යාලේ අයාලේ ගිය මුග්ධ අපතයෝ මෙන්න…

රුපියල් කෝටි ගණනක් වටිනා අධි සුඛෝපභෝගී ජීප් රථ ‘පෙළපාළියකින්’ යාල වනෝද්‍යානයට පසුගිය ඔත්තෝබර් 24 වැනිදා දහවල් ඇතුළු වුණු පිරිසක් වනෝද්‍යානයේ නීති රීති තුට්ටුවකටවත් මායිම් නොකර වන සතුන්ගේ නිදහසටද බාධා කරමින් වනෝද්‍යානය සිය ග්‍රහණයට ගන්නා අයුරු මුළු රටේම මහජනතාව මාධ්‍ය මඟින් බලා සිටියේ කනගාටුවෙන් සහ පිළිකුලෙන් යුතුවය.

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 02ට ඉකුත් 23 වැනිදා පෙරවරුවේ ස්පෝර්ට්ස් වර්ගයේ අධි සුඛෝපභෝගී ජීප් රථ 5ක් ඇතුළු කෙරිණි. තවත් පැය කීපයක් ගෙවී යද්දී එක පෙළට අධි වේගයෙන් ආ සුඛෝපභෝගී ජීප් රථ 33ක් වනෝද්‍යානයට ඇතුළු කිරීමේ බලාපොරොත්තුවෙන් එහි ගේට්ටුව අසල නතර කෙරිණි. මේ අධි සුඛෝපභෝගී ජීප් රථවල ගමන් කළ වැඩි දෙනෙක් තරුණයන් බව වනජීවී නිලධරයනට නිරීක්ෂණය විය. මේ අය වාහනවලින් ගොස් වන සතුන් නරඹනවාට වඩා එම වාහන යොදාගෙන කිසියම් සංදර්ශනයක් පැවැත්වීමට සූදානමින් පසු වන අය බව වනජීවි නිලධරයන් දැන සිටියේ නැත. ඉන් අනතුරුව මේ පිරිස යාල වනෝද්‍යානය මැදින් එක පෙළට වාහන ධාවනය කරමින් තරගයට මෙන් ගමන් කළේ එහි වේග සීමා ඔවුනට අදාළ නොවූ නිසා වන්නට ඇත. වාහනවල ශබ්දය නිසා වන සතුනට ඇති වන පීඩාව ගැන මේ පිරිස තඹ දොයිතුවකට මායිම් කළේ නැත. යාල වනෝද්‍යානයේ භාරකරු මනෝජ් වෛද්‍යරත්න සඳහන් කරන අන්දමට මෙසේ පැමිණි සුඛෝපභෝගී ජීප් රථ කණ්ඩායම ප්‍රකට ෆෝ බයි ෆෝ ජීප් රථ කාණ්ඩායමක සාමාජිකයන්ය. මේ පිරිස රටේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තොරතුරු හෙලිවන්නේ ඔය අතරය. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන්ද අයන් මෑන් ව්‍යාපාරයේ හිමිකරු වන සෑම් චන්ද්‍රසෝම මෙලෙස කරුණු පැහැදිලි කළේය. මම හෝ මගේ කණ්ඩායමේ කිසිම සාමාජිකයෙකු මෙම කටයුත්තට සම්බන්ධ නෑ. මගේ කණ්ඩායමේ අය මේ සිදුවීමට සම්බන්ධ බවට කර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යක්.මම මේ බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් වෙත හා යාල උද්‍යාන පාලක වෙත දැනුම් දිමට පියවර ගන්නවා. ඔය කියන දිනයේ අපේ කණ්ඩායමේ සාමාජිකයන් යාල කලාප අංක 02ට ඇතුළු වූ නමුත් ඔය කියන විදියේ කිසිදු නීති රීති කැඩිමක් හෝ අසංවර ක්‍රියාවකට මගේ සාමාජිකයින් කිසිවෙකුත් සම්බන්ධ වුණේ නෑ.

යාල වනෝද්‍යානය කලාප අංක 02ට 23 උදෑසන ඇතුළු වූ සුඛෝපභෝගි ජීප් 5කට සංචාරක මඟ පෙන්වන්නන් තිදෙනෙකු වන ජීවියෙන් ලබා දී තිබිණි. සවස ඇතුළු වූ ජීප් රථ 35 කට වෙනම බලපත්‍ර 35ක් නිකුත් කෙරිණි. සංචාරක මඟ පෙන්වන්නන් ජීප් රථ පහකට එක බැගින් ලබාදීමට වන ජීවියට සිදු වන්නේ ජීප් රථ 35 කට ලබාදීමට සංචාරක මඟ පෙන්වන්නන් 35 දෙනෙක් නොසිටි නිසාය.

