මුහුදු පැළෑටි” (sea weeds ) වේගයෙන් වර්ධනය වන ඇල්ගී විශේෂයකි.එම මුහුදු පැළෑටි හිරු එළියේ ශක්තිය උපයෝගී කර ගනිමින් මුහුදු ජලයෙන් පෝෂ්‍ය පදාර්ථ හා කාබන්ඩයොක්සයිඩ් ලබා ගනී. විද්‍යාඥයන් පවසන්නේ මෙම පැළෑටි දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ කාබන් විමෝචනය වළක්වා ගැනීමට ද උපකාරී වන බවයි.

මේ වන විට ලොව පුරා මුහුදු පැළෑටි නිෂ්පාදනය ශීඝ්‍ර‍යෙන් ඉහළ ගොස් ඇත. උදාහරණයක් ලෙස 2005 සිට 2015 දක්වා කාලය තුළ පමණක් එම පැළෑටි නිෂ්පාදනය දෙගුණයකටත් වඩා වැඩි පරිමාවකින් ඉහළ ගිය අතර මේ වනවිට එමඟින් වාර්ෂිකව ටොන් මිලියන 30 ද ඉක්මවා ගිය අස්වැන්නක් ලැබෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ගණන් බලා ඇත.

මුහුදු පැළෑටි වගාව සඳහා අප රට ද පසුගිය කාලයේදී වැඩි උනන්දුවක් දැක්වූ අතර, උතුරු පළාතේ කිලිනොච්චිය, යාපනය, කල්පිටිය යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම වගාව මේ වන විට ඉතා සාර්ථක ලෙස සිදු කෙරේ.මෙම මුහුදු පැළෑටි වගාව මඟින් රටට අවශ්‍ය විදේශ විනිමය ඉපැයීම ද සිදු කෙරෙන අතර ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මේ කටයුත්ත ප්‍රචලිත කිරීමට උරදී කටයුතු කරයි.

මේ වන විට උතුරු පළාතේ ධීවර පවුල් හා එම පවුල් හී කාන්තාවන් විශාල පිරිසක් මෙම “මුහුදු පැළෑටි වගාව” සිය ජීවනෝපාය මාර්ගය බවට පත් කර ගෙන ඇත. එහිදී සිදු කෙරෙන නිෂ්පාදන ඉන්දියාව, ජපානය,කොරියාව වැනි රටවලට අපනයනය කෙරෙන අතර, ධීවර අමාත්‍යාංශය සතු වාර්තාවල දැක්වෙන්නේ 2020 වසරේදී වියළි බර මෙට්‍රික් ටොන් 8 ක් හා 2021 වසරේදී මෙට්‍රික් ටොන් 16 ක මුහුදු පැළෑටි වියළා මෙලෙස අපනයනය කර ඇති බවයි.

මුහුදු පැළෑටි වගාව අතිශය පරිසර හිතකාමී වැඩසටහනක් වන අතර පරිසරයට හිතකර ඔක්සිජන් නිපදවීම ද එම වගාව නිසා සිදු වන බව පරිසරවේදීන්ගේ ද මතය වී තිබේ. මෙම මුහුදු පැළෑටී ආහාරය සදහා පමණක් නොව මුහුණු ආලේපන ඇතුළු රූපලාවණ්‍ය නිෂ්පාදන, සුරතල් මත්ස්‍යයන්ට අවශ්‍ය ආහාර, ඖෂධ හා දන්තාලේප ආදී නිෂ්පාදන සිදු කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා අතර ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කෙරෙන මුහුදු පැළෑටි කිලෝවක් රුපියල් 220ක් වැනි මිලකට අලෙවි කිරීමට ද හැකි වී ඇත. පසුගිය කාලය තුළ මෙම පැළෑටි යොදා ගනිමින් කාබනික පොහොර සහ නයිට්‍රජන් දියර නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳ ද සොයා බැලුණු අතර ඉදිරියේදී විදේශ ආයෝජකයන්ගේ ද සහාය ලබා ගනිමින් එලෙස කාබනික පොහොර සහ නයිට්‍රජන් දියර නිෂ්පාදනය කිරීමට ද කටයුතු සූදානම් කර ඇත. 

ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් උතුරු පළාතේ මේ වන විට සාර්ථකව සිදු කරමින් රටට අවශ්‍ය විදේශ විනිමය උපදවා ගත හැකි නව වැඩසටහනක් බවට පත්ව තිබෙන මෙම මුහුදු පැළෑටි වගා කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ එම අධිකාරියේ උතුරු පළාත් සහකාර අධ්‍යක්ෂ බාලචන්ද්‍ර නිරූපරාජ්   පැවසුවේ මෙම වගාව නිසා උතුරු පළාතේ ජනතාවට ආකර්ෂණීය ආදායම් මාර්ගයක් නිර්මාණය වී ඇති බවයි. විශේෂයෙන්ම සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් රාශියක්ම මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටින අතර ඔවුන්ට මුහුදු පැළෑටි වගාව සාර්ථක ලෙස සිදු කිරීම සදහා රුපියල් ලක්ෂයක ආධාර මුදලක් ලබා දීමට කටයුතු කළ බව ද ඔහු අනාවරණය කළේය. ඒ අනුව කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පුනරින්හි 28 දෙනෙකුටත්,යාපනය දිස්ත්‍රික්කයේ 19 දෙනකුටත්, මන්නාරම දිස්ත්‍රික්කයේ 24 දෙනකුටත් දැනටමත් එම ආධාර මුදල් ලබා දී ඇත. එම ආධාර මුදල් ලබා ගත් පිරිස ද සමඟ දැනටමත් උතුරු පළාතේ ධීවර පවුල් දෙසිය විස්සක් පමණ මෙම මුහුදු පැළෑටි වගාව සිදු කරන අතර ආධාර මුදල් ලබා ගත් පිරිස හැර සෙසු පිරිස තම පෞද්ගලික මූල්‍ය ශක්තියෙන් එම වගාවන් සිදු කිරීම විශේෂත්වයකි.

