හෙරොයින් ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණය දුන් දඬුවම . . .

හෙරොයින් ග්‍රෑම් 2.42 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ආරුමුගම් සෙබස්තියන් නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.

අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් ඒ. එච්.එම්.ඩී නවාස් සහ අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ එම තීන්දුව ලබා දුන්නේය.

2010 වසරේ එවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කළ නියෝමාල් රංගජීව ට ලැබුණු තොරතුරකට අනුව මෙම විත්තිකරු රාජගිරිය, සරණ මාවතේදී හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගන්නා ලදී. පසුව රජයේ රස පරීක්ෂකවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවට අනුව ඔහු සන්තකයේ තිබූ ශුද්ධ මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 2.42 ක් වශයෙන් වාර්තා කර තිබුණි.

ඉන් අනතුරුව අදාළ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවත් ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවත් තීන්දු කළේය.

එම දඬුවමෙන් තමන්ව නිදොස් කොටන් නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විත්තිකරු ඉන් අනතුරුව අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කළේය. එම ඇපෑල තුළින් විත්තිකරු අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ තමා විසින් ඉදිරිපත් කළ විත්තිවාචකය නිසි ලෙස ඇගයීමකට ලක් නොකොට මහාධිකරණ විනිසුරුවරයා විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි. විත්තිවාචකය තුළින් මතුකරනු ලැබූ සාධාරණ සැකයේ වාසිය විත්තිය වෙත ලබාදීමට විනිසුරුවරයා කටයුතු කර නොමැති බවත් ඒ අනුව අසාධාරණ ලෙස විත්තිවාචකය ප්‍රතික්ෂේප කොට තමන්ව වරදකරු කිරීමට මහාධිකරණ විනිසුරුවරයා ගත් තීරණය නීතියට පටහැනි බවත් විත්තිකරු එම ඇපෑල තුළින් විත්තිකරු අභියාචනාධිකරනය හමුවේ කරුණු දක්වා තිබුණි.

එහෙත් එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණය, මහාධිකරණ විනිසුරුවරයා ලබා දුන් තීන්දුව නීත්‍යානුකූල බවත් ඒ අනුව විත්තිකරුට පැනවූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම දඬුවම ස්ථිර කරමින් අදාළ ඇපෑල නිෂ්ප්‍රභ කිරීමටත් තීන්දු කර තිබුණි.

ඉන් අනතුරුව එම තීන්දුවට එරෙහිව අදාළ විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් ඇපෑලක් ඉදිරිපත් කළේය.

එම ඇපෑල දීර්ඝ ලෙස විභාගය කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරු වරදකරු කරමින් මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුව නීත්‍යානුකූල බව සඳහන් කළහ. මහාධිකරණ විනිසුරුවරයා තමන් ඉදිරිපිට කැඳවනු ලැබූ සාක්ෂි නිවැරදි ආකාරයට විශ්ලේෂණය කරමින් අදාල තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති බවත් එම තීන්දුව තුළ කිසිදු දෝෂ සහගත තත්ත්වයක් නිරීක්ෂණය නොවන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කළහ.

එසේම විත්තිකරුගේ ඇපෑල ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව තුළද දෝෂ සහගත තත්ත්වයන් කිසිවක් නිරීක්ෂණය නොවන බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියහ.

ඒ අනුව විත්තිකරු වරදකරු කරමින් මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුව සහ එම තීන්දුව තහවුරු කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුට මැදිහත්වීම් සිදු කිරීමට සාධාරණ නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් විත්තිකරුගේ අභියාචනය නිෂ්ප්‍රභ කරන බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළහ.

මෙහිදී අභියාචක විත්තිකරු වෙනුවෙන් නීතිඥ අමිල පල්ලියගේ පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක පෙනී සිටියේය.

  • කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක් . . .

Mon Mar 18 , 2024
මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. ඒ, අනුව එම මුදලින් මිලියන 50ක් අපනයන, සංචාරක, තාක්ෂණ, කෘෂිකර්ම සහ නිෂ්පාදන අංශවල ඌන සේවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වෙන්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙහිදී කුඩා හා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x