රාජ්‍යතාන්ත්‍රික නෞකාවක් හරවන එක ගමේ චූන් පාන් වෑන් එකක් හරවනවා වාගේ නොවෙයි – හඳුන්නෙත්ති

අගෝස්තු 11 වෙනි දින හම්බන්තොට වරායට පැමිණීමට නියමිත යුවාන් වෑන්ග් 05 නෞකාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් අනුගමනය කරන නිහඬතාවය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචන එල්ල කරමින් මෙවැනි තත්වයන් අනාගතයේ මෙරට සම්බන්ධයෙන් තව තවත් බරපතළ අර්බුද නිර්මාණය කිරීමට හේතුව වන බව පෙන්වා දෙයි.

එම පක්ෂය අද (08) පවත්වන ලද මාධ්‍ය හමුවකදී දේශපාලන මණ්ඩල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මේ බව පැවසීය. වැඩි දුරටත් අවධාරණය කළේ එම නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට දින දෙකක් තිබියදී පැමිණීම කල් තමන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකු නිකුත් කරල ලද බව කියන ලිපියක් මගින් රාජ්‍යතාන්ත්‍රික නෞකාවක් පැමිණීම නතර කළ නොහැකි බවත් එම නෞකාව ගමේ චූන් පාන් වෑන් එකක් නොවන බවය. එහිදී ඔහු අවධාරණය කළ කරුණු පහත දැක්වේ.

“ලංකාව මේ වන විට ආර්ථික දරුණු කඩාවැටීමක තිබියෙදී, දේශපාලන අර්බුදයක සහ සමාජ අර්බුදයක තිබියෙදී අලුතින්ම මතුවී තිබෙන්නේ චීනයේ පර්යේෂණ නෞකාව සම්බන්ධ ගැටලුවයි. මේ නැවට පැමිණීමේ අවසරය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය පළ කරන අතර, රටක් හැටියට අපි අසරණකමකට පත්කරලා තියෙන්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් අත්සන් තැබුවා යැයි කියන වගකීමක් නැති ලිපියක් චීන තානාපති කාර්යාලයට ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විදිහට චීන නැව ලංකාවට පැමිණීම ප්‍රමාද කර දෙන ලෙස ඉල්ලීමේ ලිපියක් වශයෙන් එය ඉදිරිපත් කර තිබෙනවා. රටක් හැරියට අනුගමනය කරමින් තිබෙන රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවල දුප්පත්කම නිසා මේ වගේ ලිපියක් ඉදිරිපත් කරන්න සිදුවී තිබෙනවා. අද වෙනකොට ඇමෙරිකානු කථානායකවරිය තායිවානයට යාම සම්බන්ධයෙන් මතුවී තිබෙන තත්වය නිසා චීන දේශපාලනයේ ඇතිවී තිබෙන අර්බුදය තවත් වර්ධනය කරන්න ශ්‍රී ලංකාවේ මේ ප්‍රතිචාරය හේතු වේ යැයි අපි විශ්වාස කරනවා.

