කෝටි 300ක ගැහිල්ලකට සීඅයිඩීයෙන් හොයන පුලතිසිපුර සහන්…..!!!

ප්‍රියමාලි වගේම සහන් හැංගුණේ කාකි සූට් අස්සේමද?

– පොලිස් ලොක්කන්, චිත්‍රපට, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන්, නිෂ්පාදකවරුන් කලාකරුවන් වෙනුවෙන් සුපිරි ප්‍රිය සාද
– ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක සභාපතිවරයා, අධ්‍යක්‍ෂවරයා ලෙස පෙනී සිටිමින් සිදු කළ මහා පරිමාණ වංචාවක්
– ආකර්ෂණීය පොලියක් ලබා දෙමින් ගනුදෙනුකරුවන් මුළා කරලා
– පැරණි සී 90 යතුරු පැදියක් වෙනුවට පියාට බෙන්ස් මෝටර් රථයක්
– සමාජ සත්කාරවලටත් අත දිග හැර වියදම් කරලා…

මහා පරිමාණ මුදල් වංචාවක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක ප්‍රධාන සිරස්තලය වූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව දින ගණනාවක සිට දිනෙන් දින පුවත් මවන චරිතයක් බවට පත්ව ඇත. ඇය තරමටම නොවූවද ඊට අඩු වැඩි වශයෙන් මුදල් වංචා කළා යැයි කියන කපටි ජාවාරම්කරුවන් ගැන ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය දිනවල වාර්තා වී තිබුණි.

මේ අන්දමට විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 300කට අධික මුදලක් වංචා කළ බවට අලුත්ම පුවතක් වාර්තා වූයේ පොළොන්නරුව නව නගරය ප්‍රදේශයෙනි.

මේ විසල් මුදල් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙන අතර, එයට සම්බන්ධ මහමොළකරු ලෙස අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින්නේ පොළොන්නරුව, පොත්ගුල් පෙදෙස, නව නගරය, අංක 42/5/ඒ යන ලිපිනයේ පදිංචි හෙට්ටිආරච්චිලාගේ සහන් අකලංක නමැති පුද්ගලයෙකි.

සහන් අකලංක කාලයක් තිස්සේ ඇතෑන්ස් නමින් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි සභාපතිවරයා, අධ්‍යක්‍ෂවරයා ලෙස පෙනී සිට ඇත්තේ ඔහුම බව ද පැවසේ.එහෙත් එම ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ කාර්යාලයක් හෝ කාර්ය මණ්ඩලයක් ඔහු පදිංචිව සිටි පොළොන්නරුව නව නගරයේ නොමැති බව අපට දැනගන්නට ලැබිණි. ඒ සියලු සබඳතා කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පවත්වා ගෙන යන්නට මේ පුද්ගලයා වග බලාගෙන ඇත.

එහෙත් ඇතෑන්ස් යනු ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් පමණක් නොව සිතූ පැතූ සම්පත් ලබාදෙන සුරබි දෙනක් බඳු මහා අනර්ඝ වස්තුවක් බවට සහන් අකලංක නමැත්තා විසින් පත් කරගෙන තිබූ බවට මේ වන විට කරුණු අනාවරණය වෙමින් තිබේ. එනම්, එය ඇදැහිය නොහැකි ප්‍රතිලාභ ලබා දෙන මූල්‍ය ආයතනයක් බවට ආරංචිය පැතිර යන්නට වැඩි කාලයක් ලැබී නැත. මේ මූල්‍ය ආයතනයේ මුදල් ආයෝජනය කරන ගනුදෙනුකරුවන්ට විශාල පොලි අනුපාතයක් ගෙවන බවට ඉහළම ප්‍රචාරයක් ලැබී ඇතැයි පැවසේ. ඒ අන්දමට විශාල පොලියක් ප්‍රතිලාභ ලෙස ගෙවීමට හැකියාව ඇත්තේ මෙය ජාත්‍යන්තර සබඳතා තිබෙන මූල්‍ය ආයතනයක් නිසා බව සහන් අකලංක තම ගනුදෙනුකරුවන්ගේ සිත් තුළ පැළපදියම් කර ඇති මූලික සංකල්පයකි. මේ නිසාම බොහෝ අය කිසිදු චකිතයකින් හෝ පැකිළීමකින් තොරව ඇතෑන්ස් හි තම මුදල් තැන්පත් කරන්නට පෙලඹී තිබේ. ඒ සමඟ ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරයට සල්ලි ගලා ඒමට පටන් ගැනීමත් සමඟ සිය ගණුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට සහන් අකලංක මුලින් කටයුතු කර ඇත. එනම් ආකර්ෂණීය පොලියක් සිය ප්‍රධාන ගනුදෙනුකරුවන්ට ලබා දීමෙනි. පසුව ඒ ලබා ගත් ප්‍රතිලාභ මුදල් ද තැන්පතු වශයෙන්ම නැවතත් එහි ආයෝජනය කරන්නට ඔවුහු තීරණය කර ඇත්තේ එක පයින්ම බව ද කියති.

