ඉංග්‍රීසි උගන්වන ලංකාවේ දුයි­ෂෙන් . . .

ඔබ කියවූ පොත් අතු­රින් එක් වර­කට වඩා කියැවූ පොත් තිබේ­දැයි හෝ ඒ පොත්වලින් සිතේ ගැඹු­රුම තැනට තදින් කාවැදී ඇති පොතක් වේදැයි විම­සුව හොත් ඒ ගුරු ගීත­ය­ යැයි නිසැ­ක­යෙන්ම ඔබ පව­සනු ඇත. එහි ඇති චරිත අතු­රින් දුයි­ෂෙන් ගුරු­තුමා අපට කිසිදා අම­තක නොවෙයි. අප නිතර දකින දහස් ගණන් ගස් අතර දුයි­ෂෙන් ගුරු­තුමා ඔහුගේ පාසල අසල සිටවූ පොප්ලර් ගස් දෙක සහ කිර්ගී­සි­යානු කඳු­ක­රයේ ස්ටෙප්ස් තණ­බිම් ආශ්‍රිත දුෂ්කර ගම්මා­නය ඔබගේ සංකල්ප රූප අත­රින් කිසිදා මැකී නොයනු ඇත. අයි­ලයේ දරු­වන්ට අකුරු කියා­දෙන දුයි­ෂෙන් ඔහුගේ තාරුණ්‍යය දිය­කර හරින්නේ ඒ ගමේ දරු­වන්ගේ අධ්‍යා­ප­නය වෙනු­වෙනි.

ඒ අත­රින් දුයි­ෂෙන්ට හද­ව­තින් ආද­රය කළ එක් ධෛර්ය සම්පන්න දැරි­යක් වන අල්තී­නායි ජීවි­තයේ විවිධ දුක් ගැහැට මැද සර­සවි මහා­චා­ර්ය­ව­රි­යක් වීම දක්වා ගුරු ගීතය දිග හැරෙයි. අපට ඒ දුයිෂෙන්ගේ කිර්ගි­ස්ථාන් කඳු­ක­රයේ අයි­ලය කිසිදා අම­තක නොවනු ඇත. චිංගීස් අයි­ත්මා­තෙව් කතු­ව­ර­යාගේ ගුරු ගීතයේ දුයි­ෂෙන්ට සම ගුරු­වරු ද ඔහු ජීවත් වූ කිර්ගි­ස්ථාන් කඳු­ක­රයේ අයි­ලය දුෂ්කර ගම්මානවලද එවැනි ගුරු­වරු ද ජීවත් වෙති. ඒ ගම වූ කලී සම­හර විට දුයි­ෂෙන්ගේ අයි­ල­ය­ටත් වඩා දුෂ්කර ගමක් විය හැකිය.

දුවා දරු­වන්ගේ හෙට දවස වෙනු­වෙන් ඔහු දුයි­ෂෙන් මෙන් අකුරු කියා දුන්නේය. රටේ දරු­වන් වෙනු­වෙන් කැප කිරීම් කළේය. මේ ගුරු­ව­රයා අපට මුණ ගැසෙන්නේ රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ බළන්­ගොඩ අධ්‍යා­පන කලා­ප­යට අයත් වැලි­ගෙ­පොළ අධ්‍යා­පන කොට්ඨා­සයේ පොල්ල­මුරේ නම් දුෂ්කර ගම්මා­න­යෙනි. කඳු­ප­ල්ලම් බසි­මින් ගල් පර­වල හැපෙ­මින් දරු­වන්ට ඉංග්‍රී­සි­යෙන් අකුරු කර­න්නට මේ ගුරු­තුමා එන්නේ පාපැ­දි­යෙනි. ඔහු මේ අකුරු කියා­දුන් දරු­ව­කු­ගෙන් අනා­ග­තයේ සිනා­ව­ක්වත් බලා­පො­රොත්තු නොවන බව පව­සයි. ඔහු කොත­රම් අග­හි­ඟ­කම් මධ්‍යයෙ මේ දුෂ්කර කාර්ය ඉටු කළත් කිසිදු දරු­ව­කු­ගෙන් අකුරු විකුණා මුදල් ගත්තේ නැත.