චීන නෞකාව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මෙරට ජනතාව තුළ සාධාරණ බියක් ඇති වී තිබෙනවා. ඉදිරියේදී බලවතුන් අතර ඇතිවිය හැකි යුදමය තත්වයකදී ලංකාවට අනතුරක් වේ යැයි කල්පනා කරනවා. ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් චීනය එක්ක සමීප සබඳතා පවත්වාගෙන යනවා. අනික් පැත්තෙන් ඉන්දියාව අපේ අසල්වාසී රාජ්‍යය. ඔවුන් මෑත කාලයේදී ඉන්ධන, ඖෂධ, ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදී තිබෙනවා. රටවල් අතර පවත්නා මිත්‍රත්වය මේ නිසා පලුදුවේ දැයි ප්‍රශ්නයක මතුවී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් චීනයට යැව්වා යැයි කියන ලිපිය පදනම් කරගෙන ඉන්දීය මාධ්‍ය ප්‍රචාරය කර තිබෙන්නේ චීන, ‘යුවාන් වෑන් 5’ නෞකාවට නොපැමිණෙන ලෙස ලංකාව දන්වා ඇති බවයි. නමුත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, අගමැති හෝ ජනාධිපති තවමත් එක වචනයක් වත් මේ ගැන ප්‍රකාශ කර නැහැ. ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය කියන්නේ නැහැ. මේ නැව ලංකාවට පැමිණි පසු තවත් ජාත්‍යන්තර අර්බුදයකට රට පත්කළ පසුව ආණ්ඩුවේ ස්ථාවරය කියනවා නම් ඒකේ වන්දි ගෙවන්න වෙන්නේ රනිල් රාජපක්ෂට නොවෙයි. අනාගත දරු පරම්පරාවට. ඒ නිසා මේ නැව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැන්වත් පැහැදිලි කරන්න ඕනෑ. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් බව කියන නමක් නැති වගකීමක් නැති නිලධාරියෙකු බව කියන පුද්ගලයෙක් යවන කොළ කෑල්ලකින් ඒක කරන්න බැහැ. ජනාධිපති හෝ අගමැති නැත්නම් අඩුම තරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා හෝ ස්ථාවරය කියන්න ඕනෑ.

ඒ කිසිවක් නොකියා මුනිවත රැකීමෙන් අපේ මාතෘ භූමිය බරපතළ අවදානමකට ලක්වී ජාත්‍යන්තර මිත්‍රයින් අහිමි කර ගැනීමක් වෙනවා. මේ සම්බන්ධයෙන් චීන පාර්ශ්වය කර තිබෙන පැහැදිලි කිරීමකට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ නැවට පැමිණීමේ අවසර ලබාදී ඇති බව කියනවා. 2022 ජූලි 12වැනිදා මෙයට අදාළ එකඟතා ඇතිකර ගත් බව ප්‍රකාශ කර තිබෙනවා. චීනය ඉදිරිපත් කරන තවත් අදහසක් වෙන්නේ ‘2014 යුවාන් වෑන් 3’ කියන මේ ආකාරයේම නැව ලංකාවට පැමිණි බවයි. මෙම පර්යේෂණ නෞකා ජපානය, ඔස්ටේ්‍රලියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වැනි රටවල වරායන්ට ගොස් ඇති බව ඔවුන් කියා තිබෙනවා. පර්යේෂණ නැවකට අවශ්‍ය ඉන්ධන, ජලය  හෝ වෙනත් සැපයුම් ලබාදීම ජාත්‍යන්තර නාවුක භාවිතාව අනුව පිළිගත් කටයුත්තක් බව අවධාරණය කරනවා. ඒ නිසා මෙය සාමාන්‍ය කටයුත්තක් බවත් ඒ නිසා අගෝස්තු 11වැනිදා සිට 17වැනිදා දක්වා හම්බන්තොට වරායේ නතර කර තබන බව දක්වනවා.