කවුද? මේ සහන් අකලංක

සහන් අකලංක උපන්නේ 1995 වසරේදීය. ඒ දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙසිනි. සහන්ට බාල මල්ලිලා දෙදෙනෙකි. සහන්ගේ පියා හෙට්ටිආරච්චිලාගේ උදේනි නිරංජන බුවනෙකබාහුය.ගෘහිණියක වන මව අකුරුගොඩ මහගමගේ රූපිකා ක්‍රිෂාන්තිය. පියා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර මීට වසර කිහිපයකට පෙර විශ්‍රාම ලබා තිබේ. විශ්‍රාම යන අවදිය වන විට පොලිස් සැරයන් වරයකු ලෙස කටයුතු කර ඇති හෙතෙම ගාමිණි ෆොන්සේකා ආණ්ඩුකාර ධූරය දරද්දී ඔහුගේ ආරක්ෂක භටයකු ලෙස ද රාජකාරී කර ඇත. සහන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර ඉගෙනීමේ එතරම් දක්ෂයකු නොවන බව කියයි. එහෙත් ඔහු තොරතුරු තාක්ෂණ විෂයෙහි යම් යම් හැකියාවන් පෙන්වූ සිසුවකු බව අපට දැනගත හැකි විය.මොහු අ.පො.ස. උසස් පෙළ දක්වා ඉගෙනුම ලබා එතැනින් පාසල් අධ්‍යාපනය හමාර කර ඇත. පසුව පෞද්ගලික ආයතනයක් මඟින් පොළොන්නරුව නගරයේ පවත්වාගෙන ගිය තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉගැන්වීම් කරන ප්‍රකට ආයතනයක උපදේශක වරයකු ලෙස කටයුතු කර ඇත. ඇතෑන්ස් ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනය ආරම්භ කර ඇත්තේ එම රැකියාවට ආයුබෝවන් කීමෙන් පසුවය. ඇතෑන්ස් සල්ලි උල්පතක් බවට පත් වීමෙන් පසුව සහන් අකලංකගේ පමණක් නොව ඔවුන්ගේ මවුපියන් ඇතුළු පවුලේ සැමගේද ජීවන රටාව එහෙම පිටින්ම වෙනස් වූ බව පැවසේ. ඒ වන විට පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආපන ශාලාව පවත්වාගෙන ගොස් ඇත්තේ සහන්ගේ පියා විසිනි. ඒ සහන්ගේ අම්මාගේ ද සහාය ඇතිවය. සහන්ගේ අතට මිල මුදල් ගලාගෙන එනවිට මවුපියෝ ඔවුහු නිරතව සිටි පවුලේ ජීවන මාර්ගය නවතා දමා ඇත. ඒ වනවිට තාත්තා පාවිච්චි කර ඇත්තේ පරණ සී 90 වර්ගයේ කුඩා යතුරු පැදියකි. ඒ වෙනුවට සහන් තාත්තාට ගමන් බිමන් යෑමට බෙන්ස් මෝටර් රථයක් ලබා දී තිබූ බව අසල්වාසීහු අපට කීහ. ඔවුන් විසූ නිවෙසේ සිට මීටර් කීපයක් දුරින් පිහිටි කඩයකට හෝ කිලෝ මීටර් 03ක් පමණ දුරින් තිබෙන පොළොන්නරුව නගරයට යෑමට පවා සහන්ගේ තාත්තා යොදා ගත්තේ එම බෙන්ස් රිය බව ද ඔවුහු පැවසූහ. සහන් අකලංකගේ ව්‍යාපාරික කේන්ද්‍ර ස්ථානය කොළඹ වූ බැවින් ඔහුට වැඩි කාලයක් පොළොන්නරුවේ රැඳෙන්නට අවස්ථාව ලැබී නැත. ඉඳහිට සිය ගම් ප්‍රදේශයට ඔහු ආවේ විශේෂ කටයුත්තක් සඳහා පමණි.