අධි වේගයෙන් ජීප් රථ ධාවනය කරන මේ පිරිස ඉන් අනතුරුව ගමන් කරන්නේ මහා සීලව ප්‍රදේශයටය. ඉන් අනතුරුව අධි සුඛෝපභෝගී ජීප් රථ නවයක් සුපුරුදු සෙල්ලමක් පටන් ගත්තේ සෙස්සන්ගේ ජය ඝෝෂා මධ්‍යයේය. ඒ වැල්ල මත තරගයට මෙන් සිය ජීප් රථ කරකැවීමයි. මෙසේ ජීප් රථ කරකවන අතරේ ඩ්‍රෝන යානා මඟින්ද එය ගුවනේ සිට වීඩියෝගත කැරිණි. එසේ ජීප් රථ වැල්ලේ කරකවන අතරේ ජීප් රථ ඇතුළේ සිටි තරුණයන් ප්‍රීති ප්‍රමෝදයට පත්ව යම් යම් දේ පවසන අයුරුද වීඩියෝ ගත වී තිබිණි. යාල වනෝද්‍යානයට සුඛෝපභෝගී ජීප් රථවලින් ඇතුළු වී වන සතුන්ගේද නිදහස නැති වන අයුරින් කටයුතු කළ කල්ලියේ කෙරුවාව ගැන ලෝකයටම හෙළිවන්නේ ඔවුන් විසින්ම අන්තර්ජාලයට මුදාහරින ලද වීඩියෝ දර්ශන හේතුවෙනි.

යාල වනෝද්‍යානයේ පිස්සු නැටූ පිරිසට සහ වාහනවලට වසර 3ක් යනතුරු මෙරට කිසිම ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමට අවසර නොදෙන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාර සඳහන් කළේද ඔය අතරය. කෘෂිකර්ම වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මේ සිද්ධිය ගැන සිය සුවිශේෂි අවධානය යොමු කර තිබිණි.

මේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් සහ වාහනවලට නඩු පැවරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්නේ ඒ අනුවය. වාහන සහ පුද්ගලයන් සම්බන්ධයෙන් වන ජීවි නිලධාරින් සතුව ඇති තොරතුරුවලට අමතරව ජනමාධ්‍ය ඔස්සේ විකාශය වූ දර්ශනද උපයෝගී කර ගැනීමට කටයුතු යොදා තිබිණි.

මේ අධි සුඛෝපභෝගී ජීප් රථවලින් යාල ජාතික වනෝද්‍යනයට ඇතුළු වී පිස්සු නැටූ අය නිකවැරටිය ප්‍රදේශයේ කුකුළු ගොවිපළ සහ මස් ව්‍යාපාර සිදු කරන පිරිසක් සහ වැල්ලවායේ ‘ෆෝ බයි ෆෝ’ කණ්ඩායමක සාමාජිකයන් සේම ජීප් රථ නවීකරණය කර වනගත සවාරිවල නිරතවන ප්‍රකට කණ්ඩායමක් බවට තොරතුරු හෙළිවන්නේ ඔය අතරය. අදාළ ආයතනය වාර්ෂිකව අලුත් වැඩියා කරන ජීප් රථ මෙවැනි ස්ථානයකට ගෙනවිත් එහි ක්‍රියාකාරිත්වය පිරිස්සීම සඳහා එම දර්ශන වීඩියෝ ගත කරන බවද හෙළිවන්නේ ඔය අතරය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වෙත චෝදනා එල්ලවෙමින් පවතී.අමාත්‍ය මහින්ද අමරවිරගේ පුතා ඇතුළු පිරිසක් මේ අනර්ථක කටයුත්ත සිදු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විමත් සමඟ අමාත්‍යවරයාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමක් කළේය. එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ මෙම සිද්ධියට තම පුතුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තම පුතු අදාළ දිනයේ යාලට තියා ගාල්ලටවත් ගොස් නැති බවයි. එලෙස මෙම කටයුත්ත සඳහා තම පුතා සම්බන්ධ බවට තොරතුරු ඇත්නම් තමා දේශපාලනයෙන් පවා සමු ගැනිමට සූදානම් බවද ඇමැති මහින්ද අමරවිර පැවසීය.

