පාතාලයන්ට පාස්පෝට් හැදූ ලොක්කො . . .

වීථියේ යාචකයාගේ සහ ලොතරැයි අලෙවිකරුවාගේ සිට රටේ ඇතැම් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ද රාජ්‍ය සේවයේ කම්කරුවාගේ සිට පරිපාලන සේවයේ ඉහළ තනතුරු හොබවන ඇතැමුන්ද දැනටත් පාතාලයට නන් අයුරින් සම්බන්ධ බව නොරහසකි. ඊට හේතු කාරණා බොහෝය. 

ඉන්ටපෝල් හෙවත් අන්තර්ජාතික පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කළ පාතාල නායකයන් දෙදෙනකුට හොර රහසේ මෙරටින් පැන යාම සඳහා ව්‍යාජ ලිපිලේඛනවලින් ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනකු කටයුතු කොට ඇතැයි අනාවරණය වූයේ මේ අතරය. ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක තනතුර අවභාවිත කළැයි කියන පරිපාලන සේවයේ නිලධාරීන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබූහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දීර්ඝ විමර්ශනයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය. ව්‍යාජ ගමන් බලපත්‍ර සැකසීම වෙනුවෙන් පාතාලයන් රුපියල් ලක්ෂ ගණනින් වියදම් කර තිබෙන බැවින් සැකකරුවන් ඒ සඳහා විශාල මුදලක් ලබාගන්නට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීහු සැක කරති.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයකු වන චමින්ද ජනක ගුණරත්න ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය පසුදින 18 වැනිදා නියෝග කළේය. මෙම සිද්ධියටම අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පාලක සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන ඉෂාර මෙන්ඩිස් යන අය රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර එදින නියෝග කළාය.

චමින්ද ජනක ගුණරත්න නැමැති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක් සහ ඉෂාර මෙන්ඩිස් නැමැති ආගමන විගමන නියෝජ්‍ය පාලක තනතුරේ සිට දැනට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කරන නිලධාරියෙක් මෙසේ රහස් පොලිසිය අත්අඩංගුවට පත්ව සිටිති. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරියා අත්අඩංගුවට ගැනීමට සොයන අතරතුර ඉන් වැළකීම සඳහා ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇතුළත් වී සිටි බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේය.

පාතාල නායකයන් දෙදෙනකු වන මතුගම ශාන් සහ හීනටියන මහේෂ් නැමැති දෙදෙනාට ඩුබායි වෙත පැන යාම සඳහා ව්‍යාජ ලිපි ලේඛන යොදාගෙන ගුවන් ගමන් බලපත්‍ර සකස් කළ බව කියන චෝදනාවට මේ සැකකාර නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට පත්වූහ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක චමින්ද ජනක ගුණරත්න යන අය වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම වරද සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටිය දී බවය.

මෙම සැකකරු ආගමන විගමන කාර්යාලයේ වව්නියාව ශාඛාවට පත්වීමක් ලබා ගොස් සිටිය දී සුරේෂ් සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂ් යන අයට මාණික්කුගේ දිනේෂ් සිල්වා යන නමින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර එන්. 9197915 දරන විදෙස් ගමන් බලපත්‍රය ඉකුත් 2022 වසරේ ජනවාරි මාසයේ දී සකස් කර දී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. මෙම ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයේ සඳහන් මාණික්කුගේ දිනේෂ් සිල්වා යන අය මේ වන විටත් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින අයකු වන බවත්, ඔහුගේ ජාතික හැඳුනුම්පතේ ඇති ඡායාරෑපය සහ සුරේෂ් සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂ් යන අයවලුන්ගේ ඡායාරෑප බැලූ බැල්මටම දෙදෙනකුගේ බවට පෙනී ගියද එය නොතකා මෙම සැකකරු අදාළ ක්‍රියාව සිදුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පාලක සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන ඉෂාර මෙන්ඩිස් යන සැකකරු හිතාමතාම වංක චේතනාවෙන් මෙම වරද සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති බැවින් සැකකරුට ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සඳහන් කර සිටියේ තම සේවාදායකයා මේ වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවය කරන අතර, මීට මාස හයකට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසට සේවය කළ බවත්, ඔහු සිදුකර තිබුණේ අදාළ ලිපිගොනුවට අනුමැතිය ලබා දී අත්සන යෙදීම පමණක් බවත්ය. තම සේවාදායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව ක්‍රියා කළා මිස චේතනාන්විතව කිසිවක් නොකළ බවත් ඔහු පෙර වැරදි නොමැති යහපත් රාජ්‍ය සේවයේ නියුතුව සිටි නිලධාරියකු බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඕනෑම කොන්දේසියක් මත ඔහුට ඇප ලබා දෙන ලෙසටය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප ලබා නොදීමට තරම් කරුණු පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බවට තීරණය කරමින් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුට ඇප ලබාදීමට තීරණය කළේය.