ලොකු ලොක්කෝ ගජ මිතුරෝ

මේ රටේ ඇතැම් දේශපාලනඥයන් ඇතුළු සමාජයේ ඉහළ පැලැන්තියේ බොහෝ පිරිස් සහන් අකලංක සමඟ මිත්‍ර සමාගම පවත් වන්නට දැඩි උනන්දුවක් දැක්වූ අතර, එයට ඔහුගෙන් ද ලැබුණේ යහපත් ප්‍රතිචාරයකි.මේ නිසා රටේ බොහෝ ලොකු ලොක්කන් සහන්ගේ සමීප මිතුරන් බවට පත් වූහ. ඒ අතර උසස් පොලිස් නිලධාරින් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ද ඔහුගේ ගජ මිතුරන් බවට පත් විය. චිත්‍රපට, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන්, නිෂ්පාදකවරුන්, කලාකරුවන්, ඇතැම් රූපවාහිනී නාලිකාවල ප්‍රධානීන් සහ ජනමාධ්‍යවේදීහු ද මේ අතර වූහ. ඔවුන් සමඟ මිතුදම් ගොඩඟා ගැනීමෙන් පසුව පැවැති ප්‍රිය සාද සඳහා සහන් අත දිගහැර වියදම් කළේය. හෙතෙම තම ව්‍යාපාරයේ ප්‍රසිද්ධියට ද නොමසුරුව මුදල් වැය කළ අතර සමාජ සත්කාර ද ඒ අතර විය. පාසල් ළමුන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම, පාසැල් උපකරණ පරිත්‍යාගය ආදිය වෙනුවෙන් එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් දිගට හරහට සහන්ට ප්‍රචාරය ලබාදුණි. කොරෝනා උවදුර රටේ ඉතා තදින් පැවැති සමයේ පොලිස් දෙපාර්තමේන්තුවට අත් සේදුම් දියර, මුඛ ආවරණ ආදිය තොග ගණනින් පිරිනමන්නට සහන් ඉදිරිපත් විය. ඒවා ප්‍රදානය කරන උත්සව අවස්ථා සඳහා ප්‍රකට පොලිස් ප්‍රධානීන් ද සහභාගි වී සිටිනු අපි බොහෝ විට දැක ඇත්තෙමු. මේ අතර තමන් අධ්‍යාපනය ලැබූ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ යම් යම් අඩුපාඩු සපුරාලීමට ද සහන් අකලංක කටයුතු කර තිබුණි. විද්‍යාලයීය මාධ්‍ය ඒකකයට අලුතින් කැමරා දෙකක් මිලදී ගෙන පරිත්‍යාග කිරීමට හෙතෙම පියවරගෙන තිබූ අතර, තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්‍ෂ පණහක පමණ මුදලක් ලබා දී ඇති බව ද කියැවේ. 