මේ අපූර්ව පන්තිය පව­ත්වන්නේ පොල්ල­මුරේ ගරා­ජ­යක් තුළය. එහෙත් මේ පන්තිය ආරම්භ වන්නේ පාන්දර 5ටය. මේ පන්තිය මුලින්ම ආරම්භ කළේ 2017 වසරේ පොල්ල මුරේ විර­සේ­කර විද්‍යා­ලයේ ය. එකල දරු­වන් රැගෙන ගමේ මවුපියෝ හිමි­දි­රියේ පොල්ල­මුරේ වීර­සේ­කර විද්‍යා­ලයට පැමි­ණෙති. පාසලේ මේ පැවැත්වූ පන්තිය ටික කල­කට පෙර නැවැ­තිණි. ගිය වසරේ අප්‍රි­යෙල් වලින් පසුව ඔවුන් අකුරු කරන්නේ පාසල ආස­න්නයේ ඇති ගරා­ජ­ය­කය. පාන්දර පහට ආරම්භ වන මේ ඉංග්‍රීසි පන්තිය පොල්ල­මුරේ වීර­සේ­කර විද්‍යා­ලයේ 2017 වස­රේදී මුල්ව­රට ආරම්භ කරන ලද්දේ ගොඩ­වත්ත ලිය­නගේ වීර­රත්න නම් වන එවක පාසලේ ඉංග්‍රීසි විෂය භාර ගුරු­තු­මාය. ඔහු එහි පැමි­ණෙන විට පාසලේ සිසුන් 100කට ආසන්න සංඛ්‍යා­වක් අකුරු කරන ලදී.

මේ ඉංග්‍රිසි පන්ති­යට පාසලේ අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩ­ලයේ සේවය කරන යු. එම්. එන්. අජන්ත උඳුගොඩ ද ඉගැ­න්වීමේ කාර්ය­යට සහ­භාගි කරවා ගන්නා ලද්දේ වීර­රත්න නම් වන ගුරු­ව­රයා විසිනි. වීර­රත්න ගුරු­තු­මාගේ විශ්‍රාම යෑමත් සමඟ එම කාර්යය සම්පූ­ර්ණ­යෙන්ම පැවැ­රුණේ අජ­න්ත­ටය. ඔහු විශ්‍රාම යාමෙන් මාස හයක් පමණ ඉංග්‍රීසි පන්තිය පාසලේ පැවැ­ත්විණි.

මේ ඉංග්‍රීසි පන්තියේ දරු­වන්ගේ මුල්කා­ලී­නව ප්‍රග­ති­යක් නොමැති වුවත් පසු­කා­ලී­නව ඉතා ඉහළ ප්‍රග­ති­යත් අත් පත් කර­ගන්නා ලදී. එයට මේ වීර­රත්න ගුරු­තුමා සහ අජන්ත නොයෙක් උපාය උප­ක්‍රම යෙදු­වෝය. නොයෙක් අත්හදා බැලීම් කළෝය. එසේම වෙනත් ගුරු­ව­රුන්ගේ සාර්ථක ක්‍රම­වේ­ද­යන් මොවුහු හදාරා නිර්ලෝ­භීව දරු­වන්ට කියා දුන්හ. ජී. එල්. විර­රත්න ගුරු­තු­මාගේ විශ්‍රාම යෑමත් සමඟ වීර­සේ­කර විද්‍යා­ලයේ පැවැත් වූ උදෑ­සන ඉංග්‍රීසි පන්ති­යට පාසලේ ඉඩ ඇහිරි ගිය ද අජන්ත ඒ උත්සා­හය අත් හැරියේ නැත. ඒ සද්කාර්ය සඳහා පාසල ආස­න්නයේ ගරා­ජ­යක ඉඩ ලබා­දී­මට ගමේ දරු­වකුගේ පියකු ඉදි­රි­පත් විය. එහි පන්තිය පවත්වා ගෙන යාමට අජ­න්ත කට­යුතු කළේය.

පාසල් ආරම්භ කරන්නේ උදෑ­සන හතයි තිහට වුවත් අලු­යම පහට මේ ඉංග්‍රීසි පන්තිය පව­ත්ව­න්නේය.

දුවා ­ද­රු­වන්ගේ ඉංග්‍රීසි කථන හැකි­යාව වැඩි දියුණු කිරීම මෙහි ප්‍රධාන අර­මුණ බව ඔවුන්ගේ අද­හ­සයි.