අධිතාක්ෂණික උපකරණ නැවක් නිසා ඉන්දීය ආරක්ෂක පද්ධතිය පරික්ෂා කිරීමට සහ දුර්වල කිරීමට පවා තාක්ෂණික හැකියාව ඇති යුද නැවක් හැටියට ඉන්දියාව මෙය පෙන්වා දෙනවා. කිලෝ මීටර් 750ක පමණ දුරක සිට පවා තොරතුරු ලබාගත හැකි උපකරණ නෞකාවේ සවිකර ඇති බව ඉන්දීය මාධ්‍යවල පළවෙනවා. ඒ කරුණ තුළින් ඉන්දියාවේ තර්කය බිඳ වැටීමකුත් ඇති වෙනවා. හම්බන්තොට තිබෙන්නේ ඉන්දියාවට කිලෝ මීටර් 200ක් පමණ දුරකින්. ඒ නිසා හම්බන්තොටට නොපැමිණ වුණත් තොරතුරු ලබාගත හැකිය කියන තත්වය පවතිනවා.
කෙසේ නමුත් මෙම නෞකාවට අවසර දීම මත ඉන්දියාවත්, චීනයත් සමග ශ්‍රී ලංකාව පවත්වාගෙන යන ජාත්‍යන්තර සම්බන්ධතා අර්බුදයකට පත්වී තිබෙනවා. අපේ ආණ්ඩුවේ මුනිවත රැකීම නිසා දැනටමත් හම්බන්තොට දෙසට ගමන් ආරම්භ කර තිබෙන පර්යේෂණ නෞකාව ආපසු හරවනවා කියන එක ගමේ චූන් පාන් වෑන් එක හරවනවා වගේ කාරණයක් නොවෙයි. අපේ රට මේ වගේ තැනකට වැට්ටුවේ වර්තමාන සහ පැවති ආණ්ඩුයි. පසුගිය කාලය පුරාම මෙවැනි අර්බුද ඇතිවන ගනුදෙනු ලංකාවේ භූ පිහිටීම අනුව සිදුකර තිබෙනවා. හම්බන්තොට වරාය චීන ණයවලින් ගොඩනඟා අවසානයේ චීනයටම විකුණුවා. මහින්ද රාජපක්ෂ ණය ගත්තා. රනිල් රාජපක්ෂ චීනයටම විකුණා දැම්මා. චීනය මේ නැව ගේන්නේ ඒ වරායටයි. කොළඹ වරායට මේ නැව ආවා නම්, ප්‍රශ්නය තවත් තීව්‍ර වෙනවා. ලංකාවේ වරායවල් කෑලිවලට කඩා විකුණන විට ජනතාව සහ බුද්ධිමතුන් වගේම දේශපාලන ව්‍යාපාර හැටියට අපිත් උද්ඝෝෂණය කර, මත දක්වා විරෝධය පළ කරනු ලැබුවා. මහින්ද රාජපක්ෂ වගේම රනිල් රාජපක්ෂත් ඒ කිසිම මතයකට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔවුන්ට තිබුණේ ශ්‍රී ලංකාව කාලයක් පුරා අනුගමනය කළ නොබැඳි ප්‍රතිපත්තිය වෙනුවට කොමිස් කුට්ටි ගැනීමේ ප්‍රතිපත්ති විතරයි. ශ්‍රී ලංකාව මේ පැමිණීම නතර කරනවා නම්, ජාත්‍යන්තරයට ලබාදෙන ආදර්ශය මොකක්ද කියලා චීනය ප්‍රශ්න කරනවා. ශ්‍රී ලංකාව මේ ගමන නවත්වන්නේ තුන්වෙනි පාර්ශ්වයක බල කිරීම නිසා නම් ජාත්‍යන්තරයට දෙන ආදර්ශය මොකක්ද කියලා ප්‍රශ්න කරනවා. ඉන්දු-ලංකා ගිවිසුමෙන් ලංකාවට සිදුවුණු බලපෑම් ගැන චීනය මතක් කරනවා.

ඉන්දියාවට යටත් වී ගිවිසුමක් මගින් ඇතිකර ගත් කැළල වගේම තත්වයක් ඉන්දියාවේ බලකිරීම් මත නිර්මාණය කරනවාද කියලා චීනය ප්‍රශ්න කරනවා. රජයක් හැටියට බලපෑම්වලට ලක්වීම කොන්ද කඩා ගැනීමක්. අපේ රටේ වරායවල් තමන්ගේ පටු දේශපාලන හා ආර්ථික වුවමනාවන් නිසා විකුණා දැමීමෙන් මේ වගේ තත්වයක් ඇතිවී තිබෙනවා. අවස්ථාවාදී ලෙස අමන තීරණ ගැනීමේ වැරදි නිසා තිබූ අතීතයේ දිගුවක් හැටියටම මේ වෙලාවෙත් ක්‍රියාකරමින් ඉන්නවා. අපි ජීවත් වෙමින් ඉන්නේ සාමාන්‍ය තත්වයක නොවෙයි. ඩොලර් අර්බුදයකට ලක්වී ජාත්‍යන්තර සහයෝගය අහිමි වුණු දුර්වල රාජ්‍යයක් හැටියට වර්ගීකරණය වූ අවස්ථාවකයි, අපි ඉන්නේ. චීනය සහ ඉන්දියාව සමීපතම ගනුදෙනු කරන රාජ්‍යයන් හැටියට මිත්‍රත්වය පලුදු කර ගතහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් ප්‍රපාතයට වැටෙනවා. එය වළක්වාගෙන ප්‍රශ්නය බේරා ගැනීමේ වගකීම ආණ්ඩුවට තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ රජය හැටියට ජනාධිපති, අගමැති සහ විදේශ කටයුතු ඇමති මැදිහත් වී අර්බුදයක් ඇති නොවී වළක්වා ගත යුතුයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. එසේ නොකරවා නම්, මේ සියල්ලෙන් ඇතිවන අතුරු විපාකවල වගකීම ආණ්ඩුව භාරගන්න ඕනෑ. ‘යුවාන් වෑන් 5’ නෞකාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය ගැන අපේ ස්ථාවරය මේකයි.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

