ඩයරි – කැලැන්ඩර්වල ඉරණම . . .

ලංකාවේ ජනතාවට විවිධ ‘උණ’ වර්ග තිබේ. ඉන් මූලිකම ‘උණ’ වන්නේ වාහන උණ නොහොත් ‘රථ’ ගායයි. එය ජීවිත කාලය පුරා තුන්සිය හැටපස් දවස් පුරා පැවතෙන එකකි. මුල්වරට වාහනයක් ගත්තත් ඊළඟට ඇවිත් ඇති ‘වාහන’ මොඩලය ගන්නා තුරු හා ක්‍රමයෙන් අලුත් කරන තුරු ජීවිත කාලය පුරා මේ උණ පවතී.

එහෙත් වර්ෂයක් අවසාන වන විට ඇතිවන උණක් ද ඇත. එය කැලැන්ඩර් ‘උණ’ ය. එය සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයෙන් පටන් ගෙන දෙසැම්බර් 31 වැනි වර්ෂාවසානයේදී එය උත්සන්න වේ. ජනවාරි 1 වැනිදට ගෙදර කැලැන්ඩර් එල්ලා ගැනීම අමුතුම උණකි. එහෙත් ඒ උණ පෙබරවාරි වන විට සමහන් වන්නට පටන් ගනී. තණ්හාවට බොහෝ දෙනා කැලැන්ඩර් ඔතාගෙන ගියාට වර්ෂාවසානය වනතුරුත් ඒවා ගෙදර කාමරයක මුල්ලේ එකතු වන අතර වර්ෂාවසානයේදී බෝතල් පත්තරකාරයාට හෝ බත් ඔතන්නට ගන්නේ ඔන්න ඔය කැලැන්ඩර් තොගයයි.

ලංකාවේ කලකට ඉහත දෙසැම්බරයේ පාරවල් අයිනේ පේව්මන්ට්වල තබාගෙන කැලැන්ඩර් විකුණූ යුගයක් විය. මේ කැලැන්ඩර්වල බොහෝවිට සිටියේ සිනමා නළු නිළියන්ය. විජය – මාලනී, ගාමිණි – මාලනි, ගීතා, ස්වර්ණා ආදී විවිධ නළු නිළියන්ගේ මූණත් තහඩු ඒ කැලැන්ඩර්වල දැකගත හැකි විය. ඒත් දැන් මේ නළු නිළි කැලැන්ඩර් සම්ප්‍රදාය මිය පරලොව ගොස් හමාරය.

එදා පුරාතනයේ හිරු ගමන අනුව ද, සඳ ගමන අනුව ද, කාල හෝරා සකසා ගෙන සිය වැඩපළෙහි යෙදුණහ. පෝය ගිය එක් වැනිදා, පෝය ගිය දෙවැනි දා ආදී වශයෙන් දින වකවානු සඳහන් කරනු අපට අදත් පැරැන්නන්ගෙන් අසන්නට ලැබෙයි. නැකැත් ශාස්ත්‍රයේදී පෑළවිය, දියවක, තියවක ආදී වශයෙන් සඳ අනුව දිනය හඳුන්වනු දකින්නට ලැබේ. දිනයක් ලෙස සැලකෙන්නේ පෘථිවියට සිය කක්ෂය වටේ එක් වරක් ගමන් කිරීමට ගත වන කාලයයි.

අද අප භාවිත කරන්නේ ව්‍යාපාරික ක්‍රිස්තු වර්ෂ දින දසුනකි. එහෙත් ලංකාවේ 2002 වසරේදී බුද්ධ වර්ෂ දින දසුනක් නිකුත් කරන ලද්දේ පොල්ගහවෙල, වඩුවෙල මහමෙවුනා භාවනා අසපුවෙනි. එදා සිළුමිණ මෙම පුවත විසිඑක් වසරකට පෙර වාර්තා කොට තිබුණේ මෙසේය.