“මේ පාසලේ එක වසරේ සිට එකො­ළහ වසර දක්වා පන්ති පැවැ­ත්වෙ­නවා. ඉංග්‍රීසි විෂය භාර ගුරු­ව­රයා වීර­රත්න තමයි මේ පන්තිය මුලින්ම පාන්දර 4.00ට ආරම්භ කළේ. විදු­හ­ල්ප­ති­ව­ර­යා­ගෙන් අව­සර අර­ගෙන දරු­වන්ගේ ඉංග්‍රීසි කථන හැකි­යාව වර්ධ­නය කිරී­මට අති‍රේක වේලා­ව­කදී පන්ති­යක් පැවැ­ත්විය යුතු යැයි කියලා තමයි මුලින්ම මේ පන්තිය ආරම්භ කරන්න අද­හස් කළේ. මෙම කට­යුත්ත සඳහා දාය­ක­ත්ව­යක් දෙන්න කියලා වීර­රත්ත ගුරු­තුමා මට කිවුවා. මම හරි සතු­ටින් ඒක කළා යැයි යූ. එම්. නිහාල් අජන්ත උඳු­ගොඩ ඔහුගේ කතාව ආරම්භ කරයි.

“මේ පොල්ල­මුරේ වීර­සේ­කර විද්‍යා­ලය අති දුෂ්කර පාස­ලක්. රත්ත­න­පුර දිස්ත්‍රි­ක්ක­යේ කිලෝ­මී­ටර් 60ක් දුරින් මේ ගම පිහිටා ඇත. එසේම බළ­න්ගොඩ නග­රයේ සිට කිලෝ මීට‍ර් විසි­ප­හක් පමණ දුරින් තමයි පොල්ල­මුරේ පාසල පිහිටා තියෙන්නේ. මේ පාස­ලට පැමි­ණෙන ගමේ බොහො­ම­යක් දරු­වන්ගේ මවු­පියෝ එදා වේල යාන්තම් පිරි­මසා ගන්නෙත් හරි අසී­රු­වෙන්. “සල්ලි තියෙන අය නග­රයේ පාස­ල්ව­ලට යනවා, බාහිර පන්ති­ව­ලට යව­නවා. දිළිඳු පවු­ල්වල දරුවෝ මේ විද්‍යා­ලයේ වැඩි­පුර ඉන්නේ. මම දුප්පත් ගොවි පවු­ලක දරු­වෙක්, මට මේ දරු­වන්ගේ දුක හොඳට දැනෙ­නවා. අපිට ඉගෙන ගන්න ආස වුණත් අඟ­හි­ඟ­කම් නිසා ඉගෙ­නීම අත­ර­මැද නතර කරන්න වුණා. මේ කට­යුත්ත සඳහා අප දරු­ව­න්ගෙන් කිසිදු මුද­ලක් අය නොකර මොන බාධක ආවත් මේ අයගේ පන්තිය නතර නොක­රන්නේ ඒ නිසයි. ඒ නිසා මේ අහිං­සක දරු­වන් වෙනු­වෙන් ඉංග්‍රීසි කථන හැකි­යාව ව‍ර්ධනය කරන්න මට අවශ්‍ය වුණා. හය වසරේ සිට එකො­ළහ වසර දක්වා දරු­වන්ට මෙහි උග­න්ව­නවා. මම මුල් කාලයේ එක වසරේ සිට පහ වසර දක්වා දරු­වන්ට ඉගැ­න්නුවේ; මම උදෑ­සන හත­රට අවදි වෙලා මගේ යතු­රු­පැ­දි­යෙන් මේ ගරා­ජ­යට ඇවිත් මේ පන්තිය ආරම්භ කර­නවා. මුලින්ම ශාරී­රික අභ්‍යා­ස­ය­කුත් කර­නවා. මේ සඳහා මවු­පි­යන් විශාල දාය­ක­ත්ව­යක් දක්ව­නවා. සතියේ දින පහේම පන්ති පැවැ­ත්වෙ­නවා. දරු­වන්ට අවශ්‍ය උදෑ­සන ආහාර මවු­පි­යන් ‍‍රැගෙන එනවා”.