ප්‍රශ්නය:- මේ නැව පැමිණෙන එක නැවැත්වීම දවස් දෙකකින් කරන්න බැහැ. එහෙම නම් මේ නැවට එන්න අනුමැතිය දුන්නේ මොන පදනමකින්ද?

පිළිතුර:- ඒකම තමයි අපිට තිබෙන ප්‍රශ්නය. මෙවැනි ප්‍රශ්නයකදී කටයුතු කිරීමේදී පරිණතභාවයක් තිබෙන්න ඕනෑ. තායිවාන-චීන අර්බුදයත් මේ ප්‍රශ්නය තීව්‍ර කරන්න යම් ප්‍රමාණයකට බලපා තිබෙනවා. ඉන්දියාව පැත්තෙන් මෙවැනි ප්‍රතිචාරයක් ඇති වෙනවා කියන එක ආණ්ඩුවේ නොදැනුවත්භාවයත් තියෙන්න බැහැ. ඉන්දියාවෙන් ඇතිවෙන පීඩනය අවම කර ගැනීමේ කල් ගැනීමකට මේ උත්සාහ කරන්නේ. මම කලින් පැහැදිලි කළා වගේ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවල තිබෙන දුප්පත්කම මෙයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

ප්‍රශ්නය:- ලංකාව විශාල වශයෙන් චීන ණය ලබාගෙන තිබෙනවා. ඒ ණය ප්‍රතිව්‍යුහගත කර ගන්න චීනය එකඟ නැහැ නේද?

පිළිතුර:- චීනයත් එක්ක ඇතිකර ගන්නා එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියේදී කරන ගනුදෙනුවලදී විශාල වශයෙන් බලපානවා. අපේ ආනයනවලින් ඩොලර් මිලියන 3300ක පමණ වටිනාකමක් තිබෙනවා. අපේ අපනයන චීනයට ඩොලර් මිලියන 280ක් පමණ වෙනවා. මේ වගේ පැතිවලට සිදුවන බලපෑමත් ආණ්ඩුව සලකා බලන්න ඕනෑ. ඉන්දියාව පැත්ත ගැනත් මේ වගේම බලන්න ඕනෑ. මේ ප්‍රශ්නයේදී රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ආණ්ඩුව ගන්නා ස්ථාවරය වංගු නොගහා කියන එක ණය ප්‍රතිව්‍යුහ ගතකිරීමටත් බලපානවා. අනික් පැත්තෙන් මේ ප්‍රශ්නවලට හේතුව අපේ රටේ ජනතාව නොවෙයි. ජනතාව මේ ණය ගත්තේ නැහැ. වරායවල් විකුණුවේ නැහැ. වෙනත් අසාර්ථක ව්‍යාපෘතිවලට ණය ගත්තෙත් නැහැ. චීනයට සහ ඉන්දියාවට අපේ රටේ වත්කම් විකුණුවෙත් නැහැ. අපේ රටේ ජනතාව හැමදාමත් කීවේ ආණ්ඩු අනුගමනය කළ මෙවැනි ක්‍රියාමාර්ගවලින් රට අර්බුදයකට ලක්වෙන බවයි. හම්බන්තොට වරාය විකිණීම නිසා එයට ඇතුල් වීමේ යම් ස්වාධීනත්වයකුත් චීනය ලබාගෙන තිබෙනවා. ජාත්‍යන්තර නීතිවලට අමතර පවතින මෙවැනි තත්වයන් නිර්මාණය කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු වගකියන්න ඕනෑ.