බුද්ධ වර්ෂය වෙනුවෙන් (2546) ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දින දර්ශනයක් නිකුත් වී තිබේ. බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධිය සහ බුද්ධගයා විහාරයේ ප්‍රධාන බුදු පිළිමය දැක්වෙන ඡායාරූපවලින් යුතුව ශෝභන ලෙස මුද්‍රණය කෙරුණු මේ දින දර්ශනය වෙසක් පුන් පෝදා සිට ලබන වර්ෂයේ වෙසක් පෝය දක්වා දින දර්ශනය ද පසළොස්වක පොහොය උපසම්පදා ද පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ භාවනා වැඩසටහන් පැවැත්වෙන දින සහ ස්ථාන ද ඇතුළත් වේ.

මෙවර කැලැන්ඩර් දින පොත් වෙළඳපළට කරුණු සොයන්නට ගිය අපේ මතකයට ආවේ මහගමසේකර විසින් කරදිය මුද්‍රා නාට්‍යයට ලියූ ගී පද දෙකකි.

‘ජීවිතයත් මුහුද වගෙයි

එනවා ආපසු යනවා’

කැලැන්ඩර් හා දින පොතුත් ඒ වගේය. අලුත් කැලැන්ඩරේ පරණ කැලැන්ඩරේ තැන ගන්නේ සංසාරයේ කෙළවරක් නැති ලෙසය. අලුත් දිනපොත පරණ දිනපොතේ තැන ගන්නේ ඒ නිසාය.

කෙසේ වුවත් මෑත යුගයේ දින පොත් නිසා අමරණීයත්වයට පත් නිලදරුවන් ගැන නම් අපට අසන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඉංගිරිසි පාලක නිලදරුවන්ගේ දිනපොත් අදත් හොඳ විමර්ශන කෘති වෙයි. වත්මන් යුගයෙහි දිනපොත, දවසේ හමුවීම් – රැස්වීම් – සහභාගිවීම් පිළිබඳ වේලාව සටහනට වැඩි යමක් නො ලියැවෙන බව ඉන් පෙනී යන කරුණකි. කැලැන්ඩරය ‘ස්මාට් ෆෝන්’ එක ඩැහැගත්තා වගේම කඩදාසි ඩයරියත් ස්මාට් ෆෝන් එක ඩැහැ ගත්තා දැයි සැක හිතෙන්නේ ඒ නිසාමය.

දැන් බැංකුවල මුදල් තැන්පත් කරන්නට ෆෝරම පිරවිය යුතු නැත. සල්ලි ගන්නට ද ෆෝම් පිරවිය යුතු නැත. කඩදාසි බැංකු පොතක් ද නැත. දැන් ඔක්කොම ‘පේපර්ලස් බෑංකින්ංය.” එතකොට ඉතින් කඩදාසි කැලැන්ඩර් – දිනපොත් ඉතුරුවෙයිද?

කලකට ඉහත මෙරට දැවැන්ත ආයතන තම ආයතනයේ කැලැන්ඩරය නිකුත් කරන විට සම්භාවනීය උත්සවයක් පැවැත්වීම ද සිරිතක් කොටගෙන තිබුණි. මේ ඇතැම් උත්සව තරු පහේ හෝටල්වල පැවැත්වූ අතර උත්සවය අවසානයේ හොඳට කා බී අත්පුඩි ගහන cocktail පාටි ද වැරදුණේ නැත. ඒත් දැන් ඒවා දැක ගැනීමටවත් නැත.

කැලැන්ඩරයක් දොරට වැඩීමේ උත්සවයක් අප මෙවර දුටුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ය. එයට කදිම උත්සවයක් සංවිධාන කොට තිබුණි. එහෙත් අපට එහිදී දැක ගත හැකි වූයේ බිත්ති කැලැන්ඩරයක් නම් නොවේ. මේසය මත තබන ඩෙස්ක් කැලැන්ඩරයකි. ටෙලිකොම් ආයතනයේ ප්‍රධානියකු උත්සවය අමතමින් කිවුවේ වියදම අධික වීම නිසා මෙවර ටෙලිකොම් බිත්ති කැලැන්ඩරය නිකුත් කළේ නැති බවය. උත්සව නැතිව වුණත් මේස කැලැන්ඩර මුද්‍රණය කළ ආයතන සොයා ගැනීම අතිදුෂ්කර කටයුත්තක් විය.

