ආර්ථිකය කඩා වැටුනේ කතානායක නිසා . . .

‘රටේ ආර්ථිකය ඇද වැටෙන්න කථානායකවරයා ප්‍රධාන හේතුවක් වුණා. කථානායක පුටුවේ සිට ගත් සෑම තීරණයක් පිටුපසම දේශපාලනය තිබුණ බව අපිට පෙනුනා. කථානායකවරයා විධායකයේ අතකොළුවක් බවට පත්වුණා. අමු අමුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කරා’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහි විශ්වාස බංගත්වය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමේ විවාදයේදී ඔහු මෙම අදහස් පල කලේය.

කථානායකවරයා මේ ධූරයට ආවට පස්සේ දේශපාලන සම්බන්ධකම් අත්හැරියේ නෑ. ඔහු කරගත් විශාල වැරැද්ද ඒකයි. බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තුළ තියෙනවා කතානායක ධුරයට බැඳුනම දේශපාලන සම්බන්ධකම් අත්හරින්න ඕනේ. එවිට තමයි ඔය පුටුවෙ ඉඳගෙන දෙපාර්ශවයටම සාධාරණව වැඩකරන්න පුළුවන් වෙන්නේ. නමුත් අපේ කතානායකවරයා එහෙම කරේ නෑ. ඔහු තාම වැලිගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති. ඒක ජනාධිපතිතුමා ලබාදෙන දේශපාලන පත්වීමක්. දේශපාලන පත්වීමත් තියාගෙන ඔය පුටුවෙ ඉඳගෙන ගන්නා සෑම තීරණයක් පිටිපස්සෙම දේශපාලනයක් තියෙනවා කියලා අපිට පේනවා.

අපේ රටේ ස්ථාවර නියෝග තියෙනවා. ආංශික අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තු කාලය තුළදී ක්‍රියාත්මක විය යුතු අතර පාර්ලිමේන්තුවේ යම් කල්තැබීමක් හෝ වාරඅවසාන කිරීමකදී හෝ නොසලකා එම විමර්ශන කටයුතු පවත්වාගෙන යා යුතුය. නමුත් මොකක්ද මෙතුමා කෙරුවේ වසර තුනක් ආංශික අධීක්ෂණ කාරක සභා පත් කෙරුවේ නෑ. අමු අමුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් කරා. ඒ පිටිපස්සෙ තිබ්බෙ දේශපාලනය. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ආංශික අධීක්ෂණ කාරක සභාවලට විරුද්ධයි. ගෝඨාභය විරුද්ධයි කියලා එතුමාට පත් නොකර ඉන්න බෑ. කථානායක වශයෙන් එතුමාට කියන්න තිබ්බා ස්ථාවර නියෝග අනුව ආංශික අධීක්ෂණ කාරක සභාපති කරන්න ඕන කියලා. නමුත් කතානායකවරයා දේශපාලනයට යටත් වුණා.

ඒ වගේම මුදල් කමිටුවේ සභාපතිකම විපක්ෂයට ලබාදෙන්න ඕන කියලා 121/1 සඳහන් වෙනවා සභාපතිවරයා විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයකු විය යුත්තේය යැයි සදහන් වෙනවා. ඔහුගේ වගකීම තමයි මේක ආරක්ෂා කිරීම. ඔහුගේ වගකීම තමයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කිරීම. නමුත් කතානායකවරයා එය කළේ නෑ. මොකක්ද ඔහු කරේ ශෝක ප්‍රකාශ ඉදිරිපත් කරන දවසක න්‍යාය පුස්තකයට වගන්තියක් දැම්මා ස්ථාවර නියෝග අත්හිටුවන්න කියලා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට මුදල් කමිටුවේ සභාපතිකම දුන්නා. කථානායකවරයා තමයි න්‍යාය පුස්තකය හැදුවේ. මේ වැඩේ හරිද. එදා මේ ආන්ඩුවේ සියල්ල ඒකට අත්පුඩි ගැහුවා. දැන් මැරිලා ඉපදුනා වගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ඇත්තටම හිරිකිතයි නීතිඥ මහත්වරු කියාගන්න අයත් එදා අත්පුඩි ගැහුවා.