ප්‍රශ්නය:- ණය ගෙවීමට නොහැකි නිසා අසාදු ලේඛනයට ලංකාව ඇතුළත් කර තිබෙනවා. එවැනි තත්වයක් යටතේ මෙයින් ලැබෙන ප්‍රතිවිපාක මොන වගේද?

පිළිතුර:- මේ ප්‍රශ්නයෙන් කිසිම වාසියක් ලංකාවට ලැබෙන්නේ නැහැ. මිතුරන් නැති කර ගන්නවා මිස ඇති කර ගැනීමක් සිදුවන්නේ නැහැ.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න විවිධ පක්ෂ සමග සාකච්ඡා කරනවා. ඔබලා ඒ සාකච්ඡාවලට සම්බන්ධ වෙනවාද?

පිළිතුර:- ජනාධිපතිවරයා අනෙකුත් පක්ෂ හමුවන පදනමින් අපිට ආරාධනා කර තිබෙනවා. අපි සාකච්ඡාවට සහභාගි වෙනවා. එහිදී සර්වපාක්ෂික ආණ්ඩු පිළිබඳ අපි මෙයට පෙර මාධ්‍යවලටත් කියා තිබෙන අපේ ස්ථාවරය පැහැදිලි කරනවා. දැනටමත් ආණ්ඩුවක් හදලා තිබෙන්නේ. ඊට පස්සේ සර්වපාක්ෂික ආණ්ඩුවලට කතා කරලා වැඩක් නැහැ. රනිල් වික්‍රමසිංහ, රනිල් වික්‍රමසිංහ, රනිල් රාජජපක්ෂ වුණාට පස්සේ එයාගේ සර්වපාක්ෂික කතා ඉවර වෙලා තිබෙන්නේ. අන්තර්කාලීන පාලනයකින් පසුව මැතිවරණයක් පවත්වන්න යන ආණ්ඩුවක් නොවෙයි මේ තිබෙන්නේ. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ බලයත්, තහවුරු කරගෙන ණය ගන්න පුළුවන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගන්නයි මේ උත්සාහ කරන්නේ. ජනවරමක් සඳහා ඉඩ හදන තාවකාලික ආණ්ඩුවක් පිහිටුවන්න යනවා නොවෙයි. සර්වපාක්ෂික අටමගලයට අපි සහභාගි වෙන්නේ නැහැ. සහභාගි වෙන්නේ නැති බව කියන්න, ජනාධිපති ඉස්සරහට යන්න අපිට පුළුවන්.

ප්‍රශ්නය:- මැතිවරණයක් පවත්වන්න කියලා ඔබ කීවාට ආණ්ඩුව ඊට සූදානම් නැති බව නේද පේන්නේ?