පොළොන්නරුව නගරය විසල් සංවර්ධනයකට නතු වන්නේ 2015 අවුරුද්දෙන් පසුවය. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමයේදීය. ‘පිබිදෙමු පොළොන්නරුව’ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි ගණනක් ඒ සඳහා රජය මුදල් වෙන් කළ බව ප්‍රකට කාරණයක් වුවද සහන් අකලංක තම පෞද්ගලික ධනය යොදවා නගරයේ අලුතින් ඉදි කළ ඔර්ලෝසු කණුවේ විදුලි පහන් සවි කිරීමටත් මාර්ග අලංකරණය සඳහා මල් පැළ රෝපණය කිරීමට දැවැන්ත මල් පෝච්චි සපයා දීමටත් කටයුතු කළේය. මෙය ඔහු ප්‍රදේශයේ දේශපාලන නායකයන්ට වඩාත් සමීප වීම සඳහා භාවිත කළ එක් උපායක් විය හැකිය. සහන් පොළොන්නරුවේ දේශපාලනයට එතැයි කට කථාවක් ද පසුගිය කාලයේ පැතිරී ගියේ ආවාට ගියාට නොවිය හැකි බවද කියති.

කෙසේ නමුත් මේ අන්දමට කෙටි කාලයක් තුළ ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත්වූ අතර ඔහුගේ මිතුරන් සහ දන්නා හඳුනන උදවිය සහන් හැඳින් වූවේ සල්ලි මවන ඉන්ද්‍රජාලිකයකු ලෙසිනි.

මෙයට වසර දෙක තුනකට පෙර කාල සීමාවේ පවා රේන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක මිල රුපියල් කෝටි හයක් පමණ බව කියති. දැන් එහි මිල රුපියල් කෝටි 12ක් පමණ වෙතැයි දැනගන්නට ඇත. ඒ අවධියේ පොළොන්නරුවේ විසූ වෙනත් කෝටිපති ව්‍යාපාරිකයන් කිසිවකු හෝ එවැනි වර්ගයේ ජීප් රථයක හිමිකරුවකුව නොසිටි බව තතු දත්තෝ පවසති. මොහුට මේ තරම් මුදල් කන්දරාවක් ලැබෙන්නේ ඔහුගේ ජාත්‍යන්තර පාසැල නිසා වන්නට ඇති බව බොහෝ දෙනා විශ්වාසය විය.

මේ නිසාම පොළොන්නරුවේ වෙසෙන ඇතැම් ව්‍යාපාරික ප්‍රජාව සහ රාජ්‍ය නිලධාරිහු ද සහන්ගේ ව්‍යාජ බැංකුවේ විශාල ප්‍රමාණයෙන් මුදල් තැන්පත් කර ඇති බව අනාවරණය වී තිබේ. ඇතැම් විට කුඩු ජාවාරමුන් හෝ අයථා අන්දමින් මුදල් උපයන පිරිස් ද මෙලෙස කෝටි ගණනින් මුදල් තැන්පත් කළ අය අතර සිටින්නට හැකි බවට සැක පහල වේ. කෙසේ නමුත් විශේෂත්වය වන්නේ මෙම ජාවාරම්කරු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි කරුවකු වුවද පොළොන්නරුවේ කිසිම පොලිස් ස්ථානයකට හෝ පොලිස් අධිකාරි කාර්යාලයට සම්බන්ධ වංචා විමර්ශන ඒකකයකට මොහුට විරුද්ධව මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති වීමට හේතුව මොහුගේ ගජ මිතුරන් අතර පොලීසියේ ලොකු ලොක්කන් ද සිටීම විය හැකිය.

සහන්ගේ ගිණුම්වලට ඩොලර් ගලා ආවේ කොහෙන්ද?