“මේ දරු­වන්ට දැන් ඉතා­මත්ම හොඳට ඉංග්‍රීසි කථා කරන්න පුළු­වන්. උඩ­ව­ලව, දඹුල්ල, සීගි­රිය, පොලො­න්න­රුව වැනි ප්‍රදේ­ශ­ව­ලට ගිහින් විදේ­ශි­ක­යන් සමඟ චතුර ලෙස ඉංග්‍රීසි භාෂා­වෙන් කතා කරන්න දැන් අපේ දරු­වන්ට පුළු­වන්. දැන් අපේ දරු­වන්ට විදේ­ශීය මිතු­රන් විශාල ප්‍රමා­ණ­යක් සිටි­නවා. ඒ වගේම බළ­න්ගොඩ කලා­පයේ ඉංග්‍රීසි භාෂා­වෙන් ප්‍රථම ස්ථානය හිමි කර­ගත් දරුවෝ ඉන්නවා. පළාත් මට්ට­මින් ජාතික මට්ට­මින් ජය­ග්‍ර­හණ හිමි­කර ගත් දරු­වොත් ඉන්නවා. පාස­ල­කට ගිහින් ඉංග්‍රීසි භාෂා­වෙන් විවාද කරන්න මේ දරු­වන්ට හැකි­යාව තියෙ­නවා.”

වීර­රත්න ගුරු­තුමා විශ්‍රාම ගත් පසු පන්තියේ සියලු බර පැට­වුණේ අජන්ත මතය. දරු­වන්ගේ අනා­ග­තය ඔවුන්ගේ ඉල­ක්ක­යන් අත්පත් කර ගැනී­මට නම් මේ ගෝලීය ලෝක­යට විවෘත විය යුතුයි. රටක් ලෙස අපි ඉදි­රි­යට යෑමට ඉංග්‍රීසි භාෂාව අව­ශ්‍ය­යයි යන හැඟීම ඔහු තුළ විය. සතියේ දිනෙක, සති අන්තයේ දිනෙක ලැබෙන විරා­ම­යක් පවා ඔහු පිට­ස්තර දරු­වන් වෙනු­වෙන් කැප කරයි. ඒ සියල්ල පිට­ස්තර දරු­වන් වෙනු­වෙන් කරන ඔහුගේ වැඩි­ම­හල් පුතු විශේෂ අව­ශ්‍යතා ඇති දරු­වෙකි. ඔහු ඒ දරු­වගේ සියලු කාර්යය වෙනු­වෙන් කැප වෙයි. ඒ ඉසි­ඹු­වක් ලද හැම මොහො­ත­කම ඔහු ඉංග්‍රීසි පන්තියේ ඉදි­රිය පිළි­බඳව නොයෙක් සැල­සුම් සකස් කරයි. සෑම මිනි­ත්තු­වක්ම නිර­ර්ථක ලෙස ගත නොක­රන අජන්ත ගමේ දරු­වන්ගේ නැණස පෑදී­මට කට­යුතු කරයි.

ජීව විද්‍යා අංශ­යෙන් උසස් පෙළ හැදෑරු අජන්ත බළ­න්ගොඩ, පොල්ල­මුර, වීර­සේ­කර විද්‍යා­ලයේ අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩ­ලයේ 111 වැනි ශ්‍රේණියේ සේව­ක­යෙක් ව කට­යුතු කළේය. එහෙත් ඔහු මේ වන­විට රාජ්‍ය සේව­යෙන් ඉවත් ව ඇත. වීර­සේ­කර විද්‍යා­ලය ආස­න්නයේ ජීවත් වන අජ­න්තට බොහෝ දුර­බැ­හැ­රට යාම අසී­රුය. වයස අවු­රුදු 17ක් වන ඔහුගේ වැඩි­ම­හල් පුතු ගේ සියලු කට­යුතු සිදු කෙරෙන්නේ ඔහු අතිනි. රැකි­යා­වෙන් ඉව­ත්වී­මට හේතු වූයේ ඔහුට ලැබුණ ස්ථාන මාරු­වයි. ඔහුට නිවෙසේ සිට දුර බැහැර යෑම දුෂ්කර කාර්ය­යකි.

අජන්ත ජීව ­විද්‍යා අංශ­යෙන් උසස් පෙළ සම්මාන සාමාර්ථ තුනක් ද සාමාන්‍ය සාමා­ර්ථ­යක් ද ලබා ගනි­මින් සමත් වුවත් ඔහු අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුවේ අන­ධ්‍ය­යන සේව­යට බැඳුණේය. ඒ පවුලේ ආර්ථික දුෂ්ක­රතා නිසා­වෙනි. එහෙත් අධ්‍යා­ප­න­යට ඔහු දක්ෂ­යෙකි. ඉගෙන ගැනීමේ දැඩි අව­ශ්‍ය­තාව ඔහුට තිබිණි. ලැබෙන හැම මොහො­ත­කම ඔහු අදත් යමක් උග­ත්තේය.