අප මුලින් මෙවර ඩයරි සහ කැලැන්ඩර් සීසන් එකට කුමක් සිදු වී ඇත්දැයි බලන්නට ගියේ කොස්ගස් හන්දියේ උපසේන මෙටල් වර්ක්ස් වෙතය. ලංකාවේ කොහේ මුද්‍රණාලයක කැලැන්ඩර් මුද්‍රණය කළත් ඒවා සියල්ල අවසානයේ කැලැන්ඩරය එල්ලන පටිය ගහන තැනට ආ යුතුය. වෙනදාට නම් කැලැන්ඩර් පටි ගහන සද්දය කොස්ගස් හන්දියට ඇහෙන තරම්ය. ලංකාවේ කැලැන්ඩර් පටි ගැසීමේ ආරම්භකයකු වන්නේ ‘සීතා’ මෙටල් වර්ක්ස් ආයතනයයි. එය පිහිටියේ ද කොස්ගස් හන්දියේය.

උපසේන ආයතනයේ ප්‍රධානියා උපසේන සුබසිංහය. කවුරුත් දන්නා කෝපි කඩේ පාලය. වෙනදාට අප යන විට උපසේනගේ තෙමහල් ගොඩනැඟිල්ල පිරෙන්නට කැලැන්ඩර් ගොඩගසා තිබුණි. තිහකට අධික පිරිසක් කොරෝනාවට පෙර කැලැන්ඩර් පටි ගසනු දැකීම එදා සාමාන්‍ය සිදු වීමක් විය. නමුත් පසුගියදා අප එහි යන විට වෙනදා මෙන් කලබලයක් නොවීය. කැලැන්ඩර් වර්ග කීපයක් හතර පස් දෙනකු පටි ගසමින් සිටීම ආගන්තුක අත්දැකීමක් විය.

“මේ සැරේ ගිය සැරේටත් වැඩිය බිස්නස් අඩුයි. ඊටත් වැඩිය සඳුදා ක්‍රිස්මස්, අඟහරුවාදා පෝය. සතියම නිවාඩු දාලා කට්ටිය ට්‍රිප් ගිහින්. මේක තමයි ඉතින් ඉතිහාසයේ කැලැන්ඩර් මළගම. දැන් කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, මාතර පැතිවල තත්ත්වය කොහොමද දන්නේ නෑ.”

කැලැන්ඩර් සමයට අතිශය කාර්ය බහුල පිරිසක් වන්නේ මුද්‍රණය යන්ත්‍ර අලුත්වැඩියාකරුවන්, මුද්‍රණ යන්ත්‍ර අමතර කොටස් ලියවන පට්ටල් ආයතන හා කැලැන්ඩර් කඩදාසි කපන කටර් තල මුවහත් කරන ආයතනයි.

මේ මුද්‍රණ ආයතන තුනටම යායුතු තැනක් නම් සුගතදාස ස්ටේඩියම් ඉදිරිපිට “කලම්බෝලේත්” ආයතනයයි. එහි කළමනාකරු හෙට්ටිආරච්චිය.

ඩයරි ගහන ප්‍රෙස්වල ප්‍රින්ටින් මැෂින් ඔක්කෝම සර්විස් කරන්න පටන් ගන්නවා. ගෙවිච්ච පාට්ස් අලුතෙන් ලියවල සීසන් එකට සූදානම් වෙනවා. දැන්නම් එහෙම කරන ප්‍රෙස් අඩුයි. කැලැන්ඩර් සීසන් එකට මැෂින් රෙපයාර් කරන්න නෑ කියන්නේ කැලැන්ඩර් අඩුයි. මේ කැලැන්ඩර් සීසන් එක පෙබරවාරි – මාර්තු වෙනකම් යනවා. දැන් වෙන්නේ කම්පැනියක් කැලැන්ඩරයක් ගහල තිබ්බොත් අල්ලපු කොම්පැනිය ඒකට තරගෙට කැලැන්ඩරයක් ගහනවා.”