සහන් අකලංකගේ සල්ලි ජාවාරමට මහ බැංකුවේ උකුසු ඇස යොමු වන්නේ ඔහුගේ බැංකු ගිණුම්වලට නොකඩවා ඩොලර් ගලා එන්නට පටන් ගැනීමත් සමඟය. එලෙස ඩොලර් ලැබෙන ආකාරය පිළිබඳ නිරවුල්ව පැහැදිලි කරන්නට හෙතෙම අසමත්වී ඇති බව ද දැනගන්නට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 42 වගන්තිය යටතේ සිදු කරන ලද විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ මහ බැංකුවේ අනුමැතියකින් තොරව අනවසරයෙන් මහ ජනතාවගේ මුදල් තැන්පතු බාර ගෙන ඇති බවකි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අදාළ සමාගමට සහ පුද්ගලයාට තවදුරටත් අවබෝධතා ගිවිසුම් පත්‍රිකා නිකුත් කිරීම හරහා හෝ වෙනත් කිසිදු ආකාරයකින් තැන්පතු බාර ගැනීම සහ මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යාම නොකරන ලෙසට විධානය කර ඇත.

ඉහතින් සඳහන් කරන ලද සමාගමට සහ පුද්ගලයාට කිසිදු ආකාරයකින් තැන්පතු හෝ මුදල් ලබා ගැනීම,ණය ලබාදීම, නව ආයෝජනයන් සිදු කිරීම, වත්කම් විකිණීම හෝ පැවැරීම, යම් ගිණුමකට, දේපළකට ආයෝජනයකට අදාළව සියලු ගනුදෙනු තහනම් කරමින් එවැනි කටයුතු ක්‍රියාත්මක කිරීමේ නියෝග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත.ශ්‍රී ලංකා මහ බැංකුව මෙම නියෝග නිකුත් කරනු ලබන්නේ එම ආයතනයේ බැංකු නොවන මූල්‍ය ආයතන විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශන වාර්තා පදනම් කරගෙනය.

දැනට ලැබී ඇති තොරතුරුවලින් අනාවරණය වන්නේ සහන් අකලංක නැමැති මේ පුද්ගලයා පිරමීඩ ජාවාරමක මුවාවෙන් මෙම අනවසර මූල්‍ය ආයතනයට මුදල් රැස් කර තිබෙන බවයි. මෙසේ එක්රැස් කර ගෙන ඇති මුදල රුපියල් කෝටි 300ක් පමණ වන බව ද කියැවේ. කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන එක්තරා හිමිනමක් රුපියල් කෝටි 06ක් අධික පොලියක් උපයාගැනීමේ බලාපොරොත්තුවෙන් මෙහි තැන්පත් කර ඇති බව කියති. එසේ තැන්පත් කරනු ලබන මුදල් සඳහා සියයට 60 අනුපාතයේ පටන් සියයට 90 දක්වා පොළියක් ගෙවන බවට ගනුදෙනුකරුවන් මුළා කර තැන්පතු ලබාගෙන ඇතත් එවැනි පොළියක් හෝ ඔවුන්ගෙන් ලබා ගත් මුදල් ආපසු ලබාදීමක් සිදු කර නොමැත. එසේ මුදල් නොගෙවීම නිසා මේ පුද්ගලයාට විරුද්ධව ගනුදෙනුකරුවන් විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. ඒ පැමිණිලිවලට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්‍ෂණ ආරම්භ කර ඇත. කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට අවස්ථා ගණනාවක් පොළොන්නරුවට ද පැමිණ ඇත. එහෙත් සහන් අකලංක හෝ ඔහුගේ මවුපියන් ඇතුළු පවුලේ සියලුම දෙනා දැනට වසර දෙකකට වැඩි කාලයක පටන් පොළොන්නරුවේ නොමැති බව එම නිලධාරීන්ට දැන ගැනීමට ලැබී ඇත. සහන් අකලංකගේ මවුපියන්ගේ ඥාතීන් ඔවුන්ට පවසා ඇත්තේ අකලංකගේ පියා වකුගඩු රෝගියකු බවත් එම රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහුට වකුගඩු බද්ධ කිරීමට දැනට අවුරුදු දෙකකට පමණ පෙර කොළඹ ගොස් නැවත මෙහි නොපැමිණි බවය. මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීම්වලදී ද අනාවරණය වූයේ එම තොරතුර සැබෑවක් බවය.