මේ අතර යාල වනෝද්‍යනයට ඇතුළු වී පිස්සු නැටූ කණ්ඩායමට අයත් වාහන 15ක තොරතුරු හෙළිවන්නේ පසුගිය බදාදාය. NW KK 8007 සුදු පැහැති හමර් වාහනය වත්මන් අයිතිකරු මඩහපොළ, පදිංචි රත්නායක මුදියන්සේලාගේ නුවන් රත්නායක, SP CBF 8668 සුදු පැහැති ලෑන්ඩ් රෝවරය වත්මන් අයිතිකරු බෙලිඅත්ත පදිංචි උපුලා අනුරුද්දිකා CP KI 3907 නිල් පැහැති ජීප් රථය වර්තමාන හිමිකරු මොනරාගල පදිංචි මද්දුම පටබැඳිගේ ඔසුර වසන්ත ජයවර්ධන, NW CBP 0555 සුදු පැහැති ලෑන්ඩ් රෝවර් වාහනය වර්තමාන හිමිකරු මඩහපොළ හිත්තම් මුදියන්සේලාගේ ලක්මාල් දිලක්ෂ ජයතිලක PR 5466 කළු පැහැති ලෑන්ඩ් රෝවර් රථය වර්තමාන හිමිකරු සීදුව පදිංචි මාතොටගේ උදිත චතුරංග, PE 1382 සුදු පැහැති ලෑන්ඩ් රෝවර් වාහනය වර්තමාන හිමිකරු කුරුණෑගල පදිංචි වාසල මුදියන්සේලාගේ චාමර මදුසංක වාසල, PC 1387 නිසාන් සුදු පැහැති ද්විත්ව කාරය වර්තමාන හිමිකරු පන්නල චමිපිකා කුමාරි ප්‍රියදර්ශනී ලේකම්ගේ, KV 8873 ම්ට්ෂුබිෂි කළු පැහැති ජීප් රථය වර්තමාන හිමිකරු යක්කල පදිංචි අලම්පිටියගේ අශෝක ප්‍රේම කුමාර, CAE 2845 සුදු පැහැති ටොයෝටා ජීප් රථය වර්තමානයේ හිමිකරු ඒකානායක මුදියන්සේලාගේ බුද්ධික ඒකනායක, CA 3000 ගිනි රතු ජීප් රථය වර්තමාන හිමිකරු අත්තනගල්ල පදිංචි කාරියවසම් ගමගේ සුසිල් ප්‍රේමලාල්, CAB 7494 ගිනි රතු ජීප් රථය වර්තමාන හිමිකරු රාගම සමිත සුරංජිත් දංවත්ත.

මීට අමතරව 31-5498, CEO 9699, CIB 4779, 64-2708, CAN 3883 යන වාහනද යාල වනෝද්‍යානයට එකවර ඇතුළු වූ වාහන 35 සමන්විත කණ්ඩායමට අයත්ව තිබුණි.

මේ සිද්ධියට සම්බන්ධයෙන් යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු වන මනෝජ් විද්‍යාරත්න ඇතුළු වනජීවි නිලධාරීන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන්නේ පසුගිය 25 වැනිදාය. පුද්ගලයන් 80 දෙනෙකු වාහන 35 කින් ඉකුත් 22 දින සවස 2.00 ට පමණ යාල ජාතික වනෝද්‍යානයට අවසරපත් රැගෙන ඇතුළුව එහි නීති විරෝධීව හැසිරුණු බවට තොරතුරු වාර්තා වී ඇතැයි උද්‍යාන භාරකරු අධිකරණයට සඳහන් කළේය.

මේ පිරිස වනෝද්‍යානයට ඇතුළු වී සංචාරක මාර්ගෝපදේශකයන් 8 දෙනෙකු සමඟ සංචාරය සඳහා පිටත්ව ගිය බවද ජීප් රථ 35 න් 7ක් සඳහා වනෝද්‍යාන නියාමක මඟ පෙන්වන්නන් 7 දෙනෙකු සහභාගී වී ඇති බවද ඔහු සඳහන් කළේය. මේ වාහන උද්‍යානයේ වේග සීමා ඉක්මවමින් ධාවනය කරමින් වන සතුන්ගේ ක්‍රියාකාරකම්වලට හානි අන්දමින් කටයුතු කිරීම නිසා සංචාරක මග පෙන්වන්නන් විසින් මේ කණ්ඩායම සවස 5.30 පමණ වන විට වනෝද්‍යානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න එහිදී පෙන්වා දුන්නේය.