කැලැන්ඩරය මෙරට ප්‍රබල මාධ්‍යයක් දැයි ගෙනහැර පෑමට කැමිලස්ගේ සිරිබිරිස්ගේ කාටූනුත් යොදා ගත හැකිය. මේ කාටූනය කැලැන්ඩරය යොදාගෙන තිබුණේ ‘රණසිංහ ප්‍රේමදාස’ අගමැතිගේ නිවාස වැඩසටහන අවඥාවට ලක් කිරීමටය. සිරිබිරිස්ට උදාගමකින් නිවෙසක් ලැබේ. මෙම නි‍ෙවසේ ඇත්තේ බිත්ති 4කි. සිරිබිරිස් එක බිත්තියක ඇණයක් ගසා කැලැන්ඩරයක් එල්ලයි. කැලැන්ඩරයට ගැසූ තැන සිරිබිරිස්ට ඇල්ලුවේ නැත. සිරිබිරිස් මිටියක් ගෙන ඇණය ගලවන්නට ගිය විට බිත්තිය පොළවට සමතලා වේ. අනිත් බිත්ති තුනේ කැලැන්ඩරය එල්ලන්නට ගැසූ ඇණ ගලවන්නට ගොස් ඒ බිත්ති තුනත් බිමට සමතලා වේ. කැමිලස් මේ කැලැන්ඩරයකින් උත්සාහ කළේ ගම්උදාව ගෙවල්වල ප්‍රමිතිය සමච්චලයට ලක් කිරීමටය.

මෙවර කැලැන්ඩර් හා ඩයරි තොග වෙළෙඳපළ නිරීක්ෂණයේදී අපට පැහැදිලිව පෙනී ගිය කරුණක් නම් කැලැන්ඩර් මාර්කට් එකට ඒම අඩු වුණත් ‘ලිත්’ මුද්‍රණය කරන උදවිය නම් මෙවරත් ලිත් මුද්‍රණය කර ඇති බවය. ලිත සමඟ නව වසරේ පලාපල ඇතුළත් පිටු 16ක කුඩා පොතක් ද මුද්‍රණය සාමාන්‍ය සිරිතය. කොරෝනාවට පෙර ලිත් සමඟ පලාපල පොත මිල වූයේ රුපියල් 20/=කටය. ඒත් අද මිල රුපියල් 150/=ක් බවට පත් වී තිබේ. ලංකාවේ ලිත් මුද්‍රණයට වසර 168ක ඉතිහාසයක් තිබේ. එයින් නොකියා කියන්නේ ජනතාව කැලැන්ඩර් අතෑරියත් ‘පලාපල’ විස්තර ‘කේන්දර’ තවම පොදු ජනතාව අත්හැර නැති බවය.

කොළඹ ඩයරි කැලැන්ඩර් තොග වෙළෙඳපළ ඇති තැන් කීපයකි. හෙට්ටිවීදිය, පියර්සයිබු වීදිය, ආදුරුප්පු වීදිය, සංඝමිත්තා මාවත එයින් තැන් කීපයකි. එදා කැලැන්ඩර් ඩයරි මුද්‍රණයට නම් දරාපු ආයතන කීපයකි. මල්පියලි, දුමින්ද එරන්ද, සීවලි ඉන් කීපයකි. ඒත් දැන් ඒවා ගැන අහන්නටවත් නැත. දැන් කොළඹ මැලිබන් වීදියටත් වඩා ජනතාව කැලැන්ඩර් ඩයරි මිලදී ගැනීමට පෙලඹී ඇත්තේ පීපල්ස් පාක් වෙතිනි.

