වී කොල්ලය පටන් ගනී . . .

මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා රජය සහතික මිලක් නියම කොට තිබියදීත් ගොවි බිම් වෙත පැමිණ වෙළෙඳුන් එය නොතකමින් ඔවුන්ට අභිමත මිල ගණන් යටතේ වී මිල දී ගනිමින් සිටින බවට ගොවීහු මැසිවිලි නගති.

මේ දිනවල වැසි ජලයෙන් වගා කළ කුඹුරුවල අස්වනු නෙළන සමය නිසා එම අස්වනු මිලට ගැනීමට රජය කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා නොමැතිකමින් කුණුකොල්ලයට තම අස්වනු අලෙවි කරන තැනට තමන් පත්ව ඇතැයි ඔවුහු පවසති.

තෙතමනය සියයට 14කට වඩා අඩු නාඩු වී කිලෝවක් රුපියල් 105කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 120කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත්, තෙතමනය සියයට 14කට වඩා වැඩි නාඩු වී කිලෝවක් රුපියල් 95කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 105කටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 120කටත් මිල දී ගන්නැයි රජය සහතික මිලක් ද නියම කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ මේ මාසයේ මුල් සතියේදී ය.

නැගෙනහිර පළාතේ අස්වනු නෙළීම මේ දිනවල අවසන් අදියරේ පැවැතියත් තවමත් එම පළාතේ වී මිල දී ගැනීම සඳහා රජයට කිසිදු යාන්ත්‍රණයක් නොමැති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් ‘මව්බිම’ට පැවසීය.

නැගෙනහිර පළාත්වල තෙත වී කිලෝවක් රුපියල් 85කටත්, වියළි වී කිලෝවක් රුපියල් 100කටත්, පෞද්ගලික වෙළෙඳුන් විසින් මිලදී ගන්නා බවට ඔහු චෝදනා කළේ ය. මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් සහ වී ගබඩාකරුවන්, වී එකතු කරන්නන්ට රුපියල් මිලියන 25ක උපරිම ණය මුදලක් වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික බැංකු මඟින් ලබා දෙන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා තිබිණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති මිල ගණන් යටතේ වී මිල දී ගැනීම් සිදු කළ යුතු බවත්, එය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඒකාබද්ධව අධීක්ෂණය කෙරෙන බව ද එම අමාත්‍යාංශය අවධාරණය කෙරිණි.

ඒ සියල්ල තිබියදීත් තම අස්වනු වන අලි ඇතුළු වගා හානි සිදු කරන සතුන්ගෙන් දිවා රෑ නොතකා තවදුරටත් රැක ගැනීමට නොහැකි නිසා පෞද්ගලික වෙළෙඳුන් නියම කරන මිලටම අලෙවි කිරීමට සිදුව ඇති බවට ගොවීහු චෝදනා කරති.

මහ කන්නයේ වී වගා කිරීම සඳහා නිෂ්පාදන වියදම ලෙස විශාල පිරිවැයක් දැරීමට සිදු වූ නිසා ඒ ලබා ගත් ණය පියවීමට නම් අස්වනු හැකි ඉක්මනින් අලෙවි කළ යුතු බවද ගොවීහු පෙන්වා දෙති.

වී අලෙවි මණ්ඩලය මෙවර කන්නයේ වී මිලදී නොගන්නා නිසා පෞද්ගලික වෙළෙඳුන්ට වී අලෙවි කිරීමට සිදුව ඇති බව ද ඔවුහු චෝදනා කරති.

මේ අතර, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවැසුවේ ඇතැම් ගොවීන් පෙර ලබා ගත් ණය මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් අසාදු ලේඛන ගත කොට ඇතැයි ද ඇතැම් ගොවීන්ගේ දේපළ බැංකුවලට සින්න වී ඇති බව ය. එවන් පසුබිමක තම අස්වැන්න අඩු මුදලට හෝ අලෙවි කිරීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බව ද හෙතෙම කීය.

මේ අතර, මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩගෙන් කළ විමසීමේදී ඔහු පැවැසුවේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය මැදිහත් විය යුතු බවට මේ වනතුරුත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව ය. යම් හෙයකින් එවන් තීරණයක් ගත හොත් ඒ සඳහා ගබඩා 350ක් සූදානම් බවත් ඔහු අවධාරණය කළේ ය. ඒ සඳහා රුපියල් බිලියන දෙකක පමණ මුදලක් ඇස්තමේන්තු ගත කොට ඇතැයි ද හෙතෙම කීය.

වසර 14කට පසු ඉකුත් යල කන්නයේදී වී මිල දී ගැනීම සඳහා අලුතින් හඳුන්වාදුන් යාන්ත්‍රණය ඔස්සේ රුපියල් මිලියන 17ක පමණ ලාභයක් ලැබූ බවත් යම් හෙයකින් මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමට මැදිහත් වීම සඳහා අවසර හිමි වුවහොත් මෙවරත් සැලකිය යුතු තරම් ලාභයක් ලැබිය හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද සභාපතිවරයා අවධාරණය කළේ ය.

  • Savani Sheshadhi
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජල බිල්පත් හිගය කෝටි 1450 පනී . . .

Thu Feb 22 , 2024
ජල පාරිභෝගිකයන් හිග බිල්පත් ගෙවීම දිනෙන් දින ඉහළ යමින් ඇතිබව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි. එලෙස පාරිභෝගිකයන් හිග බිල්පත් ගෙවිම් නොකිරීම හේතුවෙන් රුපියල් මිලියන 14500ක හිග මුදල් පවතියි. ජල බිල්පත් නිකුත් කල පසු නියමිත දිනට පෙර එම බිල්පත් ගෙවනු ලබන්නේ මිලියන 03ක් පමණ වන සමස්ත ජල පාරිභෝගිකයන්ගෙන් 50% […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x