වගා කටයුතු සඳහා සුදුසු ප්‍රදේශ ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් නිර්දේශ කරන අතර එක් වගාකරුවකු බොහෝ විට අක්කරයකට වැඩි භූමි ප්‍රදේශයක මෙම වගා කටයුතු සිදු කරයි. වගා භූමියේ බීජ ව්‍යාප්ත කිරීමෙන් පසු උපරිම දවස් 45 ක් ඇතුළත අස්වැන්න නෙළා ගැනීමට ද හැකියාව උදා වේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් සහකාර අධ්‍යක්ෂ බාලචන්ද්‍ර නිරූපරාජ් සඳහන් කළේ පාරම්පරිකව වෙනත් වෘත්තීන් හී නිරත වූ පිරිස් පවා මේ වන විට මුහුදු පැළෑටි වගාව සිදු කිරීමට උනන්දු වී ඇති බවයි.

“මෙම පැළෑටි වගා කර ඒවා අපනයනය කිරීමෙන් මෙතෙක් රටට නොලැබුණු නැවුම් විදේශ විනිමය රටට උපදවා ගත හැකි බව අපට තහවුරු වී තිබෙනවා. ඒ අනුව මෙම වගාවේ නිරත වීමට උනන්දු වන පිරිස් දිරි ගන්වමින් ඉදිරියේදී වැඩි වගා බිම් ප්‍රමාණයක් වගා කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම මෙම වගාව තුළින් සාර්ථක වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා නවීන තාක්ෂණය ද හැකි උපරිම ආකාරයෙන් යොදා ගැනීම අපේ බලාපොරොත්තුවයි.”

ධීවර අමාත්‍යාංශය විසින් ද මේ වන විට මුහුදු පැළෑටි වගාව දියුණු කිරීමට අවශ්‍ය ක්‍රමෝපායන් පිළිබඳ සොයා බලමින් සිටින අතර යාපනය දිස්ත්‍රික්කයේ මණ්ඩතිව් ප්‍රදේශයේ මහා පරිමාණ මුහුදු පැළෑටි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම අරමුණු කර ගනිමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා ඉන්දීය ආයෝජකයන් අතර සාකච්ඡා ද සිදු කර තිබුණි.

මණ්ඩතිව් ඇතුළු උතුරේ අනෙකුත් ප්‍රදේශවල සුදුසු ඉඩම් හඳුනා ගෙන මේ ව්‍යාපෘතිය ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක කෙරෙනු ඇත. ධීවර අමාත්‍යවරයා සමඟ පැවැති එම සාකච්ඡාවලදී ඉන්දීය ආයෝජකයන් විසින් පෙන්වා දී තිබුණේ උතුරු පළාතේ පමණක් නොව අනෙකුත් පළාත්වල ද ජල ජීවී වගාව හා ජලජ පැළෑටි වගාව ආරම්භ කිරීමට සුදුසු ස්ථාන තෝරා ගැනීමට සහාය වන්නේ නම් ඒ හරහා මෙරට ධීවර කර්මාන්තය නඟා සිටු වීමට සහ ධීවර පවුල්වල ආර්ථිකය ඉහළ නැංවීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට ඉන්දියාව හැම විටම සූදානමින් පසු වන බවයි.

නාරා ආයතනයේ ප්‍රාදේශීය පර්යේෂණ (වැලිගම) මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ජේ. එස් ජයනාත් සඳහන් කළේ මේ වන විට උතුරු වෙරළ තීරයේ වෙසෙන 200කට අධික පිරිසකගේ ජීවනෝපාය මාර්ගය ලෙස මුහුදු පැළෑටි වගාව සාර්ථක වී තිබෙන බවයි. කරිජීනන් ලෙස හැඳින් වෙන මෙම පැළෑටි විශේෂය මැලේසියාවෙන් ගෙන්වන ලද බීජවලින් සාදා ගන්නා ලද අතර, ලංකාවෙන් පිටරට යවන්නේ පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා බවයි. මෙය නිසි ලෙස වගා කර ව්‍යාප්ත කරන්නේ නම් විදේශ විනිමය උපයන හොඳ අදායම් මාර්ගයක් වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. මේ වනවිට විදේශ සඳහා වසරකට ටොන් 20 ක් පමණ යවන බව ද හෙතෙම පැවසීය.

 

චන්දිමා එදිරිමාන්න

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංකාවේ ක්‍රිකට් ක්ලබ් අල්ලේ නටවන පුහුණුකාර මාෆියාව....?

Fri Nov 4 , 2022
මේ එළැඹී ඇත්තේ සියවස් දෙකකට ආසන්න ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය ඉහවහා ගිය වකවානුවකි. ලෝක ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ වැඩිම රටවල් සංඛ්‍යාවක් ක්‍රීඩා කරන පාපන්දු ක්‍රීඩාවට නොදෙවැනි ජනප්‍රියත්වයක් දිනා ඇති ක්‍රිකට්, මෙරට වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි ක්‍රීඩාව බව අවිවාදිතය. එවැනි අතිවිශාල ජනප්‍රියත්වයක් දිනා ඇති ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් මුදල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x