ඩයරි සහ කැලැන්ඩර් කොළඹ තොග වෙළෙඳපළ තොරතුරු සොයන්නට අප මුලින්ම ගියේ පිටකොටුවේ පීපල්ස් පාක් සංකීර්ණයේ ඇපලෝ ආයතනයටය. ආයතනය විවිධ වර්ගයේ කැලැන්ඩර් සහ ඩයරිවලින් පිරී තිබුණි. එහි කළමනාකරු අප සමඟ කුළුපග වූයේ කැලැන්ඩර් ඕඩරයක් දෙන්නට ආ බව සිතා විය යුතුය.

“අපි අවුරුදු 30ක් තිස්සේ කැලැන්ඩර් ඩයරි ගහනවා. අඩුම බිස්නස් මේ සැරේ තමයි. දෙසැම්බර් 15න් පස්සේවත් හරි යයි හිතුනා. දෙසැම්බර් අන්තිම සතිය තමයි කැලැන්ඩර් හොඳටම ගහන්නේ. ඒත් මේ සැරේ දෙසැම්බර් 23 ඉඳන් 26ටම නිවාඩු. ගම්වලින් කවුරුත් ආවේ නැහැ. බිස්නස් තියෙයි කියලා හිතනවා. සමහර කැලැන්ඩර් ඩයරි ප්‍රයිස් තුන්හතර ගුණයකින් වැඩි වෙලා. කඩදාසි – තීන්ත – ලයිට් ඔක්කොම ගණන්. ඉතින් කැලැන්ඩර් ඩයරි අඩු ගාණට දෙන්න බැහැ.”

පීපල්ස් පාක් හි කැලැන්ඩර් ඩයරි සොයමින් ලුහුබඳින කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නිලධාරියකු අපට හමු විය.

අපේ ඉන්ඩස්ට්‍රියල් එක්සිබිෂන් එකක් ගාල්ලේ තියෙනවා. හැමෝම කැලැන්ඩර් ඩයරි ඉල්ලනවා. අන්තිමට පීපල්ස් පාක් විතරයි හම්බුණේ. දැන් ඉතින් වර්ග කීපයක් හරි තියෙන විදිහට නම ගහගෙන අරන් යන්න වෙලා තියෙනවා.

පීපල්ස් පාක් සංකීරණයේ කැලැන්ඩර් ඩයරි තොග කඩ කීපයක කරක් ගැසූ අප කන්නන් පික්චර් පැලස් එකට ගොඩ වූයේ එහි ද්‍රවිඩ භාෂාවෙන් ද කැලැන්ඩර් මුද්‍රණය කර තිබීම නිසාය. එහි අධිපති කන්නන් මුද්‍රණ අලෙවි නිලධාරියා අප පිළිගත්තේ ළෙන්ගතුවය.

පසුගිය බ්‍රහස්පතින්දා මියගිය දකුණු ඉන්දීය සුපිරි නළු විජයකාන්ත්ගේ කැලැන්ඩර ද ඒ අතර විය. එම කැලැන්ඩරයකට එම ආයතනයේ මල් මාලයක් පලඳවා තිබුණි.

“හින්දු ගෙවල්වල තාමත් ඉන්දියන් නළු නිළියන්ගේ, ආගමික විශ්වාසවල කැලැන්ඩර් ගහනවා. මෙච්චරකල් ආවේ පිටු 12 දින කැලැන්ඩර්. ඒ කියන්නේ මාසයකට පිටුව ගාණේ දැන් කොච්චර කොළ ගණන් ද කිවුවොත් එක පිටුවට මාස 2 ගණේ දාලා දින කැලැන්ඩර් පිටු 6ට ගහල ගාණ අඩු කරන්න. වෙනදට මේ වෙලාවට කැලැන්ඩර් ඩයරි ගහන්න කස්ටමස්ලා පිරිලා. මේ සැරේ ගහ ගත්ත කැලැන්ඩර් ඩයරි ටිකත් ගාණ වැඩි නිසා විකුණා ගන්න ටිකක් අමාරුයි.”