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට යැයි කියමන සත්‍යයක් කරමින් සහන් අකලංකගේ බොහෝ ජාවාරම් ගැනත් ඒවාට උඩ ගෙඩි දුන් බොහෝ පිරිස් ගැනත් දැන් තොරතුරු ලැබෙමින් පවතී. තිලිණි පියුමාලිගේ මුදල් වංචාවට හසු වූ කොළඹ හතේ කෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන් පමණක් නොව භික්ෂූන් වහන්සේලා ද ගැන ද දැන් අනාවරණය වෙමින් තිබේ. එසේ වුවද මේ පිටිසර පොළොන්නරුවේ නාඹර කොලු ගැටයා පෙර කී ආකාරයෙන් සමාජයේ විවිධ තරාතිරමේ බලවතුන් නොව ඉන් ඔබ්බට ගිය පිරිස් ද දැලේ දමාගෙන ඇති බව පෙනී යයි. එය කර ඇත්තේ අමුතු මායා බලයකින් නොව සල්ලි උඩ හිටි පිනුම් ගැසීමේ අපූරු විජ්ජාවෙනි. තවත් විදිහකින් කිවහොත් අත දිග හැර සල්ලි වීසි කිරීමෙනි. මෙම ජාවාරම්කරුගේ මුදල් වංචාවේ බොහෝ තොරතුරු අනාවරණය වෙමින් පැවතියද අත්අඩංගුවට පත් නොවී සැඟවී සිටින්නට තවදුරටත් ඔහුට අනුබල ලැබී ඇත්තේ ඒ මුදල් බලය නිසාමද යන්න සැකයකි. ඒ අනුව බලන විට මේ පුද්ගලයා ඇතැම්විට තිළිණි ප්‍රියමාලිටත් වඩා බලගතු චරිතයක් විය හැකි බව ද බොහෝ දෙනාගේ අදහසයි.

ප්‍රදේශවාසීන් සහ අසල්වැසියන් පවසන අන්දමට සහන් අකලංක හෝ ඔහුගේ මවුපියන් වසර දෙකකින් පමණ පොළොන්නරුවට පැමිණි නැතත් ඔහුගේ වංචනික මුදල් ජාවාරමට හසුව මේ වන විට යන එන මං නැතිව සිටින බොහෝ පිරිස් ඔහු සොයා පොළොන්නරුවට පැමිණෙන බව අපට ද දැනගන්නට ලැබුණි.

පිරමීඩ ජාවාරම් හෝ එවැනි වෙනත් නීති විරෝධී ව්‍යාපාර පවත්වා ගෙන වංචනිකයන්ට හසු නොවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට නොයෙක් විට අවවාද කරයි. එහෙත් එය තුට්ටුවකට නොසලකා තමන් සතු මුදල් ගොඩ තර කරගන්නට ඇතැම් පිරිස් තවදුරටත් නීති විරෝධී අයථා ක්‍රම භාවිත කරන බව නොරහසකි. එවැනි බොහෝ දෙනකුට අත්වන සුපුරුදු ඉරණම සහන් අකලංකගේ ගනුදෙනුකරුවන්ට ද දැන් අත්වී ඇත. ඔවුනට දැන් ඉතිරිව ඇත්තේ සුසුම සහ කඳුළ පමණි.

කරුණාරත්න ගමගේ – පොලොන්නරුව

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජපානයේ හදිසියේ මියගිය විශ්මාගේ මරණය තවමත් මහත් අභිරහසක්....

Fri Nov 4 , 2022
ජපන් ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත ගම්පහ ඉඹුල්ගොඩ පදිංචි 33 හැවිරිදි ශ්‍රී ලාංකේය තරුණියක් වූ විශ්මා සඳමාලි රත්නායක 2017 වසරේදී ජපානයට ගියද ඇයගේ වීසා කාලය ඉක්මවා එරට රැඳී සිටීම හේතුවෙන් 2021 මාර්තු 6 වැනිදා ඉතා අවාසනාවන්ත ලෙස ජපානයේ නගෝයා හි සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට කොටුව අනතුරුව ඇය මෙලොවින්ද සමුගත්තේ දෙරටේ මානව සුහදත්වයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x