“මට වීර­රත්න ගුරු­තුමා කිවුවාම උග­න්වන්න එන්න කියලා හරි සතුටු වුණා. මම ඉ‍ෙගන ගෙන ඇවිත් දරු­වන්ට ඉගැ­න්නුවා. මම දන්නවා අධ්‍යා­ප­නයේ අගය. ඒව­ගේම අපිට මඟ හැරුණු තැන්. වීර­රත්න මහ­ත්ත­යයි මමයි ගත්ත උත්සා­හ­යට ඒ තරම් ප්‍රති­ඵල මුල් දව­ස්වල තිබුණේ නැහැ. අපි ක්‍රම­වේ­ද­යන් වෙනස් කර­මින් ඉදි­රි­යට ගියා. නමුත් මුල් කා­ලයේ දරුවෝ ඒ තරම් උනන්දු වුණේ නැහැ. ඉන්ප­සුව අපි, අපි වගේම ඉංග්‍රීසි භාෂාව උග­න්වන කුරු­ණෑ­ගල විල්බට් රණ­සිංහ ගුරු­ව­ර­යා­ගෙන් ඉංග්‍රීසි ප්‍රායෝ­ගික භාවි­තාවේ යෙද­වීම පිළි­බඳ කෙටි පුහු­ණු­වක් ලබා ගත්තා. ඒ සඳහා මම හැම­දාම කිලෝ­මි­ටර් 158ක් ගෙවා ගෙන විල්බට් සර්ගේ ඉංග්‍රීසි පන්ති­යට සති අන්තයේ ගියා. ගිහින් ඒ ඉගෙන ගන්න ටික හැම­දාම වීර­සේ­කර විද්‍යා­ලයේ දරු­වන්ට ඉගැ­න්නුවා. ඒ කාලයේ වෙද්දි අපේ පන්තිය පාන්දර 5.00 සිට 7.30 දක්වා කාලය වෙන් කර­ගෙන තිබුණේ. අදාළ බල­ධා­රීන්ගේ අව­ස­ර­යෙන් තමයි සියලු දේවල් කළේ.

මේ කට­යුත්ත අති දුෂ්ක­රයි. ඔහුට විටෙක අත්හැර දැමීම හැර අන් වික­ල්ප­යක් නොවන අවස්ථා ද විය. එහෙත් ඔහු ගමේ අහිං­සක දරු­වන්ට ඉගැ­න්වීම අත ­හැර දැමුවේ නැත. මේ ඉංග්‍රීසි පන්ති­යට අකුල් හෙළන මිනි­සුන්ට ඔහු අභි­යෝග කළේය; අව­සා­නයේ ඔහු ගරා­ජ­යක ගමේ දරු­වන්ට අකුරු කළේය.

වීර­රත්න ගුරු­තුමා විශ්‍රාම ගිහින් මාස හයක් විතර අපි පාසලේ ම පන්ති කළා. පස්සේ නොයෙක් ප්‍රශ්න ආවාම මම පසු­කා­ලී­නව පන්තිය කළේ ගරා­ජයේ.

ඉන් පසුව වීර­සේ­කර විද්‍යා­ලය පසු කර­මින් පොල්ලමුරේ ගරා­ජ­යක පැවැ­ත්වෙන පන්ති­ය­කට දරුවෝ උදෑ­ස­නින් පැමි­ණිය හ. දැඩි අසී­රු­වෙන් මවුපියෝ දරු­වන්ට ඉඳ ගැනී­මට ඩෙස් පුටු ටිකක් සකස් දුන්හ.

“දැන් මම කරන්නේ ගොවි­තැන්. මගේ රැකි­යාව අත්හ­රින්න මට සිදු වුණා. මගේ ලොකු පුතාගේ සියලු වැඩත් කරන්නෙ මම. බිරි­ය­ටත් රැකි­යා­වක් නැහැ. අපි ජීවත් වෙන්නේ හරි අසී­රු­වෙන් වුණත් මට ඕන මම ඉගෙන ගත්ත දේ මේ ගමේ දරු­වන්ට නොමි­ලයේ කියලා දෙන්න. මේ පන්තියේ අ.පො.ස. (සා. පෙළ) පන්තියේ දරු­වොත් ඉන්නවා; සම­හරු ඉංග්‍රීසි හෝඩියේ අකුරු දැන සිටියේ නැහැ. සාමාන්‍ය පෙළ අයටත් ඉගැ­න්නුවා. දැන් අපි උග­න්වලා 100%ක ප්‍රග­ති­යක් අත් කර ගත්තා.