වසර තුනක් මුදල් කමිටුව විපක්ෂයට දුන්නේ නෑ. ඇත්ත වශයෙන්ම අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න ප්‍රධානම හේතුවක් වුණේ කථානායකවරයා තමයි. එදා මුදල් කමිටුව විපක්ෂයට ලබා දුන්නා නම් වසර දෙකකට කලින් අපි කියනවා ආර්ථිකය බංකොලොත් වෙනවා කියලා. ආණ්ඩුවේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් හැමදේම හැංගුවා. අපි කවුරුවත් දැනගෙන හිටියේ නෑ ආර්ථිකය බංකොලොත් කියලා. මහ බැංකු අධිපතිවරයා අහම්බෙන් පාර්ලිමේන්තුවට ආවම මම ඒ පිළිබඳ ප්‍රශ්න කරාම තමයි මහ බැංකු අධිපතිවරයා කිව්වේ මිලියන 20යි සංචිත තියෙන්නේ කියලා. ආර්ථිකය කඩා වැටීම පිළිබඳ ප්‍රධාන චරිතය කථානායකවරයායි. බොහෝ රටවල් මේ කමිටු විපක්ෂයට ලබාදෙන්නේ ඇයි? ආණ්ඩුවට ඇත්තටම හොඳයි මේ කමිටු විපක්ෂයට ලබාදෙන එක. අද කෝප් කමිටුවට මොකද වෙලා තියෙන්නේ? කෝප් කමිටුව අද විහිළුවක් වෙලා. ආණ්ඩුව කොච්චර කිව්වත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අය දන්නවා දූෂණය නැති කරනවා කිව්වට කෝප් කමිටුව දිහා බැලුවම ඒක සනාථ වෙන්නේ නෑ .

පසුකාලීනව අරගලය ආවා. අරගලය ආවම බය වුණා. බය වුණ පාර කෝප්, කෝපා, පොදු ව්‍යාපාර කමිටුව, ඔය පුටුවේ ඉඳගෙන කිව්වා මේ තුනම දෙන්නම් කියලා. පස්සේ අරගලය පහවෙලා ගියාම පාර්ලිමේන්තුවේ වාර අවසන් කරලා මේ කමිටු තුනම නැවත ගත්තා. මේවා තුට්ටු දෙකේ වැඩ.කථානායකවරයෙක් කරන වැඩද මේවා .කථානායකවරයා විධායකයේ අතකොළුවක් වුණා .කථානායක ධුරයේ ගෞරවය ආරක්ෂා කෙරුවේ නෑ.

ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම පාර්ලිමේන්තුවට ගෙනාවා. කලින් එහෙම කරේ නෑ.මේක පාර්ලිමේන්තුවට ගේන්න කට්ට උවමනාවක් තිබුණා. පාර්ලිමේන්තුවට ගෙනල්ලා මන්ත්‍රීවරයෙක් නැගිට්ලා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කෙරුවා ණය ප්‍රතිව්‍යුහුව ගත කිරීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවට අයිති වැඩක් කවුරුන් හෝ මැදිහත් වෙලා අධිකරණයට යනවා නම් මගේ වරප්‍රසාද උල්ලංඝනය වෙනවා කියලා කිව්වා. කථානායකවරයා මොකක්ද කරේ මේ සම්බන්ධයෙන් උසාවියට යන්න බෑ කියලා තීන්දුවක් දුන්නා. මේවා තුට්ටු දෙකේ නීති උපදෙස් .