මෙම ලිපිය ආරම්භයේදි ශ්‍රී ලංකා ටෙලිකොම් කැලැන්ඩරය ගැන සඳහන් කරන ලදී.

ශ්‍රී ලාංකික දින දර්ශන දෙකක් ලොව අග්‍රගණ්‍ය ප්‍රචාරක නිර්මාණ තරගාවලියකින් ජයග්‍රහණ හිමි කර ඇමෙරිකාවේ ‘ක්‍රියේටිවිටි ඉන්කෝපරේෂන්’ ආයතනය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ක්‍රියේටිවිටි ඇනුවල්” නිර්මාණ තරගාවලියේ 2001 වසරේ ජයග්‍රාහකයන් අතරට ද එක්වී තිබීම සුවිශේෂී සිදුවීමකි. මෙසේ සම්මාන හිමි කරගෙන ඇත්තේ මෙරට වෙළෙඳ ප්‍රචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අධ්‍යක්ෂවරයකු වන ඩබ්. එම්. කේ. විජයබණ්ඩාර ය. ඔහු 2001 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් හා ජාතික රක්ෂණ සංස්ථාව වෙනුවෙන් නිර්මිත දින දර්ශන දෙකට මෙම ජයග්‍රහණය හිමි කරගන්නා ලදී.

අප පීපල්ස් පාක් හි ඇවිදිත්දි මියගිය නළු විජයකාන්ත්ගේ කැලැන්ඩර් අලෙවි වූයේ බලා සිටිත්දීය. ද්‍රවිඩ නිළියන්ගේ කැලැන්ඩර් අතරින් තවමත් පෙරමුණේ සිටියේ ‘කුෂ්බු’ ය. නළුවන් අතරින් ‘රජනිකාන්ත්ය’ රජනිකාන්තට තරගයක් දීමට සිටි එකම නළුවා ‘විජෙයි’ විය යුතුය.

ප්‍රධාන වශයෙන් කැලැන්ඩර් – ඩයරි වෙළඳාම කේන්ද්‍ර වී ඇත්තේ කොළඹ යයි අප සිතුව ද කොළඹ වාහන තදබදයත් සමඟ දැන් මේ කර්මාන්තය බොරලැස්ගමුව සිට මහරගම, පිළියන්දල, මොරටුව ප්‍රදේශවලට ද ව්‍යාප්තව ඇත. මෙම ප්‍රදේශවල බොහෝවිට කෙරෙන්නේ පිටු 12ක කැලැන්ඩර් 10,000ක් පමණ මුද්‍රණය කොට කැලැන්ඩර් 100 බැගින් කොම්පැණියක නම මුද්‍රණය කොට දීමය.

කොළඹ ආශ්‍රිතව ඇති මුද්‍රණාල බොහොමයක කරක් ගැසූ විට ඔවුන් බොහෝ කැලැන්ඩර් ඩයරි ඒ වනවිටත් ගම් වෙත බාරදී තිබුණේ කොළඹ ඇති ට්‍රාන්ස්පෝට් සර්විස්වලටය. ට්‍රාන්ස්පෝට් සර්විස් සමාන වන්නේ කුරියර් සර්විස් එකකටය. ලංකාවේ විවිධ ප්‍රදේශවලට යවන බඩු එක්රැස්කොට සංවිධානාත්මකව ලොරි මඟින් ප්‍රවාහනය කොළඹ සරුවට කෙරෙන ව්‍යාපාරයකි.

එහෙත් මේ කැලැන්ඩර් ඩයරි මුද්‍රණකරුවන් අතරින් මිරිහාන පැඟිරිවත්ත පාරේ කොලිටි ප්‍රින්ටස් අධිපති සී. පියසෝම පැවසුවේ මෙවන් කතාවකි.