අජන්ත අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩ­ලයේ සේවය කළ ද ගුරු­ව­ර­ය­කුගේ දැනුම් සීමාව ඉක්ම වූ පුද්ග­ල­යෙකි; ඔහු ඉංග්‍රීසි භාෂාව පිළි­බඳ හසළ දැනු­මක් රැස් කර ගත්තෙකි. නොප­සු­බට උත්සා­හ­ව­න්ත­යෙකි.

“ මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කුරු­ණෑ­ග­ලට ගියේ දැඩි අසී­රුතා මධ්‍යයේ. මම ඒක කළේ මේ දරුවෝ වෙනු­වෙන්. මගේ දැනුම අහක ගියේ නැහැ. දැන් අපේ දරුවෝ දක්ෂයි. ගරාජ් එක ඇතුළේ උග­න්නන්න පුළු­වන් 25ක වගේ සුළු ප්‍රමා­ණ­ය­කට විත­රයි. මේ පන්තියේ කිසිම පහ­සු­ක­මක් නැහැ. අඩු­පා­ඩු­කම් රැසක් තියෙ­නවා අපිට. අපි අපේ දුවලා පුතාලා මොන­ත­රම් දුෂ්ක­රතා මැද ­වු­ණත් උඩ­ව­ලව, සීගි­රිය වැනි සංචා­ර­ක­යන් වැඩි­පුර පැමි­ණෙන ස්ථාන­ව­ලට රැගෙන යනවා. ඔවුන්ට එම සංචා­ර­ක­යන් සමඟ කතා­බහ කර­න්නට අව­ස්ථාව උදා කර දෙනවා. එම තත්ත්වය මත දරු­වන්ගේ ඉංග්‍රීසි භාවි­ත­යට ගුණා­ත්මක බවක් එකතු වුණා. අප ලබා ගත් ප්‍රග­තිය ගැන පැහැ­දුණු බොහෝ පිරි­සක් අපට ඒ කාලේ උප­කාර කළා. ඔවුන් නවීණ තාක්ෂ­ණික පහ­සු­කම් ලබා දුන්නා. මේ ගමට අන්ත­ර්ජාල පහ­සු­කම් හුඟක් අඩුයි. මම ගුරු­ව­ර­යෙක් නොවුණ නිසා මගේ සේවය පාස­ලට ලබා­දී­මට ප්‍රායෝ­ගි­කව ගැට­ලු­වක් මතු වුණා. ඒත් අම­තර පන්ති­යක් කිරීමේ අව­කා­ශ­යක් මට නැතුව ගියා.“

අජන්ත දරු­වන් වෙනු­වෙන් කරන මෙහෙ­වර ඇගැ­යී­මක් ලෙස ගුරු සේව­යට අන්ත­ර්ග්‍ර­හ­ණය කළ යුතු යැයි බොහෝ මවුපි­යන්ගේ අද­හස වුවත් අද වන­විට ඔහු රාජ්‍ය සේවය ද අතහැර දමා ඇත. රැකි­යා­වෙන් සදහ­ටම සමු­ගෙන ඇත්තේ කල­කි­රීම් රැසක් සම­ඟිනි.

