හරක් කටා ඩුබායි වෙත යවන්න කෝටි 70ක අල්ලසක් . . .

‘අතලොස්සක් කඩාකප්පල්කාරී පිරිස් වලට හෝ ජාත්‍යන්තරයට මා යටත් වන්නේ නෑ’ යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

කළුතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගැනීමට පැවැති විශාලම අභියෝගය මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම්. රටේ ඇතැම් පාසල් වල මෙන්ම සෑම ස්ථානයකම මත්ද්‍රව්‍ය ප්‍රචලිතව පැවතුනා. මෙම තත්වය මැඩ පැවැත්වීම සඳහා දීර්ඝ කාලීන සැලසුමකින් යුක්තව අප කටයුතු කළා. මාස හයක පමණ අධ්‍යනයකින් අනතුරුව ඒ සඳහා වන සැලසුම සකස් කරනු ලැබුවා. එය ක්‍රියාත්මක කිරීම ජීවිතයත් මරණයත් අතර පවතින විශාල අභියෝගයක් බවට පත්වුනා. නමුත් රට වෙනුවෙන්, රටේ අනාගතය බාරගන්නා දූ දරුවන් වෙනුවෙන් ඒ අභියෝගයට මුහුණ දීමට අප තීරණය කළා.

ඒ අනුව ආරම්භ කළ යුක්තිය මෙහෙයුම හේතුවෙන් මේ වන විට රටේ සෑම ප්‍රදේශයකම විශාල වෙනසක් ඇතිවී තිබෙනවා. මේ වෙනුවෙන් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පොලිසියට, විශේෂ කාර්ය බලකායට ඇතුළු සෑම අංශයකටම මා උපදෙස් ලබාදී තිබෙනවා. විපක්ෂයේ ඇතුළු ඇතැම් පිරිස් මෙය ආරම්භයේදී ප්‍රකාශ කළේ මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවයි. නමුත් මේ වන විට එහි ප්‍රතිඵල ජනතාව අත්දකිමින් තිබෙනවා. රටේ අවසාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාත් අත්අඩංගුවට ගන්නා තෙක්ම මේ මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ.

එමෙන්ම පාතාල ක්‍රියාකාරකම් වල නිරත වෙන පිරිසටද ආයුධ බිම තබන ලෙස මා දැනුම් දීමක් සිදුකළා. කොතැනක සැඟවී සිටියත් ඔවුන් සොයාගන්නා මෙහෙම අප නතර කරන්නේ නැහැ. ඔවුන් ආයුධ සන්නද්ධව සටනට එළඹෙනවනම් පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ද තම ආයුධ එම අවස්ථාවේ භාවිතා කිරීමට පැකිලෙන්නේ නැහැ. කොතැනක වෙඩි තැබීමක් සිදුවුවත් කෙටි කාලයක් තුළ වෙඩි තැබූ අය, උදව් කළ අය, මෙහෙයවූ අය සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට අප කටයුතු කරනවා. පසුගිය සති කිහිපය තුළ සිදුකළ සෑම අපරාදේකම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. එම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

විදේශගතව සිටින පාතාල සාමාජිකයින්ද අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට අප පියවර ගන්නවා. ප්‍රසිද්ධ පාතාල සාමාජිකයින් වන හරක් කටා, සළිඳු වැනි අපරාධකරුවන් මේ වන විටත් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් තිබෙනවා. ඒ සඳහා විශාල වෙහෙසක් දැරීමට අපට සිදු වුණා. ඒ කාලය තුළද රුපියල් මිලියන 700ක අල්ලසක් ලබාදී හරක් කටා ලංකාවට ගෙන ඒම වළක්වා ඩුබායි වෙත යැවීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් උනා. ඇතැම් පිරිස් එවැනි විශාල මුදලක් දුටු විට ඊට යටවනවා. ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුවත් රඳවා ගැනීමේ නියෝගය නිකුත් කිරීම වළක්වන ලෙස මිලියන පනහක් ලබාදීමට උත්සාහ කළා. නමුත් ඒ කිසිදු අල්ලසකට අප යටත් වන්නේ නැහැ. ආරම්භ කරන ලද මෙහෙයුම අවසානය දක්වා රැගෙන යාමට අප කටයුතු කරනවා.

මේ ආකාරයටම දිගින් දිගටම ජනතාවගේ සහයෝගයද අපට හිමිවන්නේ නම් වැඩිකල් නොගොස් පාතාලයෙන් මහපාරේදීම අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙනු ඇති. බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය හරහා මෙම මෙහෙයුම් නතර කරන ලෙස බලපෑම් සිදු කරනවා. ජාත්‍යන්තරයෙන් පවා බලපෑම් එල්ල වනවා. නමුත් අතලොස්සක් කඩාකප්පල්කාරී පිරිස් වලට හෝ ජාත්‍යන්තරයට අමාත්‍යවරයා ලෙස මා යටත් වන්නේ නැහැ. සියලු දෙනා සමග අත්වැල් බැඳගනිමින් මේ කාර්යය නිවැරදි ආකාරයෙන් ඉටුකර නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේද සහයෝගය සෑම අවස්ථාවකම අපට ලැබෙනවා. ”

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක , වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, හිටපු පොලිස්පති තුමා, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • මාධ්‍ය ඒකකය
    මහජන ආරක්ෂක අමාත්‍යාංශය
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලංකාවේ ක්‍රියාත්මක ඉන්දියාවේ UPI මුදල් ගනුදෙනු ක්‍රමය . . .

Tue Feb 13 , 2024
ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතයක් මගින් ගෙවීම් කටයුතු සිදු කරන UPI ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. මෙම ඩිජිටල් ක්‍රමවේදය හඳුන්වා දීම ඊයේ (පෙබ. 12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබේ. ජනාධිපතිවරයා පසුගිය දා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x