නුවරඑළිය තැපැල් කාර්යාලය ‌හෝටලයක් කිරීමට එරෙහිව පෙත්සමක් . . .

නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත් කිරීම සඳහා ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළේය.

නුවරඑළිය ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයකු වන කහදගමගේ පියසේන විසින් ගොනු කළ පෙත්සමක් අද එස්.යූ.බී. කරලියද්ද සහ මායාදුන්නේ කොරයා ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ මෙම මූලික විරෝධතා මතු කළේය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උචිත සම්පත් බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකළ මෙම තැපැල් කාර්යාලය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස පුරාවිද්‍යා පනත යටතේ ප්‍රකාශයට පත් කර තිබෙන බව සඳහන් කළේය. අදාළ ගොඩනැගිල්ල නුවරඑළියේ ජනතාවගේ එදිනෙදා දෛනික ජීවිතය සමග බැඳී පවතින අතර නුවරඑළිය සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වශයෙන්ද හඳුන්වා දිය හැකි බව පෙන්වා දුන් නීතිඥවරයා එය දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය දිනාගත් ලෝක උරුමයක් වශයෙන් හඳුන්වා දිය හැකි බවත් පැවසුවේය.

“පින්ක් පෝස්ට් ඔෆිස්”යනුවෙන් ලෝ ප්‍රචලිත මෙම තැපැල් කාර්යාලයේ පවතින ඔරලෝසු කනුව පුරාවිද්‍යාත්මක ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බවත් එම තැපැල් කාර්යාලය තැපැල් කටයුතු මිස වෙනත් කටයුත්තකට යොදා ගන්නේ නම් ඒ සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අනුමැතිය ලබාගත යුතු බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය. වැඩිදුරටත් කරුණු දක්වූ නීතිඥවරයා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් කිහිපයකදී අදාළ තැපැල් කාර්යාලය සංචාරක කටයුතු ප්‍රවර්ධනය උදෙසා ඉන්දියානු සමාගමක් වෙත අවන්හලක් පවත්වාගෙන යාම සඳහා ලබාදීමට තීරණය කර තිබූ බව කීවේය. එම අවස්ථාවේදී අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ අදාළ ගොඩනැගිල්ල ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට නියමිත බවට පෙත්සම්කාර පාර්ශවය ප්‍රකාශ කළත් ඒ බව තහවුරු කරන ලියවිලි කිසිවක් අධිකරණයට ඉදිරිපත් නොකර නොමැති බව සඳහන් කළේය.

ඊට අදාලව ලිඛිත කරුණු අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පිළිගත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අදාල ගොඩනැගිල්ල පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව පැවති මහජන විරෝධතා වලදී එම කරුණ අනාවරණය කෙරුණු බවත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

අදාල තැපැල් කාර්යාලය ඉන්දියානු සමාගමක් වෙත පැවරීමේ තීරණය නාගරික සංවර්ධන අධිකාරී පනතටද පටහැනි බවත් එය පැවරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන්නේය. අදාල ගොඩනැගිල්ල පැවරීම සිදුවන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බව පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු වලින් පෙනී යන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට එරෙහි නඩු කටයුත්තක් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයාගේ වැඩිදුර කරුණු දැක්වීම් කල් තැබුණි.

  • කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දමිතා යුවල 20 වැනිදා යළි අධිකරණයට . . .

Wed Mar 6 , 2024
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිණීයක් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව පැවරූ පැමිණීල්ල ලබන මස 20 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (06) නියම කළේය. සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x