“ අ.පො.ස. (උසස් පෙළ) විභා­ග­ය සඳහා පෙනී සිටියේ පැල්ම­ඩුල්ල ගන්කන්ද ජාතික පාස­ලෙන්. 2014 මාර්තු මාස­යේදී වීර­සේ­කර විද්‍යා­ලයේ අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩ­ල­යට එකතු වුණත් මම ඒ කාලයේ සිටම දරු­වන් වෙනු­වෙන් ශාරී­රික අධ්‍ය­යන කට­යුතු කළා. කාල­යේ­දීම විදු­හලේ සිටි සෙනෙ­වි­රත්න විදු­හ­ල්ප­ති­තුමා දරු­වන්ගේ ශාරී­රික අධ්‍යා­පන විෂය මට භාර කළා. ඒ හැම අව­ස්ථා­ව­ක­දීම මගේ සහා­යට සිටියේ වීර­රත්න ගුරු­තුමා. ඉන්ප­සුව මම පාසලේ ඉති­හා­සයේ ප්‍රථම වතා­වට ක්‍රීඩා උත්ස­ව­යක් සංවි­ධා­නය කළා. උදෑ­සන 6.30 සිට 7.30 දක්වා දූද­රු­වන්ව ශාරී­රික කුස­ලතා වර්ධ­නය කිරීම සිදු කළා. ඔවුන්ට පෝෂ්‍ය­දායී ආහාර වේලක් ලබා­දී­මට කට­යුතු කළා. මුල් කාලේදී මම විල්බට් සර්ගේ ඉංග්‍රීසි පන්ති­යට සහ­භාගි වෙන්න සෙන­සු­රාදා නිවෙ­සින් පිටත් වෙනවා, කුරු­ණෑ­ගල දුම්රිය ස්ථානයේ රාත්‍රිය ගත කර­නවා. අපේ කැප­වීම දැන ගත්ත කුරු­ණෑ­ගල ඇත්කඳ රජ­මහා විහා­රයේ හිමි­යන් මට නොමිලේ නේවා­සික පහ­සු­කම් සලසා දුන්නා, මම මගේ දරුවෝ ගැන වගේම මේ ගමේ අහිං­සක දරුවෝ ගැනත් හිතන නිසා අති දුෂ්කර ගම­නක් කුරු­ණෑ­ග­ලට ගියා. අද මට ඒ ගැන සතු­ටුයි. විල්බට් ගුරු­තුමා ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාක­රණ රටා­වන් ඔහුට ම අනන්‍ය වූ ක්‍රම­වේ­ද­යක් හරහා කියලා දුන්නේ. ඉන්පසු මම එම දැනුම වීර­රත්න ගුරු­තුමා සමඟ එකතු වී මුල් කාලේ ඉඳ­ලාම පාසලේ දුවා දරු­වන්ට ලබා දුන්නා.

අජන්ත උඳු­ගොඩ සුවි­ශේෂී ගුරු­ව­ර­යෙකි. දුෂ්ක­රතා රැසක් මධ්‍ය යේ කඳු පල්ලම් බසි­මින් පොල්ල­මුරේ වීර­සේ­කර විද්‍යා­ලය පසු කර­මින් හිමි­දි­රියේ ගරා­ජ­යට පැමි­ණෙයි. ඒ දරු­වන්ට අකුරු කිරී­ම­ටය. ඒ වෙ­නු­වෙන් ඔහු අනා­ග­ත­යේදී අකුරු ඉගෙ­න­ගත් දරු­ව­න්ගෙන් කිසිවක් අපේක්ෂා නොක­රන බව පව­සයි. අජන්ත දකින අපිට දුයි­ෂෙන් ගුරු­තුමා සිහි වෙයි. අති දුෂ්කර පොල්ල­මුරේ ගමේ දරුවෝ දෙවන බසින් ලොවක් දිනන විට අජන්ත නිහ­ඬව සතුටු වන්නේය. සැබෑ ගුරු මවු­පි­ය­ව­රුන් එසේ වන්නේ ය. මුද­ලට අකුරු විකු­ණන ගුරු­වරු අතර දුයි­ෂෙන් වැනි සැබෑ ගුරු­වරු අදත් ඉති­රිවී ඇති බවට පොල්ලමුරේ අජන්ත සර් සාක්ෂි සප­ය­න්නේය.

  • සුභද්‍රා දේශ­ප්‍රිය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලුමුම්බා මරා දමා වසර 63ක් සැපිරේ . . .

Sun Jan 21 , 2024
කොන්ගෝවට බෙල්ජියම් අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබූ දිනයේ එනම් 1960 ජූනි 30 වනදා කොංගෝ හි ප්‍රථම අගමැතිවරයා ලෙස දිවුරුම් දෙමින් පැට්‍රික් එමෙරි ලුමුම්බා ජාතිය අමතා සිදුකල එයතිහාසික ප්‍රකාශය! ආදරණිය කොංගෝ හි දේශප්‍රේමී රටවැසියනි! අප මව්බිමේ උස් නිදහස වෙනුවෙන් අප සමඟ වෙහෙස නොබලා සටන් කළ මගේ ආදරණිය මිත්‍රවරුනි! ඔබ සැමට, මෙම 1960 ජූනි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x