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරු පළාත් පාලන මැතිවරණය තියන්න කියලා කිව්වා. ආණ්ඩුව සල්ලි නෑ කිව්වා. පස්සේ දවසක මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ නැගිටලා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද කඩ කිරීමක් කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් කෙනෙක්ගේ අයිතීන් කඩ වෙනවද ? කථානායකවරයා මොකක්ද කරේ? ඒ තීන්දුව දුන්න නඩුකාරවරු තුන්දෙනාම වරප්‍රසාද කමිටුවට කැඳෙව්වා. අධිකරණය භය කරන්න හැදුවා.මේ විදියට තමයි දවසින් දවස මේ පාර්ලිමේන්තුව අගාදයට පත් කෙරුවේ. කථානායකවරුන්ගෙන් වැරදි සිද්ධ වෙනවා නමුත් මෙතුමාගේ වැරදි වැලක්ම තියෙනවා.

මහා බැංකුවේ අය වසරකට මිලියන 2800ක් පඩි වැඩි කරගෙන. දැන් කියන්න පුළුවන්ද අධිකරණයට සල්ලි නෑ කියලා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට කියන්න පුළුවන්ද දැන් සල්ලි නෑ කියලා. මොකද එයත් පඩි වැඩි කරගත්තා. ලැජ්ජ නැතිකම.  පළවෙනිදා මේ නඩුව තියෙනවා සල්ලි නෑ කියලා කියන්න පුළුවන්ද?

ව්‍යවස්ථාදායක සභාව ගැන කතාරන්න ඕනේ. මෙන්න මෙහෙම වගන්තියක් තියෙනවා. සභාව විසින් කරන ලැබිය යුතු සෑම නිර්දේශයක්ම හෝ අනුමත කිරීමක්ද ගනු ලබන සෑම තීරණයක්ම ඒකමතික තීරණයක් කිරීමට සභාව විසින් උත්සාහ දරනු ලැබිය යුත්තේය. ඒකමතික තීරණයක් නොමැති අවස්ථාවක සභාවේ රැස්වීමට පැමිණි සාමාජිකයන් පස්දෙනෙකුට නොඅඩුව අනුමත කළ යුතුයි. නමුත් එදා පස්දෙනෙක් අනුමත කළේ නෑ. හතර දෙනෙක් පක්ෂ වුණා, දෙන්නෙක් විරුද්ධ උනා, දෙන්නෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම ඉවර උනාට පස්සේ හතර පහ වෙලා.කොහොමද එහෙම උනේ. ලියුම් ලියලා තීරණය වෙනස් කරන්න පුලුවන්ද? කතානායකවරයාට ආදර ලිපි ලියලා තීරණ වෙනස් කරන්න පුළුවන්ද? මේ පාර්ලිමේන්තුව මේ වැනි දේ වෙනකොට අපිට මේ පාර්ලිමේන්තුවේ ඉන්න ලැජ්ජයි.

කථානායකවරයා වරද්ද ගත්තේ ඔය පුටු ඉදන් ගත්තු හැම තීරණයක්ම දේශපාලන කෝණයකින් බලපු නිසයි. කථානායකවරයා විධායකයේ අතකුළුවක් වෙලා. මං කලිනුත් කිව්වා කතානායකවරුන්ගෙන් වැරදි සිද්ධ වෙනවා වර්තමාන බ්‍රිතාන්‍ය කතානායකවරයත් ළඟදි විශාල වැරැද්දක් කෙරුවා. විපක්ෂයේ දේශපාලන පක්ෂයක් ගාසා තීරයේ සටන් විරාමයක් සම්බන්ධයෙන්. ඔහු විපක්ෂයේ අයට එය සංශෝධනය කරන්න ඉඩ දුන්නා. ආණ්ඩු පක්ෂයෙන් කිව්වා විපක්ෂයෙන් ගේන යෝජනාවක් විපක්ෂයට සංශෝධනය කරන්න බෑ කියලා ආණ්ඩුව එය කරන්න ඕනි කිව්වේ. නමුත් ඔහු ඒක ඇහුවේ නෑ.ඡන්දයක් ගත්තා. ඡන්දයෙන් ආණ්ඩුව පැරදුනා. පස්සේ ඔහු දැනගත්තා ඔහු වැරැද්දක් කෙරුවා කියලා. ඔහු වැරැද්ද පිළිගත්තා. අපේ කතානායකවරයා වැරදි වැලක් තියෙනවා, නමුත් එක අවස්ථාවකවත් පිළිගත්තේ නෑ වැරැද්දක් සිද්ධ වුණා කියලා.