පිළිතුර:- ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තුන්දෙනාට හැර අනෙකුත් බොහෝ මන්ත්‍රීවරුන්ට මැතිවරණයකට යාමේ වුවමනාවක් නැහැ. හැබැයි රටේ ජනතාවට ඒ වුවමනාවක් තිබෙනවා. මහජන නැගිටීමකින් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් එලෙව්වාට පස්සේ මේ තියෙන්නේ ජනවරමක් නැති පාර්ලිමේන්තුවෙන් අටවා ගත් ආණ්ඩුවක්. ගෝඨාභය රාජපක්ෂ අයින් වුණාම ඒ ජනවරම දැන් අහෝසියි. මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය අයින් වුණාම ඔවුන්ට තිබුණු ජනවරම අහෝසියි. තනි මන්ත්‍රීවරයෙක් හැටියට රනිල් වික්‍රමසිංහට ජනවරමක් තිබෙන්නේ කොහොමද? ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රී කෙනෙක් ජනාධිපති වෙලා ඉන්නේ. ජනතාව අකමැති නායකයෙක් රටේ තියාගෙන රටක් ඉස්සරහට ගෙනයන්න බැහැ. ඒ නිසයි අපි කියන්නේ ජනවරමට අවස්ථාවක් දෙන්න කියලා. ඉදිරි කාලයත් ආණ්ඩුවට වෙලා හොරකම් කරන්න පුළුවන් කියලා ගෝඨාභය රාජපක්ෂගේ කණ්ඩායම හිතනවා නම්, ඒක රටේ ජනතාව පිළිගන්නේ නැහැ. ඒ අතර රනිල් වික්‍රමසිංහ ගේමක් ගහලා තමන්ගේ මන්ත්‍රීවරු පිරිසක් හදාගන්න කරන උත්සාහය ජනතාව පිළිගන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මේකට හවුල් වෙන්න යන්නේ තමන්ගේ මන්ත්‍රීවරුන් බිලිබා ගන්න එක වහගන්න නම්, ජනතාවට ඒකත් ඕනෑ නැහැ. ජනතාවට ඕනෑ තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්න නායකත්වය බාරගන්නා වගකීම් සහගත ආණ්ඩුවක්. තමන්ගේ ඡන්දයෙන් පත්කර ගත් නායකයින් ජනවරමට අනුව කටයුතු කරන්නේ නැත්නම් ඒ නායකයන් ඉවත් කරන්න ජනතාවට ශුද්ධ වූ අයිතියක් තියෙනවා. ඒ වගේම තමන් කැමති නායකයෙක් පත්කර ගත්තාට පස්සේ ඊට අනුව බැඳීමක් ඇතිකර ගන්න වගකීමකුත් ජනතාවට තිබෙනවා. අපේ රටේ ජනතාව ඉල්ලන්නේ “අපට ජීවත් වෙන්න, අපට බැඳීමක් තිබෙන ආණ්ඩුවක් හදන්න ඉඩදෙන්න.” කියලයි. රනිල් වික්‍රමසිංහත් ඉස්සෙල්ලා කිව්වෙ ඒක. මහානායක හිමිවරු, අගරදගුරුතුමන්ලා ඇතුළු අනෙකුත් ආගමික නායකයින් ඉදිරිපත් කළ අන්තර් කාලීන පාලනය දැන් කෝ? මේ ආණ්ඩුව එන්න හදන්නේ ඉතිරි අවුරුදු දෙකහමාරත් බලයේ ඉන්න. ඒකට කිසිම අයිතියක් නැහැ. ජනවරමක් ලබා දෙන්න මැතිවරණයක් ඉල්ලීම ජනතාවගේ සම්පූර්ණ අයිතියක්.

විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකු චීන තානාපතිවරයාට යැවූ බව කියන ලිපිය

නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් චීනයේ අදහසෙහි සිංහල පරිවර්තනය

හම්බන්තොට වරායට පැමිණීමට හා තෙල් පුරවාගැනීමට චීන යුවාන් වෑන් 5 නෞකාව කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් අනුමත කිරීම චීනයේ ඇගයීමට ලක්වේ. එය දෙරට අතර සබඳතාවල වැදගත් කොටසක් වන අතර එය චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ ඉහළ මට්ටම ප්‍රදර්ශනය කරන්නකි.

යුවාන් වෑන් 5 ජාත්‍යන්තර සමුද්‍රීය ආයතනයේ අනුමත පර්යේෂණ නෞකාවකි. එය ෆීජි, ඉන්දුනීසියා, පිලිපීනය සහ නවසීලන්තය ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක වරායන්හි නවත්වනු ලැබ තිබේ. තවත් යුවාන් වෑන් වර්ගයේ නැව් ජපානය, ඕස්ට්‍රේලියාව, සිංප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව, දකුණු අප්‍රිකාව, මුරිසිය සහ උරුගුවේ යන රටවල වරායන්හි නතර කර ඇත. ඒ අතර යුවාන් වෑන් 3 නැව 2014 කාලයේ කොළඹ වරායේද නැවැත්වීමට කටයුතු කර තිබිණි.