වනෝද්‍යානය පුරා විසිරි සිටි මේ ජීප් රථ කණ්ඩායම ඉන් ඉවත් කරන අවස්ථාවේදී ජීප් රථ කීපයක් වනෝද්‍යානයේ මහා සීලව වෙරළේ වැලි මත කරකවමින් ඒ අසල කැලෑවේ සිටින සතුනට හානි වන ලෙස ක්‍රියා කර ඇති බවද ඔහු සඳහන් කළේය. සමාජ මාධ්‍ය ජාලාවල විකාශය වන වීඩියෝ දර්ශනවලට අනුව පෙනෙන්නේ වැලි මත ජීප් රථ කරකැවීම සහ වේගය නොතකා ජීප් රථ ධාවනය කිරීම වුවත් ගල් තලා මත ජීප් රථ ධාවනය උද්‍යානයෙන් පිටත දූව ප්‍රදේශයේදී සිදුව ඇති බවද ඔහු පැවසීය. මේ කණ්ඩායම සහ ඔවුන් පැමිණි වාහන සී.සී.ටී.වී දර්ශන මඟින් හඳුනාගෙන ඇති බවද විද්‍යාරත්න සඳහන් කළේය. මේ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ පිළිබඳ සංචාරය සඳහා එක්ව සිටි වනජීවි ස්වේච්ඡා මාර්ගෝපදේශකයකු යාල පලටුපාන වනජීවි නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව වාහන දෙකකින් එහි පැමිණි වනජීවි නිලධාරීන් අදාළ කණ්ඩායම හරවා යැවීමට පියවර ගෙන ඇති බවද මනෝජ් විද්‍යාරත්න එහිදී සඳහන් කළේය.

යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වන සතුනට හිංසා වන පරිදි නීති විරෝධීව හැසිරුණු බව කියන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඊට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා ඉන් අනතුරුව වනජීවි දෙපාර්තමේන්තුවට නියෝග කළේය. මේ සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ වාහනවල අංක සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඒ ගැන විමර්ශන කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මේ අතර වනජීවී නිලධාරීන් කරන විමර්ශනයේදී සිද්ධියට අදාළ පුද්ගලයන් 9 දෙනෙකු වාහන සමඟ වනජීවි නිලධාරීන්ට භාර වීමෙන් අනතුරුව ඔවුන් 26 වැනිදා තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කෙරිණි. අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප මත මුදාහැරිමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා නියෝග කෙළේය. සැකකාර පුද්ගලයන් ධාවනය කළ ජීප් රථ 07ක් අධිකරණ භාරයට ගැනිණි.

පලටුපාන යාල ජාතික වනෝද්‍යාන මූලස්ථානයට ගොස් සිද්ධිය ගැන ප්‍රකාශයක් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා චූදිතයන්ට නියම කළේය.

වරුණගම බටහලේ යාය තිස්සමහාරාම ලිපිනයේ පදිංචි මුණසිංහගේ ධනුෂ්ක ප්‍රසාද්, කුඩාගම්මාන 09 රන්මිණි තැන්න තිස්සමහාරාම ලිපිනයේ පදිංචි රංචාගොඩ ගම්මාචාරිගේ සුදේෂ් චතුරංග, පොල්ගොල්ලවත්ත පොල්ගොල්ල පදිංචි හස්මිඩීන් මොහොමඩ් සාෆික්, වෙන්නවත්ත වැල්ලම්පිටිය පදිංචි මොහොමඩ් ගවුස් මොහොමඩ් සුවේර්, අලුත් පාර වැල්ලවාය පදිංචි සරත් නායකලාගේ චාමික බුද්ධික චතුරංග, නිශ්ශංක මාවත වැහැර කුරුණෑගල පදිංචි අබ්දුල් රෂීක් රකිබ් මොහොමඩ්, පල්ලෙබොකලවෙල අඹතැන්න පදිංචි පුවක්ගහ කුඹුරේ ගෙදර සුනාල් අංජුල කුලතුංග, මරගහමුල්ල හෙරෙම්බුව මූණමල්දෙණිය පදිංචි රත්නායක මුදියන්සේලාගේ සමිත් සචින්ත රත්නායක සහ කට්ටිගොඩැල්ල නුගේවත්ත වස්කඩුව පදිංචි දූරගත් මහවිදානෙලාගේ මයුර ලක්ෂාන් ෆොන්සේකා සේනාරත්න යන අය මෙසේ ඇප මත මුදා හැරිණි.