විසිවෙනි සංශෝධනය ගෙනාවා පාර්ලිමේන්තුවට.නමුත් විපක්ෂයේ අපි දන්නෙත් නෑ .ජේ,ආර් ජයවර්ධන මහත්තයා ව්‍යවස්ථාව හදද්දිත් පාර්ලිමේන්තුවේ කමිටුවට ආවා .බණ්ඩාරනායක මැතිනිය, කොලිවින් ආර් ද සිල්වා මේ හැමෝම පාර්ලිමේන්තුවේ කමිටුවට ආවා. විසි වැනි සංශෝධනය ගේන අවස්ථාවේ ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවලා තිබ්බේ. කෙළින්ම පාර්ලිමේන්තුවට ගෙනල්ලා දැම්මා. විපක්ෂයේ සංවිධායක හැටියට සංශෝධන 30ක් මම එදා ඉදිරිපත් කෙරුවා. එකක්වත් පිළිගත්තේ නෑ.වසර තුනක් රටට නැති වුනා.

සිංගප්පූරුවේ මාධ්‍ය නිදහසක් නෑ. සිංගප්පූරුවේ online පනත තමයි මෙයාලා මේ හැදුවේ. සිංගප්පූරයේ මාධ්‍ය සියල්ල අයිති ආණ්ඩුවට. ආර්ථිකය හොඳ නිසා කවුරුවත් කතා කරන්නේ නෑ .මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සිංගප්පූරුවේ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන්න සංශෝධන ආණ්ඩුව එදා ඉදිරිපත් කළේ නෑ.කථානායකවරයා එදා ඒකයි විපක්ෂයේ පැත්ත බැලුවෙවත් නැත්තේ.

ආණ්ඩුව අද ඡන්ද වලට බයයි. පුළුවන් නම් පළාත් පාලන මැතිවරණය තියන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරපු සමීක්ෂණයට අනුව පොහොට්ටුවට තියෙන්නේ 9%යි. අනික් ගණන් මම කියන්න යන්නේ නෑ. එයාලට කරන්න ඇරලා අපි නිකන් හිටියා මොකද ප්‍රතිඵලය මොකක්ද කියලා අපි දන්නවා .දැන්වත් පාඩමක් ඉගෙන ගෙන මේ අන්තිම කාලේ හරි පව් සමා කරගන්න වැඩ ටිකක් කරන්න.වැරදි කා අතිනුත් සිද්ධ වෙනවා . අංගුලිමාල මිනිස්සු දාහක් මැරුවා අගිලි කපලා. අන්තිමට මොකද්ද උනේ රහත් වුණා. ඔය අයටත් රහත් වෙන්න පුළුවන් ඕනේ නම්.ධර්මය තුළින් අපිට හොඳ උදාහරණ තියෙනවා.

  • Media unit
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රුධිර කාන්දුකරණ ඒකකයේ සැත්කම් නවතී . . .

Tue Mar 19 , 2024
කොළඹ මාලිගාවත්තේ පිහිටි වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ (වකුගඩු රෝහල) රුධිර කාන්දුකරණ ඒකකයේ සැත්කම් සිදුකිරීම සම්පුර්ණයෙන්ම නවතා දමා ඇති බව වාර්තා වෙයි. මෙම ඒකකයේ ස්ථාපිතව ඇති වසර දෙකක පමණ කාලයක් අක්‍රීයව ඇති මධ්‍යම වායු සමීකරණ යන්ත්‍රය මෙතෙක් පිළිසකර නොකිරීම හේතුවෙන් වෛද්‍යවරු විසින් මෙම තීරණය ගෙන ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x