ජාත්‍යන්තර භාවිතය වන්නේ පර්යේෂණ නැවකට තම මෙහෙයුම අතරතුරදී වරායක නවත්වා තෙල් පුරවා ගැනීමට වෙනත් රටවල වරායන්වලින් ඉඩ ලබා දීමය. ඉන්දියානු සාගරයේ වැදගත් ප්‍රවාහන හා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට බොහෝ පර්යේෂණ නැව් සහ ඇතැම් විට යුද නැව් පවා සෑම වසරකම පැමිණ ඇත. මෑත වසරවල එ.ජ., රුසියානු, ජපාන සහ ඉන්දියානු යුද නැව් හම්බන්තොට වරායට පැමිණ ඇත. යුවාන් වෑන් 5 නෞකාව හම්බන්තොටට පැමිණෙන්නේ සාමාන්‍ය ගමන් වාරයකට කොටසක් ලෙසය. මේ සරල කරුණ සංකීර්ණ කිරීමට සහ සාමාන්‍ය භාවිතය දේශපාලනීකරණය කිරීමට කිසිදු හේතුවක් නැත.

හොඳ මිතුරෙක් ලෙස චීනය සෑමවිටම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, නිදහස සහ ගරුත්වය පිළිබඳව මෙන්ම ද්වීපාර්ශ්වීය බැඳීම්වල වටිනාකම් පිළිබඳව සැලකිලිමත්වෙයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර සාමාන්‍ය සබඳතාවන්ට සහ සහයෝගීතාවන්ට තෙවැනි රටක අභූත චෝදනා සහ බලපෑම් මගින් මැදිහත්වීම් සිදු නොවිය යුතු යැයි අපි විශ්වාස කරමු. ශ්‍රී ලංකාවේ අප්‍රසන්න ඉතිහාසයේ සිහිගැන්වීමක් වන ‘ඉන්දු-ලංකා ගිවිසුම‘ නැවත වරක් ලංකාවට බලහත්කාරකම් පෑමට සහ තර්ජනය කිරීම්වලට (blackmail) පාවිච්චි නොකළ යුතුය. ඉතිහාසය හැම විටම නැවත නැවත සිදුවීමේ ප්‍රවණතාවක් ඇත. මෙම කරුණට පමණක් හෝ ශ්‍රී ලංකාව එවැනි බලපෑමකට යටත් වුවහොත් ජාත්‍යන්තර ප්‍රජාවට දෙනු ලබන සංඥාව කවරාකර විය හැකිද? චීනය සහ වෙනත් රටවල් සමග වන ශ්‍රී ලංකාවේ අනාගත සහයෝගීතාවන්ට එහි බලපෑම කවරාකාර වනු ඇත්ද?

යුවාන් වෑන් 5 නෞකාව පිළිබඳ කරුණේදී චීනය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ, තමන්ගේම යහපත වෙනුවෙන් සිතා බලා ශ්‍රී ලංකාවේ මූලික සහ දිගු කාලීන වුවමනාකම් සලකා බලමින් සුදුසු විසඳුමක් කරා යන ලෙසයි. ශ්‍රී ලංකාවේ මිතුරන්ට නිවැරදි තීරණයකට එළඹීමට ඥානය සහ හැකියාව ඇතැයි අපි සිතමු.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොදුරාජ්‍ය මන්ඩල ක්‍රීඩා උළෙලට ගිය තවත් පිරිසක් එංගලන්තයේදී පනී

Mon Aug 8 , 2022
 ලංකාව වෙනුවෙන් පොදුරාජ්‍ය මන්ඩලීය ක්‍රීඩා උළෙලට සම්භන්ද වීම සඳහා බ්‍රිතාන්‍ය බලා ගිය කන්ඩායෙමෙන් තවත් 10 දෙනෙකු මේ වනවිට බලධාරීන්ට නොදන්වා කන්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්ථා වේ. ඒ අනුව මීට පෙරදි පැන ගිය ජූඩෝ ක්‍රීඩිකාව සහ පුහුණුකරු සිටි ස්ථානය මේ වන විට පොලීසිය මගින් සොයාගෙන ඇති අතර ඔවුන්ට දින 180ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x