මේ සිද්ධියට අදාළව වනජීවි නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරණ ලද UPC BI 4779, WPJY 3902, CAS 7494 , CPP 1124, 31- 5495, NWCAO 1886, CPKI 3907 යන වාහන සහ ඊට අදාළ යතුරු අධිකරණ භාරයට ගැනීන. මේ පිරිස වනෝද්‍යානයේ නීති විරෝධීව හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පළවන වීඩියෝ සැබෑ එකක්ද නැත්නම් එය සංස්කරණය කරන ලද්දක්ද යන්න සොයා බලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් සහකාර වනජීවී අධ්‍යක්ෂ ඒ.ඒ.ඩී.යූ. ඉන්ද්‍රජිත් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින්ද සඳහන් කළේ අදාළ සැකකරුවන් 09 දෙනා වාහන 07ක් ද සමඟ වනජීවී නිලධාරීන්ට 25 වැනිදා භාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි.

ලෝකයේ කුඩාම වනෝද්‍යානයකදී වැඩිම දිවියන් සංඛ්‍යාවක් දැකිය හැකි එකම වනෝද්‍යානය මෙය බව පෙන්වා දුන් සහකාර අධ්‍යක්ෂවරයා මුවන්, ගෝනුන්, දිවියන්, වලසුන්, උරග ජීවින් මෙන්ම කුරුල්ලන්ද නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් රැසක් යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන බවද පෙන්වා දුන්නේය. යාල වනෝද්‍යානයේ සංචාරය කිරීම සඳහා පුද්ගලයන් 80 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජීප් රථ 35 කින් ඉකුත් සෙනසුරාදා පැමිණ ඇති බව අධිකරණයට දැනුම් දුන් වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ඔවුන් සමඟ සංචාරක මඟ පෙන්වන්නන් 05 දෙනෙකු එක්ව ඇති බවයි.

මේ පිරිස අදාළ මඟ පෙන්වන්නන්ගේ උපදෙස් පවා පිළිනොගෙන නීති විරෝධී ලෙස වනෝද්‍යානයේ හැසිරී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඒ වන විට උද්‍යාන භාරකරු වශයෙන් කටයුතු කළ ජී.ඩබ්ලිව්. එල් ප්‍රේමලාල් යන නිලධරයාද අදාළ නිලධාරින් ඒ සම්බන්ධව දැනුම්වත් කර අති බවද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් 09 දෙනාට ඇප නියම කරමින් නඩුව දෙසැම්බර් 09 දක්වා කල් තැබීය.

යාල සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර දඬුවම් ලැබිය යුතු පාර්ශ­්වවලට දඬුවම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ආරක්ෂක අංශවලට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන 26 වැනිදා සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය. නොමනා හැසිරීම නිසා අද යාල වනෝද්‍යානයේ ස්වේච්චා සංචාරක මඟපෙන්වන්නන් ලෙස කටයුතු කළ 07 දෙනෙකුගේ වැඩ තහනමට ලක්ව තිබේ. යාල සිද්ධිය ගැන පරිසර සංවිධානවලද අවධානය යොමු වී තිබේ.

නුවන් ජයසේකර, සූරියවැව සමූහ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 300ක ගැහිල්ලකට සීඅයිඩීයෙන් හොයන පුලතිසිපුර සහන්.....!!!

Fri Nov 4 , 2022
ප්‍රියමාලි වගේම සහන් හැංගුණේ කාකි සූට් අස්සේමද? – පොලිස් ලොක්කන්, චිත්‍රපට, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන්, නිෂ්පාදකවරුන් කලාකරුවන් වෙනුවෙන් සුපිරි ප්‍රිය සාද – ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක සභාපතිවරයා, අධ්‍යක්‍ෂවරයා ලෙස පෙනී සිටිමින් සිදු කළ මහා පරිමාණ වංචාවක් – ආකර්ෂණීය පොලියක් ලබා දෙමින් ගනුදෙනුකරුවන් මුළා කරලා – පැරණි සී 90 යතුරු පැදියක් වෙනුවට පියාට බෙන්ස් මෝටර් රථයක් – සමාජ සත්කාරවලටත් අත දිග හැර වියදම් කරලා… මහා පරිමාණ මුදල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x