අධ්‍යාපනයේ කෝටි 340 ක ටැබ්වලට වෙච්ච දේ . . .

අධ්‍යාපන අමාත්‍යාංශය 2019 වර්ෂයේදී රුපියල් කෝටි 340 ක් වැයකර මිලදී ගෙන ඇති ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක ඵලදායී ආකාරයෙන් ප්‍රයෝජනයට ගෙන නොමැති බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී( කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය.

මේ අතර අධ්‍යාපන කළමනාකරණ දත්ත පද්ධතිය (NEMIS) වෙනුවෙන් 2013 හා 2014 වර්ෂ වලදී රුපියල් කෝටි 6 කට වැඩි මුදලක්  වියදම් කළද ප්‍රමාණවත් දත්ත එහි අන්තර්ගත නැති බව සොයා ගන්නා ලදැයි කෝපා කමිටුව පවසයි.

හඳුනාගත් රාජකාරියක් නොමැතිව ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ කාර්යාලයට කාර්යාල සහායකයකු පත්කර  වසර 13ක් වෙනුවෙන් කෝටි  6 කට වැඩි මුදලක් ගෙවීම පිළිබඳවද  එම කමිටුවේ අවධානය යොමුවිය.

මේ පිළිබඳ තොරතුරු  අනාවරණය වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න ගේ සභාපතිත්වයෙන් පසුගිය (20) වැනිදා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

ඇතැම් ටැබ් පරිගණක වගකීම් කාලය අවසන් වන තුරුද බෙදා දී නොමැති බව මෙහිදී අනාවරණය විය.

එසේම  බෙදාහරින ලද  ටැබ් පරිගණක වලින් වැඩි ප්‍රමාණයක් නිෂ්කාර්යව පවතින බවත්  යම් ප්‍රමාණයක් අස්ථාන ගතව ඇති  බවත් මෙහිදී අනාවරණය වී යැයි  කෝපා කමිටුව සභාපති ලසන්ත අලගියවන්න පැවසීය.

මෙම ටැබ් පරිගණක සාධාරණ  ආකාරයෙන් බෙදාහැර නොමැති බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සැප්තැම්බර් 26 වැනිදාට  පෙර ලබා දෙන ලෙස කෝපා කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයට  නිර්දේශ කළේය.

එසේම උසස් පෙළ සිසුන්ගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය අවම මට්ටමක පැවතීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය. මේ පිළිබඳ 2020 වර්ෂයේදී පර්යේෂණයක්  කර නිර්දේශ 15 ක් ලබාදී ඇති බව අධ්‍යාපන නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

එසේම පිරිවෙන් අධ්‍යාපනයේ ගැටලු පිළිබඳවද   ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳවද කමිටුවේදී සාකච්ඡාවී ඇත.

මෙම කාරක සභා රැස්වීමට  රාජ්‍ය අමාත්‍ය  ප්‍රසන්න රණවීර  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ,    ජයන්ත කැටගොඩ,  සිවඥානම් ශ්‍රීතරන්,  හෙක්ටර් අප්පුහාමි, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ,  මුදිතා ප්‍රිශාන්ති සහ  මංජුලා දිසානායක යන  සහභාගී වූහ.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න


Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 51ක් අතුරුදහන් . . .

Sat Jun 24 , 2023
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්  වේ. මෙම වාහනවල වටිනාකමක් හෝ සොයා ගැනීමට නොහැකිව ඇතැයිද වාර්තාවේ දැක්වේ. මේ අතර ජනාධිපති කාර්යාලය සතු වාහන 53 ක් වෙනත් රාජ්‍ය ආයතන ,විහාරස්ථාන, ආගමික නායකයන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x