චමින්ද ජනක ගුණරත්න නැමැත්තා ආගමන විගමන කාර්යාලයේ වව්නියාව ශාඛාවට පරිපාලන සේවයෙන් පත්වීම් ලබා ගොස් සිටියදී සුරේෂ් සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂ්ට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර දී ඇතැයි චෝදනා එල්ල විය. මාණික්කුගේ දිනේෂ් සිල්වා යන ව්‍යාජ නම ඇතුළත් කරමින් එන්. 9197915 දරන ගුවන් ගමන් බලපත්‍රය 2022 ජනවාරියේ නිකුත් කර ඇතැයි හෙළිවී ඇත. එම ගුවන් ගමන් බලපත්‍රයට දත්ත ඇතුළත් කළ මාණික්කුගේ දිනේෂ් සිල්වා ඒ වන විට මීගමුව බන්ධනාගාරයේ රුඳවියකුව සිට ඇති බවත්, එම අපරාධකරුගේ නමින් වූ ජාතික හැඳුනුම්පතට හීනටියන මහේෂ්ගේ තොරතුරු ඇතුළත් කර ව්‍යාජ ලෙස ගුවන් ගමන් බලපත්‍රය සකසා දුන් බවටත් චෝදනා එල්ල වී තිබේ. බන්ධනාගාරයේ සිටින අපරාධකරුගේ ජාතික හැඳුනුම්පත හා එය රුගෙන ගිය හීනටියන මහේෂ් දෙදෙනකු බව බැලූ බැල්මට පෙනී ගියද එය නොතකා මෙම නිලධාරියා ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කර තිබෙන බව තහවුරු වී ඇත. ඉෂාර මෙන්ඩිස් නැමැති අය 2021 දී නියෝජ්‍ය පාලකවරයකු ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටියදී දොඩම්ගොඩ ලියනගේ ශාන් අරෝෂ් ලියනගේ නොහොත් මතුගම ශාන්ට ව්‍යාජ දත්ත ඇතුළත් කර ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇතැයි චෝදනා එල්ල වේ. මතුගම ශාන් විසින් දොඩම්ගොඩ ලියනගේ රාජේෂ් කුමාර නැමැති අයකුට අයත් ජාතික හැඳුනුම්පත රුගෙන ගොස් එන්. 8962585 දරන විදේශ ගුවන් ගමන් බලපත්‍රය සකස් කරගෙන ඇතැයි හෙළි වී තිබේ.

හීනටියන මහේෂ් නැමැති පාතාල නායකයා මීගමුව, කටුනායක, මිනුවන්ගොඩ, දිවුලපිටිය, සීදුව ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබා ගන්නා බව වාර්තා වෙයි. මේ පාතාල නායකයාට ඇති බිය නිසා කිසිදු ව්‍යාපාරිකයකු මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. හීනටියන මහේෂ් විසින් මෙහෙයවන පාතාල කල්ලිය මීගමුවල කටුනායක මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන් ධනවතුන් භීතියට පත්කරගෙන රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම නිසා එම ප්‍රදේශවල ජනතාව දැඩි භීතියට පත්ව සිටිති. දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් සිය පාතාල කල්ලිය මෙහෙයවන අතර මොහුට කප්පම් නොදෙන ව්‍යාපාරිකයන් ධනවතුන් ඝාතනය කිරීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි. මතුගම ශාන් නැමැති පාතාල අපරාධකරු ඩුබායිවල සැඟවී සිටින්නෙකි. මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන්නකු වන ඔහුට මිනීමැරුම් චෝදනා පවතින බව පොලිසිය පවසයි.

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්නගේ ඍජු අධීක්ෂණය යටතේ මූල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

  • සමන්ත විල්තෙර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

CIDය හෙට මෛත්‍රීගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතයි . . .

Sun Mar 24 , 2024
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. ඒ අනුව ඊට අදාළ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට (25) ලබාගන්නා බව පොලිස්පතිවරයා සඳහන් කළේය. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x