“කොරෝනාවෙන් පස්සේ මේ සැරේ තමයි වැඩිම ඩයරි – කැලැන්ඩර් ප්‍රින්ට් කළේ. ඔය කැලැන්ඩර්, ඩයරි ගැහුවේ නෑ කියන්නේ බොරු කතාවක්. මේ සැරේ තමයි කවදක්වත් නැති තරම් කැලැන්ඩර් – ඩයරි විකුණුවේ.”

ඒත් අප නැවතත් කොළඹ දෙසට ආපසු, අප ගියේ කොලඹ කැලැන්ඩර් – ඩයරි තොග අලෙවි කරන මැලිබන් වීදියටය. කොළඹ ස්ටේෂනරි නොහොත් ලිපිද්‍රව්‍ය තොග වෙළෙඳපළ වන්නේ මැලිබන් වීදියයි. මැලිබන් වීදියේ කැලැන්ඩර්වලට වඩා ගොඩගසා තිබුණේ විවිධ ප්‍රමාණයේ ඩයරි වර්ගය. ඉදිරි වසර සැලසුම් කරන ඉයර් ප්ලැනර් (year planner) ඒ අතර විය. මැලිබන් වීදියේ ලිපිද්‍රව්‍ය සාප්පු කීපයකම කැලැන්ඩර් – ඩයරි මිල ඇසීමෙන් පසු අප යුනයිටඩ් ස්ටේෂනරි ආයතනයේ කළමනාකරුගෙන් අලුත්ම තත්වය ගැන විමසුවෙමු.

“ඩයරි – කැලැන්ඩර් ගොඩක් අඩුවෙන් තමයි ප්‍රින්ට් කරල තියෙන්නේ. කොම්පැනිය අපෙන් ඩයරියක් – කැලැන්ඩරයක් අරන් කොම්පැනියේ නම ප්‍රින්ට් කර ගන්නවා. ඒක දකිනවා අනික් කොම්පැනි. හොයන් ඇවිල්ල ඒ ගොල්ලන්ගේ නමටත් ඕඩරයක් දෙනවා. මේ සැරේ ඩයරි – කැලැන්ඩර් ප්‍රයිස් වැඩියි. ප්‍රයිස් අඩු වුණාම පොඩි කොම්පැනියක් වුණත් ඩයි දෙතුන් සීයක් නම ගහල බෙදනවා.”

කැලැන්ඩර් සහ ඩයරි මුද්‍රණයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ කඩදාසිය. කඩදාසි ප්‍රධාන තොග කඩ ඇත්තේ පිටකොටුවේ කාබිරි මුඩුක්කුව, නිව් මුර්ස්ට්‍රීට් පැතිවලය. කැලැන්ඩර් සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ පෝස්ටර් පේපර්, සික්ස්ටි බැන්ක් සහ ආට්පේර්ය. මේ වාගේ මිල ගණන් ඉහළ යෑම හා සැසඳීමේදී පසුිය වසරට වඩා ඇතැම් කඩදාසි කිහිප ගුණයකින් පවා ඉහළ ගොස් ඇත. මුද්‍රණ කටයුතු සඳහා යොදා ගන්නා ඕෆ්සෙට් තීන්ත මිල ද තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත.

මෙවර කැලැන්ඩර – ඩයරිවල ඇති විශේෂත්වය වෙනදාට චීනයෙන් හා ඉන්දියාවෙන් ආනයනය කළ ඒවා නොමැති වීමය. චීනයෙන් වෙනදාට ප්‍රධාන වශයෙන් ආනයනය කළේ චීන ෂෙංෂුයි ක්‍රමයට බටපතුරුවල එල්ලා වැටෙන ලෙස මුද්‍රණය කළ කැලැන්ඩරයයි. එමෙන්ම ගියවර ‘මැනේජ්මන්ට්’ ඩයරි පවා චීනයෙන් ආනයනය කොට තිබුණි. ඉන්දියන් කැලැන්ඩර් ප්‍රධාන වශයෙන් ලංකාවේ ආක්‍රමණය කොට තිබුණේ නිතිපතා තමිල්නාඩුවට හා ව්‍යාපාරිකයන් විසින් මුද්‍රණය කරගෙන ආ ඒවාය. ඝන කඩදාසියේ තද වර්ණයෙන් මුද්‍රිත මේ කැලැන්ඩර් අපට සිහි කලේ එම්. ජී. රාමචන්ද්‍රන් නම් තමිල්නාඩු නළුවාගේ යුගයේ බයිස්කෝප් පෝස්ටරයකි.

