවක් නොමැති බවයි.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා බලහත්කාරයෙන් භුක්ති විදින බවට චෝදනා කරන ඔහුගේ නිවසට යාබදව ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම පර්චස් 06.22ක්. එම ඉඩම ඇමතිවරයාගේ බිරිඳ විසින් 2021 නොවැම්බර් 23 වනදා නාගරික සංවර්ධන අධිකාරියෙන් රජයේ තක්සේරු මුදල වන රුපියල් පනස් දෙලක්ෂයකට  ආසන්න මුදලක් ගෙවා වසර 30කට බදු ගෙන තිබෙනවා. ඊට අදාල ගිවිසුමකටද දෙපාර්ශවය අත්සන් තබා ඇත්තේ අදාල බදු කොන්දේසි වලටද එකඟ වෙමින්.

ඇමති ප්‍රසන්න රණතුංග ගේ බිරිඳ තමන් විසින් බද්දට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමේ ඉවුරු කාදනය වෙමින් පවතින බව 2023.06.14 වන දින ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවට දැනුම් දී තිබේ. එම සංස්ථාවේ සභාපති ඉංජිනේරු හිරාන් බාලසූරිය සඳහන් කළේ බදු පදනම යටතේ ලබා ගත් ඉඩමක් බැවින් රජයේ ප්‍රතිපාදන වලින් ඉවුරු කාදනය වැලැක්වීමට පියවර ගත නොහැකි බවත් අවශ්‍ය නම් මුදල් ගෙවන්නේ නම් එය ඉටු කර දිය හැකි බවත් රණතුංග ගේ බිරිඳට දැනුම් දුන් බවයි. ඒ අනුව ඊට ඇය එකඟ වී තිබේ. ඒ සඳහා වන ඇස්තමේන්තු මුදල වන රුපියල් ලක්ෂ 12 කට ආසන්න මුදලින් මුලින්ම ලක්ෂ 05කට ආසන්න මුදලක් ඇය ගෙවා ඇති අතර ඒ අනුව ඉවුරු කාදනය වැලැක්වීම සඳහා පැති බැම්මක් ඉදි කිරීමට සංස්ථාව කටයුතු කළ බවයි සභාපතිවරයා සඳහන් කරයි. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට පැවරී ඇති බලතල අනුව මෙවැනි පැති බැම්මක් ඉදිකිරීමට කිසිදු බාදාවක් නැති බවද ඔහු පෙන්වා දෙයි. නාගරික සංවර්ධන අධිකාරිය මෙම ඉඩම ඇමතිවරයාගේ බිරිඳට බදු පදනම යටතේ පැවරීමේදී ඉදිරිපත් කර ඇති කොන්දේසි වලට යටත්ව මෙම ඉදිකිරීම් සිදුවන බවද සභාපතිවරයා අවධාරණය කරයි.

ඇමති ප්‍රසන්න රණතුංග ට එල්ල වී ඇති අනෙක් චෝදනාව වන්නේ සිය දියණියට අයත් යාබද නිවසට මායිම්ව පවතින තවත් ඉඩමක් ගොඩකරන බවටයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය පවසන්නේ අදාල ස්ථානයේ ගෙන ඇත්තේද ඉවුරු ඛාදනය වැලැක්වීමේ පියවරක් බවයි. ඇමතිවරයාගේ දියණියගේ නිවසට මායිම්ව ඇති සංවර්ධනය කෙරෙන ඉඩම අයත් වන්නේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවටයි. බත්තරමුල්ල, තලවතුගොඩ ඇල ඉවුරු සොදා පාළුවට ලක්වීම වැලැක්වීම සඳහා සිය සංස්ථාව මගින් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවත් එය අදාල ඇල ආශ්‍රීත ප්‍රදේශවල දැනට මාස කිහිපයක පෙර සිටිම ආරම්භ කර ඇති බවත් පෙන්වා දුන් සභාපතිවරයා ඇමතිවරයාගේ දියණියගේ නිවසට මායිම්ව ඇති ඇල රක්ෂිතයේ සිදුවන්නේද එවැනි ඉවුරු ඛාදනය වැලැක්වීමේ පියවරක් බව අවධාරණය කරයි. ඊට ඇමතිවරයාගේ හෝ ඔහුගේ පවුලේ කිසිදු බලපෑමක් හෝ සම්බන්ධයක් නැති බවද සභාපතිවරයා කියයි.

දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට එරෙහිව බොරු වපුරන මෙම කාන්තාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කරන ඇමතිවරයා මෙම කාන්තාවගේ බොරු වලට නොරැවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටී.

  • Media unit
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හදිසියේ කාරයක් ගිණි ගනීයි . . .

Sun Jan 28 , 2024
පස්සර බඩල්කුඹුර මාර්ගයේ ගමන් කරමින් තිබු මෝටර් රථයක්  තෝලබෝගස්වත්ත ප්‍රදේශයේ 2 කණුවේදි  දි ඊයේ (27) දින අළුයම ගිණිගෙන විනාශයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. බදුල්ල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු කතරගම සිට නැවත බදුල්ල බලා එමින් සිටියදි අළුයම 4.30 පමණ එකවරම මෝටර් රථයෙන් දුමක්  සමගම ගින්නක් ඇතිවු බවත් ඒ අවස්ථාවේ දි එය නවතා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x