විශේෂඥ වෛද්‍යවරුන් ගණන වේගයෙන් පහළට . . .

රජයේ රෝහල්වල සිටි 2,000ක් පමණ වන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ වසර අවසානය වන විට ඉතිරි වන්නේ 1,700කට ආසන්න පිරිසක් පමණකැයි සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂික ස්ථාන මාරු සඳහා 2022 ජූනි 6 වන දා ඉන්ටර්නෙට් වෙත මුදාහරින ලද සංඛ්‍යා ලේඛන අනුව රජයේ සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් 2250ක් සිටි අතර ඒ වනවිට පැවැති පුරප්පාඩු සංඛ්‍යාව 525කි.

මේ වසරේ දෙසැම්බර් 31 වන විට අනිවාර්ය විශ්‍රාම යා යුතු, වයස අවුරුදු 63 ඉක්මවූ පිරිස 55ක් වන අතර, දැනට රාජ්‍ය සේවයේ ක්‍රියාත්මක වන වයස අවුරුදු 60න් විශ්‍රාම යාමේ නීතිය වෛද්‍යවරුන් විෂයෙහි ක්‍රියාත්මක වුවහොත් තවත් 250 දෙනෙක් මේ වසර අවසානයේදී විශ්‍රාම යාමට නියමිත බව නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

එමෙන් ම, ඉහත කී නාම ලේඛනයේ නම් සඳහන්ව ඇතත් මේ වනවිටත් එයින් වෛද්‍යවරුන් 25 දෙනෙක් පමණ විදේශ ගත වී ඇත.

2023 වසරේ වාර්ෂික ස්ථාන මාරු ජනවාරි පළමු වන දා වනවිට ක්‍රියාත්මක කළ යුතුව තිබුණ ත් එම සංඛ්‍යා ලේඛන අන්තර්ජාලයට එක් කරනු ලැබුවේ වසරකට පසුව එනම් 2023 ජූනි මාසයේදී ය. එම ලේඛනයට අනුව විශේෂඥ වෛද්‍යවරු 2000ක් පමණ ලේඛනගත වී තිබු අතර පුරප්පාඩු සංඛ්‍යාව 750කට ආසන්න ගණනක් දක්වා ඉහළ නැග තිබිණි.

මේ වසර අවසානය වන විට දැනට සිටින 2000කට ආසන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 1700 දක්වා අඩුවනු ඇත්තේ මේ අනුව ය.

2022 වසර හා ඊට පෙර උසස් අධ්‍යාපනය ලබා ගැනීමට විදේශගත වන ප්‍රමාණයට සමාන පිරිසක් යළිත් මෙරටට පැමිණ වැඩ භාරගෙන ඇතත්, 2022 දෙසැම්බර් 31 වනවිට ආපසු පැමිණ ඇති විශේෂඥ වෛද්‍යවරුන් 250න් 125 දෙනෙකු ම ආපසු විදේශගත වී ඇති බව ද අමාත්‍යාංශ අභ්‍යන්තර සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

පවතින තත්ත්වය අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිර්වින්දන වෛද්‍යවරුන් 284ක් සිටිය යුතු නමුත් සිටින්නේ 129 දෙනෙකි. හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් 103ක් සිටිය යුතු නමුත් සිටින්නේ 57 දෙනෙකු පමණි. කායික රෝග පිළිබඳව 420 දෙනෙකු සිටිය යුතු නමුත් සිටින්නේ 240 දෙනෙකි. හෘද ශල්‍ය වෛද්‍යවරුන් 27ක් සිටිය යුතු නමුත් 18 දෙනෙකු පමණක් ඉතිරි වී ඇති බව ත්, ශල්‍ය වෛද්‍යවරුන් 250 දෙනෙකු වෙනුවට සිටින්නේ 145 දෙනෙකු පමණක් බව ත් එම සංඛ්‍යා ලේඛනවල සඳහන්ව ඇත.

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් 210ක් සිටිය යුතු නමුත් 123 දෙනෙකු පමණක් සිටින බව ද අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් 138ක් සිටිය යුතු තැන 38ක් පමණක් සිටින බව ද, ළමා රෝග පිළිබඳ වෛද්‍යවරුන් 300ක් රජයේ රෝහල්වලට අවශ්‍ය නමුත් සිටින්නේ 146ක් පමණක් බව ද, ළමා රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන් 29 න් සිටින්නේ 19ක් පමණක් බව ද එම සංඛ්‍යාලේඛන සනාථ කරයි.

එමෙන් ම මානසික වෛද්‍යවරුන් 135 දෙනෙකු අවශ්‍ය නමුත් සිටින්නේ 53 දෙනෙකු බව ත්, පිළිකා රෝග පිළිබඳ සිටිය යුතු වෛද්‍යවරුන් 60 දෙනාගෙන් සිටින්නේ 39ක් පමණක් බව ද, කැඩුම් බිඳුම් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරුන් 105 දෙනෙකු සිටිය යුතු නමුත් සිටින්නේ 59 දෙනෙකු බව ත්, උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍යවරුන් 85 දෙනෙකු සිටිය යුතු නමුත් සිටින්නේ 38ක් පමණක් බව ත් එහි පෙන්වා දෙයි.

එමෙන් ම, විදේශගත වන වෛද්‍යවරුන් එසේ විදේශගත වීමට හේතුව දුෂ්කර ප්‍රදේශවල සේවයට ඇති අකමැත්ත බව සමහර තරුණ වෛද්‍යවරුන් චෝදනා කරන නමුත් ඉකුත් වසරේ ජූනි සිට මේ දක්වා විදේශගත වී ඇති වෛද්‍යවරු 350 දෙනාගෙන් 125 දෙනෙකු ම පහසුකම් සහිත රෝහල්වල සේවය කළ පිරිස් බව විශේෂඥ වෛද්‍යවරයෙක් ‘මව්බිම’ට පැවසීය.

  • Vineetha M Gamage
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුහුණු පොතේ සාදයක් වටලයි . . .

Sun Jun 25 , 2023
මුහුණු පොතෙහි දැන්වීම් පළ කර අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල පැවැත් වූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමගින් තරුණයන් 12 දෙනකු අත් අඩංගුවට ගත් බව සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු ට ලද තොරතුරක් මත විසි පහකට වැඩි පොලිස් නිළධාරීන් ගේ සහභාගිත්වයෙන් සිදුකළ වැටලීමකදී මෙම පිරිස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x