ලංකාවේ මේ කැලැන්ඩර් සහ ඩයරි සඳහා භාවිත කරනු ලබන්නේ ‘ග්‍රිගේරියන්’ දින දර්ශනයයි. මේ අනුව අවුරුදු ගණන් ගනු ලබන්නේ ක්‍රිස්තු වර්ෂ පදනම් කරගෙන කේන්දර සාදන සාම්ප්‍රදායික දෛවඥයන්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ පළ කරන ලිත්වල ‘ග්‍රිගෝරියන්’ ක්‍රමය අනුව මාස හා දින දක්වා ඊට අනුෂාංගික වශයෙන් චන්ද්‍ර – සූර්ය මාස ක්‍රමය අනුව ද තොරතුරු ඇතුළත් කොට සකස් කරනු ලැබේ. පෙරපර දෙදිග වැසියන් කවර කවර අයුරින් කාලය මැන ගත්තත්, අද මුළු ලොවටම පොදු කැලැන්ඩරය කිතුනු ලෝකයාගේ කැලැන්ඩරයයි. අද ලෝකය රාජ්‍යයන් වශයෙන් බෙදී සිටියත් අද මිනිසා එකිනෙකාගෙන් ඈත්ව සිටිය ද, සියල්ලෝම එකම කැලැන්ඩරයක් අනුව සිය කාලය බෙදා යොදා ගෙන දෛනික ජීවිතයේ කටයුතු කරති.

දැන් ඉතිං 2024 කැලැන්ඩරය ගෙන ඇවිත් ඇත. දැන් කාර්යාලවල කට්ටිය බලන්නේ වැඩ කළ යුතු දවස් ගැන නොවේ නිවාඩු දවස් ගැනය. බ්‍රහස්පතින්දාට පෝය වැටුණොත් සිකුරාදාට නිවාඩු දාන හැටි ගැනය. ඒත් නැත්නම් අඟහරුවාදාට ප්‍රසිද්ධ නිවාඩුවක් තිබ්බොත් සඳුදාටත් නිවාඩු දමා ලේන්ග් වීක් එන්ඩ් එකකට ‘සැට්’ වන හැටි ගැනය. කොයිතරම් කැලැන්ඩරය අපෙන් තුරන් වී ගියත් ලොකු දින කැලැන්ඩරය තවමත් යෙහෙන් ගෙදර සාලයේ වැජඹෙන්නේ මසයේ නිවාඩු දවස් ටික තඩි අකුරෙන් මුද්‍රණය කොට ඇති නිසා බව අවසානයේ අපට ඒත්තු ගිය කරුණ විය. ඒ කියන්නේ මේ රටේ නිවාඩු ඇතිතුරු කැලැන්ඩරයට පොදු ජනතාව ආදරය කරන බව නොවේද?

  • වජිර ලියනගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැඩිම බරකින් උපන් බිලිඳා . . .

Sun Dec 31 , 2023
7kg 105g ක බරකින් යුත් දරුවෙකුගේ උපතක් පිළිබඳව චිලී රාජ්‍යයෙන් වාර්තා වෙනවා. එලෙස උපත ලබා ඇත්තේ පිරිමි දරුවෙක් වන අතර අලුත උපන් බිලිඳා Curanilahueහි රෝහලකින් Concepcion හි සෞඛ්‍ය ආයතනයකට මාරුකර තිබෙනවා. මේ වනවිට මව සහ දරුවා දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Wayomi

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x